ඉස්සර කාලෙ ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා ඔක්කොම එකට ජීවත් වුන විස්තෘත පවුලක් වගේ නෙමෙයි අද කාලෙ අම්ම තාත්තා දෙන්න විතරක් ඉන්න පුංචි පවුලක වැඩ කටයුතු කෙරෙන්නෙ. කොයි දේත් ගෙදර දෙන්න දෙමහල්ලෝ තනියම කරගන්න ඕන. ඉතින් ඔය අතරට පුංචි දරුවොන්ගේ වැඩත් එකතු උනාම කොහොමත්ම ලේසි නම් නැහැ. බබාල පුංචිම කාලෙදි නිතර නිතර නැපි මාරු කරන්න, ඒවා හෝදන්න, වේලන්න තියෙන කරදරේ ටිකක් අඩුකරගන්න බටහිර ලෝකෙන් අපිට හුරුවුන හොඳ ක්‍රමයක් තමයි මේ ඩයපර්ස් භාවිතය. අපිට නිතර හුරු භාෂාවෙන් කිව්වොත් බබාලට අන්දන පැම්පර්ස් භාවිතය.
ඩයපර්ස් ගැන සමාජයේ තියෙන මිත්‍යා මත නිසාම හුඟක් දෙනෙක් මේ ඩයපර්ස් භාවිතයට බය උනාට ඇත්තටම ඩයපර්ස් කියන්නෙ අම්මලටත්, බබාලටත් පහසුව ගේන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක්. ඉතින් ඒ ගැන ටිකක් වැඩිදුර විස්තර දැනගන්න කැමති අයටයි මේ විස්තර වැදගත් වෙන්නෙ.
1. ඩයපර්ස් අවශ්‍යද?
ඉස්සෙල්ලම තීරණය කරන්න ඕන බබාට ඩයපර්ස් ඕනෙද නැද්ද? ඕනෙනම් මොන මොන වෙලාවල් වලටද කියලා. ඒ කියන්නෙ දවසේ පැය 24ම ඩයපර්ස් අන්දලා තියනවද? එහෙමත් නැත්තම් බබා නිදාගන්න වෙලාවල් වලට විතරක් අන්දනවද කියලා. පිටරටවලනම් බබාලා අපි අන්දන රෙදි නැපීස් අඳින්නේම නැති තරම්. එයාලා දවසේ පය 24ම ඇඳන් ඉන්නෙ මේ ඩයපර්ස්. හැබැයි ලංකාවේ අපිට වියදම සැරයි කියලා සහ ඒක බබාට අපහසුවක් වගෙත් හිතෙනවනම් අම්මගෙයි බබාගෙයි දෙන්නගෙම පහසුවට රෑ වෙලාවට විතරක් ඩයපර්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට අම්මට සැරින් සැරේට නැගිට නැගිට චූ නැපි මාරු කරන්න ඕන නැහැ වගේම බබාගෙ නින්ද අතරමඟ කැඩෙන්නෙත් නැහැ. හැබැයි දවසේ පැය 24ම ඩයපර්ස් අන්දලා තිබ්බ කියලත් කිසිම ගැටළුවක් ඇතිවෙන්නෙ නැහැ.
2. බජට් එක
කලිනුත් කිව්ව වගේ මේ ඩයපර්ස් වියදමනම් ටිකක් සැරයි. සාමාන්‍ය ප්‍රසිද්ධ, හොඳ බ්‍රෑන්ඩ් එකක ඩයපර් එකක් රු. 50ත් 60ත් අතර වගේ මුදලක් වෙනව. ලොකු ප්‍රමාණයක් එන පැක්ස් වලින් මිලදී ගන්නවනම් මිල ටිකක් අඩුයි. ඒත් පැය 24ම ඩයපර්ස් අන්දනවනම් ඒකට විතරක්ම රු. 8,000ත් 10,000ත් අතරේ මුදලක් වියදම් වෙනවා. ඒ නිසා ඩයපර්ස් අන්දනවා කියන තීරණේ ගන්නකොටම මේ වියදම ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද පුංචි දරුවෙක් ගෙදරක ඉන්නවා කියන්නෙ කොහොමත් වියහියදම් කලින්ට වඩා වැඩි එකේ මේ අමතර වියදම ලොකු බරක් වෙන්න පුළුවන්.
3. ඩයපර් බ්‍රෑන්ඩ් එක
වෙළඳපොලේ විවිධ වර්ග වල නානාප්‍රකාර ඩයපර්ස් වර්ග හොයාගන්න පුළුවන්. හැබැයි ප්‍රසිද්ධ, හොඳයි කියලා සම්මත ඩයපර්ස් වර්ග ඔක්කොගෙම වගේ මිල ගණන් වල තියෙන්නෙ සුළු සුළු වෙනස්කම්. ඊට හුඟක් මිල අඩු, ලොකූ තොග වශයෙන් ගන්න පුළුවන් ඩයපර්ස් වර්ගත් තියෙනවා. හැබැයි මේ පුංචි දරුවන්ට නිසා ටිකක් හොඳයි කියලා කියන බ්‍රෑන්ඩ් එකකින් ඩයපර් වර්ගයක් භාවිතයට තෝරාගන්න එක තමයි හොඳ. මොකද වගකීමක් ඇති ආයතනයකින් වෙන්න එපැයි දරුවෝ වෙනුවෙන් දෙයක් තොරගන්නකොට.
4. හදන අමුද්‍රව්‍ය අනුව විවිධ ඩයපර්ස් වර්ග
නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය අනුව මේ ඩයපර්ස් වර්ග දෙකක් තියෙනවා.
- Cloth Diapers – ඒ කියන්නෙ මෘදු රෙදි වලින් මහන ඩයපර්ස්. මේ ඩයපර්ස් අනෙක් වර්ගය වගේ තෙතමනය උරාගන්නේ නැහැ. ඒ නිසා නිතර බලලා මාරු කරන්න ඕන. හැබැයි හෝද හෝද නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසාම වියදම අතින් ගත්තොත් අනිත් වර්ගයට වඩා වාසිදායකයි.
- Dsicposable Diapers – මේ අපි පැම්පර්ස් කියල බොහෝවිට හඳුන්වන වෙළඳපොලේ ගන්න තියෙන ඩයපර්ස් වර්ගය. පුළුන් වගේ අමුද්‍රව්‍යකින් තමා හදල තියෙන්නෙ. තෙතමනය උරාගන්න නිසා පැය කිහිපයකට වරක් මාරු කළාම ඇති උනාට නැවත නැවත පාවිච්චි කරන්නනම් බැහැ.
5. අන්දන විදිහ හෝ හැඩය අනුව විවිධ ඩයපර්ස් වර්ග
භාවිතය අනුවත් ඩයපර්ස් වර්ග වලට වෙන් වෙනවා.
- Normal Diapers – මේ අපි හොඳින් දන්නා සාමාන්‍ය ඩයපර්ස්.
- Over Night Diapers – මේ වර්ගය සාමාන්‍ය ඩයපර් වර්ග වලට වඩා උරාගැනීමේ හැකියාව වැඩි වෙන්න නිෂ්පාදනය කරන වර්ගයක්. රාත්‍රී කාලයට පාවිච්චි කරන්න තමයි තියෙන්නෙ. වාසිය වෙන්නෙ රෑ මැද්දෙදි නැගිටල ඩයපර්ස් මාරු කරන්න ඕන වෙන්නෙ නැති එකයි.
ඒ වගේම හැඩය අනුවත් වර්ග දෙකක් තියෙනවා.
- Normal Diapers – මේ අපි දන්න සාමාන්‍ය ඩයපර් එක.
- Slim Fit Diapers – මේ සාමාන්‍ය ඩයපර් එකට වඩා ඇඟට තදවෙන හැඩයකින් නිෂ්පාදනය කරපු ඩයපර්ස්. ඩයපර්ස් ඇන්දුවට පස්සේ පේන ලොකු පෙනුමට අකමැති අයට හොඳ වර්ගයක්. ඒ වගේම ඇඟටම ෆිට් වෙන නිසා අනික් වර්ගයට සාපේක්ෂව ලීක් වෙන්න තියෙන හැකියාවත් අඩුයි.
6. මාරු කරන වෙලාවන්
ඩයපර්ස් පාවිච්චි කරනවානම් වැදගත්ම කාරණය තමයි මේ. හරි වෙලාවට ඩයපර්ස් මාරු කරන්නම ඕන. එහෙම නැති උනහම තමයි විවිධ අසාත්මිකතා වගේම මුත්‍රා ආසාදන ඇතිවෙන්න ඉඩකඩ තියෙන්නෙ. සාමාන්‍ය පුංචිම බබෙක් නිතර නිතර මුත්‍රා කරන නිසා සාමාන්‍ය ඩයපර් එකක්නම් පැය හතරකට වරක්වත් මාරු කරන්න ඕන. ක්ලෝත් ඩයපර් එකක්නම් බබා චූ දාපු ගමන්ම මාරු කරන්න ඕන. හැබැයි කලින් අපි කියපු over night ඩයපර් එකක්නම් පැය 12ක් වගේ කාලයක් එක දිගට අන්දලා තියන්න පුළුවන්.
හැබැයි අවධානයෙන්ම ඉන්න ඕන කාරණය තමයි බබා ඩයපර් එකේ කක්කා දාලද කියන එක. මොකද මුත්‍රා වගේ නෙමෙයි. මළපහ කරපු ඩයපර්ස් වැඩි වෙලාවක් අන්දලා තියන්න බැහැ. ඉක්මනින්ම මාරු කරන්න ඕන. ඒ නිසා රෑ කාලයේ උනත් සැරින් සැරේට බලලා ඩයපර් එක මාරු කරන්න වෙනවා.
7. නැපි රෑශ් ක්‍රීම්
ඩයපර් ඒකෙන ඇතිවෙන්න පුළුවන් අතුරු ආබාධ මඟ හරවා ගන්න කරන්න ඕන දෙයක් තමයි මේ ක්‍රීම් භාවිතය. හරියට ඩයපර්ස් භාවිතා කළත් ඇතිවෙන්න පුළුවන් පුංචි ගැටළුවක් තමයි කැසීමක් වගේම පොඩි රෑෂ් එකක් ඇතිවෙන එක. ඒකට විසඳුම තමයි මේ නැපි රෑෂ් ක්‍රීම්. බබා පුංචි කාලෙ ඉඳලම ඩයපර් එක අන්දන්න කලින් හෝදලා තෙත රැඳෙන්නේ නැතිවෙන්න හොඳින් පිරිසිඳු කරලා නැපි රෑෂ් ක්‍රීම් එකක් ගාලම ඩයපර් එක අන්දන්න.
Leave a Reply