ලංකාවේ ස්ට්‍රෙස් වැඩිම රැකියාවන් 7ක්! ඔබේ රැකියාවත් මීට අයත්ද බලන්න!

පසුගිය දවසක ඉන්දියාවේ ප්‍රසිද්ධ නළුවෙක් සියදිවි නසාගැනීම එක්ක රඟපෑම් කියන්නෙත් හරිම ස්ට්‍රෙස් ඇතිවෙන වැඩක් කියලා සමාජයේ කතා බහ ඇතිවුණා. ඇතැම් වෙලාවට චරිත වලට පණ පොවලා ඒ චරිත තුළ ජීවත් වන්නට සිදුවන නිසා ඒක අමාරු කාර්යයක් වන්නට ඇති. ඒත් බොහෝ ජනප්‍රිය නළු නිළියන්ට ඔවුන් මුහුණ දෙන පීඩනයට, මානසික අවුල් වලට සාපේක්ෂව හොඳ සමාජීය තත්ත්වයක් සහ මුදල් හදල් ලැබෙනවා. ඒත් එහෙම වැඩිමනක් ගෙවීමකුත් නැතිව ඒත් රක්ෂාව නිසාම ස්ට්‍රෙස් වලට මුහුණ දෙන්නට වෙන පිරිස් අප සමාජයේ අනන්ත ඉන්නවා.

 

1. නීතීඥවරු

නීතිඥ වෘත්තිය කියන්නේ බොහොම ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාවක් කියලා තමයි පොදු පිළිගැනීම වෙන්නේ. අපි වෙනුවෙන් වතාවක් උසාවියේ පෙනී ඉන්නට නීතිඥ මහත්වරුන් ඉහළ මිලක් අය කරනවා. ඒත් නීතිඥ වෘත්තිය කරන අයට අහන්නට වෙන දුක් ගැනවිලි ලේසි නැහැ. ඔවුන්ට මුහුණ දෙන්නට වෙන නීති රීති සහ ඒවා බලපාන ආකාරය මතකයේ තබාගැනීමත් ලේසි නැහැ. නිතරම මිනිසුන් සමග, නීති සමග ගනුදෙනු කරන්නට වෙන නීතීඥ වෘත්තිය කිසිසේත්ම කූල් ජොබ් එකක් නම් නෙමෙයි. ඇතැම් විට නීතීඥ වෘත්තිය අනුව හැම විටම තමුන්ට නිවැරදියැයි සිතෙන හෘද සාක්ෂිය අනුව කටයුතු කරන්නට ලැබෙන්නෙත් නැහැ. ඒ එක්ක තම සේවාදායකයාට අවශ්‍ය ආකාරයට නීතිමය සහන සැලසීම පැවරුණු නීතිඥ තුමා කරන්නේ සීරියස් පීඩනය වැඩි රස්සාවක්.

 

2. ට්‍රැෆික් පොලිස් නිලධාරීන් 

ට්‍රැෆික් පොලිසියට අනිවාර්යයෙන් පාරේ ඉන්නට සිද්ද වෙනවා. කාර්යාලයේ කටයුතු වලට වඩා ඔවුන්ට පැවරී ඇති රාජකාරිය කලබලකාරී වටපිටාවන් හා සෘජුවම සම්බන්ධ වෙනවා. අපි කලබලකාරී මාර්ගය, බස් රිය පසුකරලා සැනසිලිදායක ඔපීසියට හෝ ගෙදරට යනවා. ඒත් පොලිස් මහත්වරු තදබද අස්සේම ඉඳගෙන දවසේ වැඩි වෙලාවක් ගත කරනවා. ඒ වගේම ට්‍රැෆික් පොලිස් මහත්වරු එක්ක මොන රටේදි වුනත් මිනිස්සු වාද විවාද කරගෙන, කෑ ගහගෙන එනවා. දඩ මුදල් වැරදි කරපුවා ගැන සංවාද වලට මුහුණ දෙන්නට වෙනවා. ඒ වගේම නිතරම වට පිට ගැන ඇලර්ට් එකේ ඉන්නත් ට්‍රැෆික් පොලිස් මහත්වරුන්ට සිද්ධ වෙනවා. ඒ නිසා පීඩනය වැඩිම රක්ෂාවන් අතර ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ගේ තනතුරත් එකතු වෙනවා.

 

3. නිර්වින්දන කාර්යමණ්ඩල

සැත්කමක් කිරීමේදී නිර්වින්දන කාර්යය ඉතා භාරදූර වගකීමක්. නියමිත ක්‍රමවේද අනුව නිර්වින්දනය කිරීම ඔවුන්ගේ වගකීම වෙනවා. නිර්වින්දන වෛද්‍යවරුන්ට අදාළ රෝගියා සිහිනැති කිරීම සහ හිරිවැට්ටවීමත් නැවත යථා තත්ත්වයට ගැනීමත් අයිති වෙනවා. මෙහිදී රෝගියාගේ තත්ත්වය ගැන නිතර අවධානයෙන් ඉන්නත් නිර්වින්දන වෛද්‍යවරයාට සිදුවන නිසා එය පීඩනය වැඩි රක්ෂාවක් ලෙස දැක්වෙනවා.

 

4. දොස්තර මහතුන්

අපේ රටේ වගේ රටවල එක් දොස්තර මහත්මයෙකුට පැවරෙන රෝගීන් ප්‍රමාණය සෑහෙන වැඩියි. ඒ එක්ක විවිධාකාරයේ ලෙඩ්ඩු දවසකට එක් දොස්තර මහත්මයෙකුට බලන්නට සිද්ද වෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ට නම් සේවා ස්ථානයේ සහ පුද්ගලික ස්ථාන වලත් තොග ගණන් ලෙඩ්ඩු පරීක්ෂා කරන්නට වෙනවා. පරීක්ෂා කරනවා වගේම ඔවුන්ගේ මතකයේ තියෙන දැනුම හරහා රෝගියාට වඩාත් සුදුසු ප්‍රතිකාර නියම කිරීම, නියම ලෙස රෝගය හඳුනාගැනීම, පර්යේෂණ දත්ත කියවීම වගේ භාර දූර වැඩ ගොඩක් දොස්තර මහත්වරුන්ට පැවරෙනවා. යම් යම් අවස්ථාවල අපිට ලංකාවේ දොස්තර මහත්වරු ගැන යම් කළකිරීම් ඇතිවුනත් ඔවුන් කරන සේවය නම් සුළු පටු එකක් නෙමෙයි.

 

5. අයි ටී මැනේජර්

අයි ටී මැනේජර් කියන්නේ සමාගම්වල වැඩිපුරම බැනුම් අහන අය අතුරින් එක් අයෙක්. සේවකයින්ට සපයන තොරතුරු තාක්ෂණ පහසුකම් සහ සමාගම ඒ සඳහා වියදම් කරන්නට ලෑස්ති වෙන මුදල අතර නොගැලපීම් එනවා. ඒ එක්ක සේවකයා බලාපොරොත්තු වන පරිගණකය, අන්තර්ජාල සම්බන්ධතාවය, ඔහුට අවශ්‍යයැයි කියන මෘදුකාංග සියල්ල අයිටී මැනේජර්ට ලබාදෙන්නට බැහැ. ඒ අවස්ථාවලදී යම් පිරිස් මේ අයිටී මැනේජර්ස්ලා එක්ක රණ්ඩු දබර වලට යනවා. අනෙක් අතින් අයි ටී මැනේජර්ස්ලාට පරිගණක හාඩ්වෙයා සමග කටයුතු කිරීම වගේම පරිගණක ජාල ආරක්ෂාව ගැනත් අවධානය යොමු කරන්නට වෙනවා. අයි ටී වඩාත් වැදගත් පසුබිමක් වන අද කාලේ, සමාගමේ මෙහෙයුම් වලට අයි ටී අංශය හරහා ලැබෙන දායකත්වයට සෘජුවම වගකියන අයි ටී මැනේජර් කියන්නේ අමාරු ජොබක්. 

 

6. ගුරුවරු

ගුරුවරුන්ට පැවරෙන වගකීම අධ්‍යාපන ක්‍රමය අනුව රඳා පවතිනවා. අපේ නිතරම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ගැන කතාන්දර කිව්වත් තාමත් ට්‍රැක් එක දුවන්නේ ගුරුවරු මත. ගුරුවරයා නැති පංති කාමර ගැන තාමත් අපිට එච්චරම අදහසක් නැහැ. පසුගිය කොරෝනා කාලේ ගෙදර ඉන්න ළමයට හෝ  දෙන්නට උගන්වන්න කෝච්චර අමාරු වුනාද කියලා දෙමව්පියෝ දන්නවා. සමහර ගෙවල් වල මහ රණ්ඩු දබර වගේ දරුවන් සමග යුද්ධ කරන්නට දෙමාපියන්ට සිද්ධ වුණා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඉතින් ළමුන් හතළිහක් පනහක් එක්ක ගුරුවරු කොහොමද සිසුන් මෙහෙයවන්නේ… ඒක සැබැවින්ම අමාරු කාර්යයක්. විවිධාකාර සමාජ මට්ටම් වලින්, අධ්‍යාපන මට්ටම් වලින් පාසැලට එන දරුවන් හැමෝම  එකම මට්ටමකින් සලකලා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම ඇත්තටම පීඩනය වැඩි රස්සාවක්. ගුරුවරුන්ට නිවාඩු ලැබෙනවා තමයි. ඒත් ඔවුන්ට දරුවන්ගේ පොත් පත් බැලීම්, ප්‍රශ්න සැකසීම්, පාඩම් වලට සූදානම් වීම් සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුත් පාසැලෙන් පිටදී කරන්න තියෙනවා. ඒ එක්ක හැමෝම ලේසි රස්සාවක් කියලා පිටින් බැලුවාට ඇත්තටම ගුරු වෘත්තිය ලේසි වැඩක් නෙමෙයි.

 

7. රිපෝටර්, එඩිටර්

නිවුස් පේපර් එකක් හෝ චැනල් එකක් කරද්දි නිවුස් තියෙන්නට ඕනි. චැනල් එකක් නම් ඒ විනාඩි ගාණට නිවුසුත්, පත්තරයක් නම් පිටු ගාණට නිවුසුත් වෙලාවට ලැබෙන්න ඕනි. නිවුස් එකතු කිරීම හිතන තරම්ම ලේසි වැඩක් නෙමෙයි. ඒත් දවසේ තියෙන ටාගට් ටික කොහොම හරි අදින එක එඩිටර් කෙනෙක්ගේ වගකීමක් වෙනවා. ඒ වගේම රිපෝටර් පැත්තෙන් බැලුවොත් හැම තිස්සේම නිවුස් එකක් ගැන ඇහැ ගහගෙන ඉන්නට වෙනවා. මාධ්‍ය සාකච්ඡාවන්ට සහභාගි වීම, බලගතු පුද්ගලයින් ඉන්ටවිව් කිරීම, සංවේදී සිදුවීම් කවර් කිරීම, කලට වෙලාවට නිවුස් සැපයීම, මාධ්‍යයට ඇති ජනතා ආකර්ෂණය ආරක්ෂා කරගැනීම වගේ වගකීම් ගොඩක් මේ රිපෝටර් වරුන්ට පැවරෙනවා. ඒ එක්ක හැමෝගෙන්ම බැනුම් අහන රිපෝටර්ලාට තියෙන ස්ට්‍රෙස් එකත් සරල නැහැ.

 

මේ ලොකු ලොකු රස්සා ගැන කිව්වට හැම රස්සාවකදිම යම් පීඩනයක් අපිට එල්ල වෙනවා. අපි ලෙහෙසියි කියලා හිතුවාට උදෑසන පාන්දරම නගර පරිසරය පිරිසිදු කරන කාර්යය කරන නගර සභා සේවක මහතුන්ට හෙම මූණ දෙන්නට වෙන අවදානම පීඩනය සුළු පටු නැහැ. වැසි දිනවල සහ ඩෙංගු, කොරෝනා වැනි රෝග පැතිරීම් එක්ක පිරිසිදු කරන සේවකයින්ට එල්ල වෙන පීඩනයත් වැඩි වෙනවා. ඉතින් පීඩනය වැඩි රක්ෂා කිහිපයක් වන ඉහත රස්සාවල් වගේම හැම රස්සාවකම අපි නොදන්නා, අපිට අත් දකින්නට වෙන්නේ නැති මානසික පීඩනයක් ඒ රැකියාව කරන අයට තියෙනවා වෙන්නට පුළුවන්. ඒ නිසා රස්සාවක් දිහා පිටින් බලලා “හපෝ හරි ලේසි ජොබක්” කියන්නට කලින් ඒ අය කරන කාර්යයන් ගැන හොයාබලන්නට පුළුවන් නම් ඒක වටිනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *