ඇත්තෙන්ම කියනවා නම්, ටික්ටොක් වීඩියෝ කෙරුවාව ගැන අපි එක්ස්පර්ට්ලා නෙවෙයි. හැබැයි ටික්ටොක් වීඩියෝස් බලන්න නම් අපි එක්ස්පර්ට්ලා. මොකද, දැන් කාලේ ටික්ටොක් නොකරන කෙනෙක්ගේ ස්මාට්ෆෝන් එකක වුනත් ටික්ටොක් වීඩියෝස් කීපයක් අනිවා තියෙනවා. මොකද වට්සැප් වලින් එහෙමත් ඔය ඉන්ටරෙස්ටින්ග් ටික්ටොක් වීඩියෝස් ෂෙයාර් වෙනවනේ. අන්න ඒ ඉන්ටරස්ටින්ග් කෑල්ල ගැනත් අපි ඉස්සරහට කියනවා. එහෙමනම් අපි උඩින් උඩින් කතා බහ කරලා බලමු ටික්ටොක් ගැන අපි දන්න නොදන්න දේවල්!
1. කොහෙන් ආපු එකක්ද මේ ටික්ටොක්?
ඇත්තටම ටික්ටොක් කියන සමාජ මාධ්‍ය ජාලය ලෝකේ පුරාම මේ වෙනකොට පැතිර ගිහිල්ලා තිබුණට, ඇත්තටම මේකේ මූලාරම්භය තියෙන්නේ චීනේ. හිතලා බලන්න, ලෝකේ තියෙන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ් වගේ ඔක්කොම හෙවිඩියුටි සෝෂල් මීඩියා බටහිර වුනාට, ඒවත් එක්ක කරට කර ගේම දෙන්න ඇවිත් ඉන්න ටික්ටොක් පටන් ගත්තේ චීනෙන්. තාමත් ටික්ටොක් අයිතිය තියෙන්නෙත් චීනෙට තමයි. ඒ කියන්නේ ByteDance කියන චීන සමාගමට.
සමහරු කියනවා, ටික්ටොක් වලට එරෙහිව බටහිර රටවලින් එල්ල වෙන අධික විරෝධයට හේතුවත් මේ චීනෙන් ආපු සෝෂල් මීඩියා එකක් ලෝකෙම අල්ලගෙන යමින් තිබීම කියලා. ඒක නම් ඉතින් අපි දන්නෙ නෑ. හැබැයි ලංකාව ගත්තත්, ටික්ටොක් වලට කොයි තරම් විරෝධතා එල්ල වුනත්, ඒ විරෝධතා එල්ල කරන ප්‍රමාණය වගේ කිහිප ගුණයක් ටික්ටොක් කරනවා කියන එකත්, ඒ ටික්ටොක් කරන ප්‍රමාණය දවස ගාණේ වැඩි වෙනවා කියන එකත් අපිට අනුමානෙට කියන්න පුළුවන්.
2. කොහොමද ටික්ටොක් කරන්නේ? කොහොමද ටික්ටොක් බලන්නේ?
ටික්ටොක් කියන්නේ ඉස්සර නම් ඔය සිංදුවක වචන තාලෙට තොල් හොලවන්න, මියුසික් එකකට නටන්න වගේ සරල වැඩ කෑලි ටිකක් කරන්න පුළුවන් ඇප් එකක්. හැබැයි දැන් වෙනකොට නම් ඒක තව ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. දැන් ඔය මියුසික් කෑලි වලට එක එක ඉෆෙක්ට්ස් දාපු වීඩියෝ කරන්න වගේ ඇඩ්වාන්ස් වැඩත් කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අය මියුසික් එකක් අර බෑක්ග්‍රවුන්ඩ් එකට දාලා එක එක ටෝක්ස් දෙන්නත් ටික්ටොක් පාවිච්චි කරනවා. ඔය දේවල් වල ගැටළුවක් නෑ. ඒක අපි ඉස්සරහට කියනවා.
ටික්ටොක් කරන්න නම් ටික්ටොක් ඇප් එක දාගන්නම වෙනවා ෆෝන් එකට. එතකොට ටික්ටොක් බලන්නත් ලේසිම ක්‍රමේ ඇප් එක දාගන්න එක තමයි. හැබැයි අවශ්‍ය නම් යූටියුබ් එකට ගියත්, ඔය ගොඩක් ටික්ටොක් එකතු කරලා හදපු වීඩියෝස් තියෙනවා. එහෙම බලන්නත් පුළුවන්.
3. ඇබ්බැහි වෙයිද දන්නෙ නෑ නේ?
ආන්න පිංවතුනි ප්රශ්නය. අනිවාර්යයෙන්ම ඇබ්බැහි වෙනවාම තමයි. ඒ කියන්නේ ටික්ටොක් කරන එක විතරක් නෙවෙයි, බලන එකත් ඇබ්බැහි වෙනවා. දැන් ටික්ටොක් කරන එකට නම් යම් කිසි කාලයක්, ශ්‍රමයක් වැය වෙන නිසා යම් යම් සීමාවන් වැටෙනවනේ. හැබැයි ටික්ටොක් බලන එකට මොන සීමාවන්ද? බලන්න ගත්තහම ආයෙ පැය ගණන් වුනත් බලන්න පුළුවන්. ආන්න ඒ නිසා මේ ඇබ්බැහිකාරක ගුණය ගැන දැනගෙනම ටික්ටොක් ඇප් එක දාගැනීම හොඳයි.
ඇත්තටම මේවත් අනික් සෝෂල් මීඩියා වගේම තමයි. ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි නොවීම තියෙන්නේ තමන් අතේ!
4. අප්සෙට් වීඩියෝස්?
මෙන්න මේක ගොඩක් දෙනෙක් මතුකරන ප්‍රශ්නයක්. ඒ තමයි ටික්ටොක් වීඩියෝස් වල වෙන කිසිම සෝෂල් මීඩියා එකක සිදුනොවුණු විදියට චාරය කියන එක බිංදුවටම වැටිච්ච වීඩියෝස් ඉදිරිපත් කරන්න පෙළඹෙන එක. ගොඩක් වෙලාවට ඔය ටික්ටොක් එකේ රැලි වගේ ගහගෙන එන ට්‍රෙන්ඩ්ස් නැතිනම් චැලේන්ජස් මේවට බලපානවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඔන්න එක චැලේන්ජ් එකක් එනවා, නට නට ගිහිල්ලා ගෑණු ළමයෙක්ගේ පියයුරු වලට ගහන. වීඩියෝ එක කළාට පස්සේ සමහර වෙලාවට ඒ පියයුරු හිමි කෙනාගෙන් ගුටිකන්න වෙන එක වෙනම වැඩක්. හැබැයි ඔන්න ඕක ට්‍රෙන්ඩ් එකක් විදියට අරගෙන හැමෝම ඒක කරන්න ගන්නවා. ඒ වගේම තමයි ටික්ටොක් කරන ලංකාවේ ගොඩක් ගෑණු ළමයි වුනත් තමන්ගේ සිරුර සමාජ මාධ්‍යයක නිරාවරණය වෙන ප්‍රමාණය ගැන ඒ තරම් තැකීමක් කරන්නෙ නෑ කියලා තමයි ටික්ටොක් විරෝධීන් කියන්නේ. හැබැයි ඉතින් අපි කියන්නේ නම් ඔය වගේ ප්‍රශ්න එක්කෝ ගෑණු පිරිමි දෙගොල්ලන්ටම පොදු වෙන්න ඕන, නැතිනම් දෙගොල්ලන්ටම නැතිවෙන්න ඕන කියලා තමයි. ඒකත් හරියට ගෑණු ළමයෙක්ට කොටට ඇඳලා පාරේ යන්න තියෙන අයිතිය වගේ.
හැබැයි එකක්. නිදාගන්න අඳින ඇඳුම ඇඳගෙන ටික්ටොක් වීඩියෝ එකක් කරලා මුළු ලෝකයක්ම දකින සමාජ මාධ්‍යයක පළ කරන එක කොයි තරම් සුභවාදීද කියන එක නම් ගැටළුවක් කියලා අපිත් පිළිගන්නවා.
5. ප්‍රයිවසි? සිකියුරිටි?
ඔය උඩ කොටසේ අන්තිම කෑල්ල කියන්න මේකත් එක හේතුවක්. අපි හැමෝගේම පෞද්ගලිකත්වය කියලා එකක් තියෙනවා. ඒක අපි හෙළිකරන්නෙ නෑනේ ලෝකෙටම. කෙනෙක් ඉන්න පුළුවන් නෑ, ලෝකෙම මගේ පෞද්ගලිකත්වය දැක්කත් ගැටළුවක් නෑ කියන. හැබැයි ඉතින් එයාට අයිතියක් නෑ තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට අභියෝග කරන්න හරි, තමන්ගේ පෞද්ගලිකත්වය නිරාවරණය වීමත් එක්ක ඇතිවෙන ගැටළු වලට “මම හරි, ලොවම වැරදියි” කියලා කියන්නත්. මේක ඇත්තටම සංස්කෘතිය සදාචාරය වගේ එව්වා එක්ක එන ප්‍රශ්නයක් නෙවෙයි. මේක සාමාන්‍ය දැනීම සහ ප්‍රායෝගික දැනීම එක්ක එන ප්‍රශ්නයක්.
හැබැයි තවත් එකක් අනික් පැත්තට තියෙනවා. ටික්ටොක් සමහර වෙලාවට මේ තරම් නරඹන්නෝ අතර ජනප්‍රිය වෙන්නේත් ඔය විදියේ වීඩියෝස් නිසාම වෙන්නත් පුළුවන්.
6. මොකද්ද ඇති පලේ?
මෙන්න මේකේ ගන්න දෙයක් තියෙනවා තරමක් දුරට. ඇත්තටම ටික්ටොක් කියන්නේ විනෝදාස්වාද මාධ්‍යයක්. හැබැයි අර ආනන්දයෙන් ප්‍රඥාවට කියලා කියන්නේ. ඒ කියන්නේ විනෝදාස්වාද මාධ්‍යයක් විදියට ගන්න දෙයක් වුනත් දැනුමට, රසාස්වාදනයට මොනවා හරි එකතු කරන්න ඕන කියන එක. අන්න ඒක නම් ගොඩක් වෙලාවට ටික්ටොක් වලින් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම ප්‍රඥාව ලබාදෙන්න ටික්ටොක් එකේ ඇවිත් හිටපු ළදරුවෝ කීප දෙනෙක් නම් අපි දැක්කා මේ ආටිකල් එක ලියන්න යනකොට. උදාහරණයක් තමයි ආදරේ කරන්න කියලා දෙන මල්ලි. හැබැයි ඉතින් මෙලෝ තේරුමක් නැති වචන ටිකක්, ගලාගෙන යන මියුසික් එකක් බැක්ග්‍රවුන්ඩ් කරලා එහාටයි මෙහාටයි ඇස් කරකව කරකව කියන සීන් එකක් තමයි අපිට පෙනුනේ. හැබැයි ඉතින් ඇත්තටම ආනන්දයෙන් ප්‍රඥාවට කට්ටියව අරගෙන යන ටික්ටොකර්ස්ලා ඉන්නවද කියන්න අපි දන්නෙ නෑ. අපි ටික්ටොක් බලපු පොඩි වෙලාව ඇතුළේ නම් එහෙම ඒවා දැක්කේ නෑ.
අන්න එතකොට තමයි එන්නේ සීරියස්ම ප්‍රශ්නේ. මේ කිසිම හරයක් නැති දෙයක් බලන්න හරි, හරයක් නැති වීඩියෝ එකක් කරන්න හරි නාස්ති කරන්නේ හරයක් තියෙන දෙයක් කරන්න පුළුවන් වෙලාව නේද කියන එක.
ඒක නම් අපි ඇත්තටම දන්නෙ නෑ. ඒක පුද්ගලානුබද්ධයි. මොකද, ටික් ටොක් නොකළත්, ටීවී එක ඉස්සරහා ඉඳන් බැරිනම් පාර අයිනේ බෝක්කුව උඩ ඉඳන් හරි මෙලෝ හරයක් නැතුව කාලේ නාස්ති කරන උන්දැලා එදත් හිටියා, අදත් ඉන්නවා. ඕකට ටික්ටොක් ඕනෙ නෑ!
7. හැබැයි බිස්නස් ටූල් එකක් විදියට? හොඳටත් යොදාගන්න පුළුවන්
ඇත්තටම මේක සිද්ධ වෙන දෙයක්. ටික්ටොක් ඔස්සේ වුනත් යම් යම් බ්‍රෑන්ඩ්ස් මේ වෙනකොට ප්‍රමෝට් වෙනවා. අපි දැක්කා ඩෙටෝල් එකේ ටික්ටොක් ප්‍රොමෝෂන් එකක්. එක එක ටික්ටොක් ස්ටාර්ස්ලා සහ සෙලිබ්‍රිටීස්ලා ඩෙටෝල් ෆ්‍රේම් එකක් ඇතුළේ අත් හෝදන විදිය පෙන්නලා පොඩි ඩාන්ස් එකක් දානවා. ඉතින් මෙහෙම මාකටින් ටූල් එකක් විදියට ටික්ටොක් හොඳ විදියට යොදාගන්න පුළුවන්.
ඒ වගේම තමයි, සමාජයට යම් කිසි හරවත් පණිවිඩයක් දෙන්නත් අවශ්‍ය නම් ටික්ටොක් ප්ලැට්ෆෝම් එක යොදාගන්න පුළුවන්. එහෙම ටික්ටොකර්ස්ලා තාම නම් අපි දැක්කේ නෑ. ඒත් අනාගතේ දවසක හරි ටික්ටොක් එතනට පරිණාමය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ටික්ටොකර්ස්: ඒ කියන්නේ ටික් ටොක් කරන එවුන්. අපි හදාගත්තු වචනයක්, ලේසියට! එහෙම එකක් දැනටමත් තියෙනවද කියලා නම් අපි දන්නෙ නෑ!
Leave a Reply