එකම ගීතය හඬ දෙකකින් ඇසෙන සිංහල ගී​ත

මේ ආටිකල් එක තුළින් අපි කතා කරන්න යන්නේ ගීත ගැන. හැබැයි මේ ගීත සුවිශේෂීයි. ඒ තමයි මේ ගීත එකම කලා නිර්මාණය තුළ හඬවල් දෙකකින් ඇහෙන එක. මේ නිසාම ඇතැම් අවස්ථාවල රසිකයෝ එක හඬකින් විතරක් මේ ගීතය අහලා හිතන්නේ තමන් අහපු ගීතයේ අයිතිය තියෙන්නෙ ඒ ගායිකාවට හෝ ගායකයාට පමණයි කියලා.

දැන් අපි ඒ වගේ ගීත නිර්මාණ කීපයක් ගැන අහලා බලමු.

 

1. හීන හතක් මැද 

ගැටවරයෝ චිත්‍රපටය නරඹලා තියෙන අයට මේ සිංදුව ඇහෙද්දි සෝබනී අමරසිංහගේ රූපය හිතේ ඇඳෙනවා ඇති. මෙම චිත්‍රපටය තුළදී අවස්ථානුකූලව හීන හතක් මැද ගීතය දෙදෙනෙකුගේ කටහඬින් ගැයෙනවා ඇහෙනවා. මේ දෙන්නා තමයි ලතා වල්පොල සහ ඩබ්ලිව්. ඩී. අමරදේව. අපි දැන් මේ ගීත දෙක වෙන වෙනම අහමු.

 

 

 

 

2. සුදෝ මම ආදරෙයි

“මයුරිගේ කතාව” චිත්‍රපටයට ඇතුළත් වන මේ ගීතයේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වීම. අපේ රසිකයන් බොහෝ දෙනෙක්ට හුරු පුරුදු සුජාතා අත්තනායක ගායනා කරන මේ ගීතය විතරයි. අපි දැන් ඒ ගීතය අහමු.

 

 

නමුත් මේ චිත්‍රපටය තුළ දී තවත් අවස්ථාවකදී මේ ගීතය අපට අමරදේවයන්ගේ හඬින් මෙන්න මේ විදිහට ඇහෙනවා.

 

 

 

3. දුහුවිල්ලෙන් වත්සුණු තවරා

“සප්ත කන්‍යා” චිත්‍රපටය සඳහා ඇතුළත් වන මේ ගීතය රචනා කර තිබෙන්නේ වසන්ත කුමාර කොබවක විසින් වන අතර තනුවේ හිමිකරු වන්නේ නවරත්න ගමගේයි. ලිංගික ශ්‍රමිකයින් පිළිබඳව ලියැවී ඇති අතලොස්සක් ගීත අතර මෙම ගීතය සුවිශේෂ වන්නේ එය සිනමා නිර්මාණයක් සඳහා ඇතුළත් වූ ගීතයක් වීම නිසයි. චිත්‍රපටය තුළ දී අපට මොරිස් විජේසිංහගේ හඬින් මෙන්ම ධම්මිකා වල්පොලගේ හඬිනුත් මෙම ගීතය අපිට අසන්නට ලැබෙනවා. දැන් අපි ඒ ගීත දෙකට සවන් දෙමු.

 

 

 

 

4. මාස්ට සර් 

“කළු දිය දහර” චිත්‍රපටය සඳහා ඇතුළත්  වුණු මේ ගීතය අදටත් ලංකාවේ එක සේම ජනප්‍රිය ගීතයක්. හැබැයි අපිට වඩාත්ම හුරු පුරුදු නීලා වික්‍රමසිංහගේ හඬින් ගැයෙන ගීතයයි. නමුත් මේ ගීතය එම චිත්‍රපටයේදී අපිට නෙවිල් ප්‍රනාන්දුගේ හඬිනුත් ඇහෙනවා. ලංකාවේ අපිට අමතක වෙලා ගියා විශිෂ්ට ගණයේ සංගීතවේදියකු වන නෙවිල් ප්‍රනාන්දුගේ හඬට සවන්  දීලා ඉන් අනතුරුව අපි නීලා වික්‍රමසිංහගේ හඬටත් සවන් දෙමු.

 

 

 

 

 

5. රන් ටිකිරි සිනා 

“ගඟ අද්දර” චිත්‍රපටයේ දී මේ ගීතය අවස්ථා දෙකකදී ගායනා කරනවා. පළමු අවස්ථාවේදී ගඟ අද්දර චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකේ කුඩා කාලයේදී ඇසෙන අතර දෙවැනි වරට එම ගීතය ඇසෙන්නේ ඔවුන්ගේ වැඩිහිටි වියේ දී. ළමා වියේ ගීතය සඳහා නිරාෂා පෙරේරා සහ වික්ටර් සිල්වා දායක වූ අතර වැඩිහිටි වියේ දී ගීතය ගායනා කළේ ටී. එම් ජයරත්න සහ නීලා වික්‍රමසිංහයි. ඇතැම් අය මෙම ගීතය මුල් හිමිකරුවන් ලෙස වික්ටර් සහ නිරාෂාව හැඳින්වීමට උත්සාහ කළත් චිත්‍රපටයේ ස්වභාවය අනුව එසේ හැඳින්වීම වැරදි බව කිව යුතුයි. මුලින්ම අපි වික්ටර් සහ නිරාෂා ගායනා කළ ගීතයට සවනදී ඉන් අනතුරුව ටී. එම් සහ නීලා සිදුකළ ගායනයට සවන් දෙමු.

 

 

 

 

6. බලන්න නන්දා


“ඇසල කළුවර” ටෙලි නාට්‍යය ජැක්සන් ඇන්තනී නිර්මාණය කරපු සුවිශේෂී ටෙලි නාට්‍යයක්. මේ ටෙලි නාට්‍යය සඳහා සබීතා පෙරේරා, කමල් අද්දරාරච්චි, ලූෂන් බුලත්සිංහල වගේ විශිෂ්ටයෝ සහභාගි වෙලා තිබුණා. සුන්දරී නන්දා තේරි ගාථාව ඇසුරෙන් ලියැවුණු මේ ගීතය මාලිනී බුලත්සිංහලගේ හඬින් වගේම අමරසිරි පීරිස්ගේ හඬින් අපිට ටෙලි නාට්‍යය තුළ අහන්න ලැබෙනවා. නමුත් අපිට යූ ටියුබ් හරහානම් දැනට අහන්න ලැබෙන්නේ අමරසිරි පීරිස් විසින් ගායනා කළ ගීතය පමණයි. මාලනී බුලත්සිංහල විසින් ගායනා කරනු ලබන මෙම ගීතය තිබෙන කෙනෙක් යූටියුබ් හරහා අනෙකුත් රසිකයන්ටත් රස විඳින්න එම අඩවියට එකතු කරන්න කියන කාරුණික ඉල්ලීම ඔබෙන් කරන්න කැමතියි. දැන් අපි අමරසිරි පීරිස්ගේ හඬ හඬට කන් දෙමු.

 

 

7. සාගර තරංගා

මාලදිවයින් දූපත් වල රූගත කළ ටෙලි නාට්‍යයක් වන සාගර තරංගා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ  ජගත් වික්‍රමසිංහ සහ නිල්මිණි තෙන්නකෝන් විසින්. ඔවුන් දෙදෙනා වෙනුවෙන් එකම ගීතය හඬවල් දෙකකින් යොදා ගැනීමට ටෙලි නාට්‍යයේ නිර්මාණකරු තීරණය කරලා තිබ්බා. නමුත් විවිධ හේතූන් මත මේ ටෙලි නාට්‍යය අතරමග නැවතුණා. ජගත් වික්‍රමසිංහම ඔහුගේ ගීතය ගායනා කළ අතර නිල්මිණී සඳහා මරියසෙල් ගුණතිලක එම ගීතය ගායනා කළා අපි දැන් ඒ ගීත දෙකටම සවන් දෙමු.

 

 

 

 

 

අපි මේ ආටිකල් එක සඳහා ඇතුළත් කර එවැනි ගීත හතක් වුණාට තවත් මේ වගේ ගීත ඕන තරම් ඇති. ඒ ගීත ගැන ඔබ දන්නා තොරතුරු කමෙන්ට් එකකින් එකතු කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *