ගෙදරදීම බේකරියක් දාගමු… මෙන්න බේකරි කෑම රෙසිපි

පහුගිය කාලෙම අපිට ගෙදරට වෙලා ඉන්නකොට දැනුනු ලොකු අඩුවක් තමයි බේකරි කෑම ගන්න තැනක් නැති වීම. පාන්, බනිස්, මාළුපාන් මේ හැම එකක්ම ගෙදරදිම අවන් එකකින් හදාගන්න හැටි දැනගෙන ​උන්නානම් කොච්චර දෙයක්ද කියලා කාටකාටත් තේරෙන්න ඇතිනේ. ඔන්න අපි අද මේ දේවල් ටිකක් කියලා දෙන්නයි යන්නේ…

 

1. බටර් බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන් පිටි 1kg
  2. සීනි 100 g
  3. මාජරින් 100 g
  4. යීස්ට් 15 g
  5. ලුණු සහ වතුර අවශ්‍ය ප්‍රමාණ​යට
  • මුලින්ම පාන්පිටි සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු කරලා වතුර දමා අතින් කළවම් කරන්න. වතුර ටිකක් වැඩි පුර දමා අතේ නොඇලෙන පදමට අනාගන්න. 
  • ඒ පිටි මෝලිය දෙගුණයක් සයිස් පිපෙනකම් උණුසුම් තැනක තබන්න. දැන් හොඳින් පිපුණු පිටි මෝලියෙන් පිටි ගුලි කඩා එය අතින් ඇද අඩි 2 ක් පමණ දිගට තියන විදියට සාදා ගන්න. 
  • ඒ පිටි තීරු ලෑල්ලක් මත දමා  අතින් රෝල් කර රවුමේ හැඩයක් ගන්න. දැන් අතින් රවුම් කර ගත් පිටි  බෝල ටික පිපීම සදහා යළිත් පැය භාගයක් වගේ තියන්න. 
  • දැන් රවුම් කර ගත් පිටි බෝල බේකින් තැටියකට දමා බටර් බනිස් ගෙඩියේ හැඩයට එන පරිදි රවුමට අතින් සකස් කරන්න.
  • ඊට උඩින් වතුර හෝ කිරි ටිකක් තවරලා ඒ මත සීනි ඉහගන්​න.
  • ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 15ක් පමණ කාලයක් සෙල්සියස් 180°ට බේක් කරගන්න.

 

2. මාළු බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. පාන්පිටි 500 g
  2. සීනි 5g
  3. මාගරින් 50 g
  4. බිත්තරයක්
  5. යීස්ට් 7 g
  6. ලුණු ස්වල්පයක්

 

ෆිලින්ග් එකට අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පොඩි සැමන් ටින් 1
  2. අල 250g
  3. බී ලුණු 250g
  4. චොප් කරගත් අමුමිරිස්
  5. මිරිස්කුඩු ස්වල්පයක්
  6. ලුණු
  7. ගම්මිරිස්කුඩු 

 

  • ෆිලින්ග් එක හදන්න අල හොඳින් සෝදා තම්බා පොඩි කරගන්න.  සැමන් ටිකද කටු ඉවත් කර අතින් හොඳින් පොඩි කරගන්න. 
  • තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට කපාගත් ළූණු, අමුමිරිස් මුලින් දමා තෙම්පරාදු කරගන්න.
  • ඒකටම පොඩි කරගත් අල, සැමන් සියල්ලම එකට කලවම් කර මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු රස අනුව එක් කර තෙම්පරාදු කරගන්න.
  • බනිස් එක හදන්න මුලින්ම පිටි, සීනි, මාගරින්, යීස්ට් සහ ලුණු එකට දමා කලවම් කරගෙන වතුර ස්වල්පයක් එකතු කර විනාඩි 15ක් පමණ හොඳින් අනාගෙන ඩෝ එක සාදා ගන්න. 
  • එය දෙගුණයක් සයිස් වනතුරු උණුසුම් තැනක පිපෙන්න තියන්න. පිපුණ ඩෝ එකෙන් 100 g වගේ කෑලි වලට කඩලා පැය බාගයක් වගේ පිපෙන්නට තබන්න. 
  • හොඳින් පිපුණු පිටි ගුලි අරගෙන රොටියක් හදන විදියට ලෑල්ලක් මත තුනී කරන්න. 
  • දැන් තුනී කර ගත් ඩෝ එකේ හරි මැදට කලින් තෙම්පරාදු කර ගත් සැමන් මිශ්‍රණය දාමා ත්‍රිකෝණාකාර හැඩයට නවා ගන්න. 
  • මේ ආකාරයට පිටි ගුලි සියල්ලම සාදා, මාළු පාන් ගෙඩියේ මතුපිට  බිත්තර සාරු තවරා බේකින් ට්‍රේ එකේ විනාඩි 15ක් තියෙන්න අරින්න.
  • විනාඩි 15කට පසු සෙල්සියස් 180°ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20 ක් බේක් කරගන්න.

 

3. ජෑම් බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි 1kg
  2. සීනි 100g
  3. මාගරින් 100 g
  4. ජෑම් 50 g
  5. යීස්ට් 15 g
  6. බී හයිව් මාගරින් ස්වල්පයක්
  7. ලුණු ස්වල්පයක්

 

  • මුලින්ම පාන්පිටි, සීනී, මාගරින්, යීස්ට් යන ද්‍රව්‍ය වලට ලුණු හා වතුර ටිකක් කළවම් කරගෙන හොඳින් අනාගන්න. දෙගුණයක් සයිස් වෙනකම් උණුසුම් තැනක පිපෙන්න තියන්න.
  • දැන් 75 g ක පමණ කැබලි වලට කඩා ආයෙම පැයක් පමණ කාලයක් පිපෙන්නට තබන්න.
  • දැන් හොඳින් පිපුණු ඩෝ කැබලි ගෙන රවුම් හැඩයට සාදා මැදින් ජෑම් තබා දෙකට නවා හොඳින් වටේ තද කර සීල් කරගන්න.
  • උඩින් වතුර හෝ කිරි ආලේප කර සීනි ඉසගන්න. 
  • විනාඩි 15ක් ට්‍රේ එකේ පිපෙන්න තබා ප්‍රී හීට් කරගත් අවන් එකක සෙල්සියස් 180°ට විනාඩි 20ක් බේක් කරගන්න.

 

4. කිඹුලා බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන් පිටි 1 kg
  2. සීනි 100 g
  3. යිස්‍ට් 15g
  4. මාජරින් 100g
  5. ලුණු ස්වල්පයක්
  • මුලින්ම පිටි, සීනි, මාගරින් හා ලුණු කලවම් කරගන්න.
  • ඊස්ට් ලා රස්නෙ වතුරෙන් දියකර පිපෙන්න තියලා පිටි එකට කලවම් කරගන්න. හොඳට අතේ නොඇලෙන පදමට වතුර ටික ටික එක්කර අනාගෙන පිටි මෝලියක් සාදාගන්න. 
  • පසුව එය දෙගුණයක් සයිස්  පිපෙන්නට තියන්න. හොඳින් පිපුණු පිටි මෝලිය 100 g  කුඩා කෑලි වලට  කඩා ගන්න. 
  • එම කෑලි පැය බාගයක් පමණ යලි පිපෙන්නට තියලා දික් අතට තුනී කරගෙන අග ඉඳලා රෝල් කරලා කිඹුලා බනිස් හැඩය හදාගන්න. 
  • හදාගත් බනිස් ආයෙම පැය භාගයක් පිපෙන්නට තියන්න. 
  • බනිස් ගෙඩියේ මතුපිට කිරි හෝ වතුර ආලේප කර සීනි ඉසින්න.
  • සීනි තෑවරූ කිඹුලා බනිස් සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.

 

5. පේස්ට්‍රි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කිලෝ 1
  2. බීහයිව් මාගරින් ග්‍රෑම් 100
  3. තම්බාගත් සොසේජස් 5
  4. ලුණු
  5. බිත්තර 1
  • පාන්පිටි, ලුණු කලවම් කරලා මාජරින් 50g එක්ක පිටි මෝලිය අයිස් වතුරෙන් අනාගන්න.
  • මේක අවම පැය 2ක්වත් පිපෙන්න තියන්න. දැන් ඉතුරු මාගරින් ටිකත් දාලා ආයෙ හොඳින් අනාගන්න. 
  • පොඩි කෑලි කඩලා හොඳින් රවුමට තුනී කරගන්න. හොඳට තුනී කරගත් රවුමක් අවානක් ආකාරයට නවාගන්න. නවාගත් ඩෝ එක නැවත හතරස් හැඩයට තුනී කරගන්න.
  • ඒ කෙලවරකින් සොසේජස් තියලා රෝල් කරගෙන අවසන් දාරෙට බිත්තර සාරු ටිකක් ගාගන්න.
  • පේස්ට්‍රි එක උඩත් බිත්තර සාරු ගාලා සෙල්සියස් 170°ට විනාඩි 25ක් බේක් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *