ලක් මව සැරසූ රූ ඇති දූවරු

අපි අද අලුත් ආටිකල් සීරිස් එකක් පටන් ගන්න හිතුවා. ඒ අපේ රට නියෝජනය කරමින් රූ රැජින තරග සඳහා සහභාගි වී ලංකාවට කීර්තියක් අත්පත් කර දෙන්න සමත් වුණු ලක් දූවරු කීපදෙනෙක් ගැන සටහන් පෙළක් ඉදිරිපත් කරන්න. ගොඩක් දෙනෙක් තුළ වැරදි මතයක් තියෙනවා රූ රැජින තරගයකින් ජයග්‍රහණය කරන්න රූපය විතරක් තිබුනම ඇති කියලා. නමුත් ඒ කතාව වැරදියි. එවැනි තරගයකදී ඇගේ රූපය වගේම පෞරුෂය සහ බුද්ධිමත් බව කෙරෙහිත් සැලකිල්ලක් දක්වනවා.

 

1. කැරොලයින් ජූරී

1992 වර්ෂයේදී ඉපදුණු ඇය 2019 වර්ෂයේ දී ලංකාවට සුවිශාල කීර්තියක් ලබා දුන්නා. ඒ  2020 වර්ෂය සඳහා වන විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීම නිසා. එවැනි ජයග්‍රහණයක් ශ්‍රී ලාංකික කාන්තාවක් ලබා ගත්තේ වසර තිස් පහකට පසුවයි. කඳාන ප්‍රදේශය උපන්ගම කර ගත් ඇය විවාහ වන්නේ නිශාන්ත දීපාල් සමඟයි. මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට දියණියක් සිටිනවා. සිය සැමියාගේ දිරිගැන්වීම් මත මෙම තරගය සඳහා ඇය ඉදිරිපත් වූ අතර එම කාලය තුළ ඇගේ දියණිය රැක බලා ගෙන ඇත්තේ ඇගේ නැන්දනිය විසින් 

 

2. රෝසි සේනානායක 

උපතින් රෝසි රාමනායක  වුණු ඇය රෝසි සේනානායක බවට පත් වන්නේ අතුල සේනානායක සමඟ විවාහ වීමෙන් පසුවයි. 1985 වර්ෂයේ දී ඇය ලෝක විවාහක රූ රැජින බවට පත් වූ අතර එය එම ක්ෂේත්‍රයෙන් ලංකාව ලබා ගත් උපරිම ජයග්‍රහණය බවට පත් වුණා. ඊට හේතුව වන්නේ අපි කලින් සඳහන් කළ ආකාරයට 2019 වර්ෂයේ දී කැරලයින් ජූරී මෙම ජයග්‍රහණය ලබා ගත්තත් අද දක්වාම ශ්‍රී ලාංකික තරුණියකට මිස් වර්ල්ඩ් හෝ මිස් යුනිවර්ස් තරගයකින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී නැහැ. විවිධ සමාජ සේවා කටයුතුවල නිරත වුණු ඇය පසු කලෙක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් ලෙසද සේවය කිරීමෙන් අනතුරුව සක්‍රීය දේශපාලනයට පිවිසුණා. මේ වන විට ඇය කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කරනවා.

 

3. ජැකලින් ෆර්නැන්ඩස්

1985 වර්ෂයේ දී බහරේන්හි උපත ලැබූ ජැකලින්ගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වන අතර මව මැලේසියානු සම්භවයකින් පැවත එන තැනැත්තියක්. කුඩා කාලයේ සිටම බොලිවුඩ් නිළියක් වීමට සිහින මැවූ ඇය මිස් ශ්‍රී ලංකා තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 2006 වර්ෂයේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවති ලෝක මිස් යුනිවර්ස් තරගය සඳහා ඉදිරිපත් වීමට වරම් ලැබුවා. ඉන් පසුව ඇය බොලිවුඩ් නිළියක් ලෙස ගමනක් ආරම්භ කළ අතර මේ වන විට බොලිවුඩයේ සිටින වැඩිම අය කිරීමක් කරන නිළියක් ලෙස හැඳින්විය හැකියි.

 

4. ස්ටෙෆනි සිරිවර්ධන 

මේ දවස්වල පැවැත්වෙන වොයිස් ටීන් තරගාවලිය නිසා ස්ටෙෆනි ගැන නැවතත් කතාබහ ලංකාව තුළ ඇති වෙලා තියෙනවා. ඒකට ඇගේ උච්චාරණ විදිහත් එක හේතුවක්. 2011 වර්ෂයේ දී ඇය විසින් මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කළ අතර ලෝක මිස් යුනිවර්ස් තරගයේදී ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළා. ගායිකාවක්, නිවේදිකාවක් විදිහට ජනප්‍රිය ඇය තම නමින් පදනමක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගේ සුභසිද්ධිය සඳහා සුවිශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා.

 

4. අරුණි රාජපක්ෂ 

2004 වර්ෂයේ දී උඩරට මැණිකේ කිරුළ සහ 2005 වර්ෂයේ දී කැප්‍රි බියුටි ක්වීන් බවට පත්වීමෙන් අරුණි රාජපක්ෂ නිරූපණ ශිල්පිණියක් විදිහට ගමනක් ආරම්භ කරනවා. එයින් පසුව 2007 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා බවට පත් වන ඇය 2008 වර්ෂයේ දී පැවැත්වෙන මිස් යුනිවර්ස් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. එයින් පසුව ඇය විවිධ රූ රැජින තරග කීපයකටම සහභාගි වූ අතර 2012 වර්ෂයේ දී පැවති Bride of the world තරගයෙන් තෙවන ස්ථානය දිනා ගන්නවා.

 

5. රමණී බර්තලමියුස් 

අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් රමණී බර්තොලමියුස් අපිට අද මතක නිළියක් විදිහට. ඇය වයස අවුරුදු දහසයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “යුගාන්තය” චිත්‍රපටියේ චමරිගේ චරිතය නිරූපණය කළා. 1985 වර්ෂයේ දී මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගන්නා ඇය එම වසරේදීම මිස් යුනිවර්ස් තරගය සඳහා සහභාගි වුණා. ඉන්පසුව ඇය ටෙලි නාට්‍ය සහ රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයන්ගේ තවත් ආකර්ෂණය දිනා ගත්තා. නමුත් 1987 වර්ෂයේදී හදිසි අනතුරකින් ඇය මිය ගිය අතර ඒ වන විට ඇයට වයස අවුරුදු විස්සක් පමණයි.

 

6. ගයේෂා පෙරේරා

2006 වර්ෂයේ දී පැවැත්වුණු මිස් ඉන්ටර්නැෂනල් තරගය සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ගයේෂා පෙරේරා ඉන් පසුව 2009 වර්ෂයේදී මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල් තරගය සඳහා සහභාගි වූ අතර එහි දී ඇය මිස් ටැලන්ට් බවට පත් වුණා. තවත් මෙවැනිම තරග කීපයකට ඇය සහභාගී වූ අතර ඉන්පසුව ඇය ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වූයේ නිළියක් ලෙසයි. පසුව ඇය සක්‍රීය දේශපාලනයටත් පිවිසීමට තීරණය කළා.

 

7. අනර්කලී ආකර්ෂා 

ඉටි පහන් ටෙලි නාට්‍යයේ ඩේසි සුසාන්ගේ චරිතය රඟපෑ නිල්මිණී තෙන්නකෝන්ගේ ළමා කාලය නිරූපණය කරමින් කලා ක්ෂේත්‍රයට පිවිසුණු අනර්කලී ආකර්ෂා වයස අවුරුදු පහළොවේ දී නැවතත් “පිස්සු ට්‍රිබල්” චිත්‍රපටයේ රඟපාමින් කලා ලෝකය තුළ නව ගමනක් ආරම්භ කළා. ලංකාවේ එතෙක් මෙතෙක් ජනප්‍රියම නිළිය බවට පත් වූ ලාබාලම තැනැත්තිය විදිහටත් ඇයව හඳුන්වන්න පුළුවන්. 2004 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා බවට පත්වූ ඇය ඉන් අනතුරුව එම වසරේදීම මිස් යුනිවර්ස් තරගය සඳහා සහභාගි වුණා. පසුව ඇය දේශපාලන වේදිකාවට පිවිසුණු අතර කලක් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරියක් ලෙසද කටයුතු කළා.

 

එහෙම නම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *