සන්නිවේදන කාර්යයන්ට කෘත්‍රිම චන්ද්‍රිකා අදටත් යොදා ගන්නවා. සාමාන්‍ය ස්මාට්ෆෝන් හරහා කෙරෙන සන්නිවේදන කටයුතු වලට දැන් නම් සැටලයිට් වැඩි පාවිච්චියක් නැහැ. ඒත් ස්මාට් ෆෝන් එකේම ජී පී එස් (GPS) මැපින් වලට සැටලයිට් වල පිහිටාධාර ලබාගන්නවා. රූපවාහිනී සන්නිවේදන කටයුතු, හුදකලා පළාත් වලට ජාල පහසුකම් ලබාදෙන්න වගේම කාලගුණික දත්ත එක්රැස් කරන්නත් චන්ද්‍රිකා බහුල වශයෙන් පාවිච්චි වෙනවා. පෘථිවි ගෝලයට ඉහළින් විවිධ කක්ෂ වල චන්ද්‍රිකා රැසක් දැනටත් තියෙනවා. මේ චන්ද්‍රිකා මොනවද, ඒවායේ කාර්යයන් මොනවද කියලා අපි ටිකක් බලමු.
1. චන්ද්‍රිකා වල වාසි
විකාශන කටයුතු වලට සැටලයිට් යොදාගැනීම ලේසියි. ඒ කියන්නේ රූපවාහිනී සංඥා නිසි පරිදි හුවමාරු කරගන්න සැටලයිට් තාක්ෂණය පහසුවක්. සැටලයිට් මගින් මුළු ලෝකයම ආවරණය කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා මැපින් කටයුතු වලට වගේම කාලගුණ දත්ත ලබාගන්නත් සැටලයිට් පාවිච්චි වෙනවා. ඇමසන් වනය මැද, සහරා කතර මැද වගේම ඈත ඇන්ටාක්ටිකාවේ ශීත බිම් වලට පවා සැටලයිට් හරහා සන්නිවේදන පහසුකම ගන්න පුළුවන්. භූමියේ කඳු, කාන්තාර, ජල තලා ආදී බාධා තිබුණත් චන්ද්‍රිකා හරහා කරන සන්නිවේදනයට ඒ කිසිවක් බාධා කරන්නේ නැහැ.
2. චන්ද්‍රිකා තාක්ෂණයේ සීමා
ලංකාවේ තාක්ෂණය ගැන කියද්දි අපිට තාම චන්ද්‍රිකාවක් වත් යවාගන්න බැරිවුණා නේද කියලා පසුතැවෙන අවස්ථා තියෙනවා. රොකට් තාක්ෂණය දියුණු වීම එක්ක ඉන්දියාවට නම් සැටලයිට් තාක්ෂණයට අනුකූලව ගුවන් ගත කරන්න හැකියාව ලැබුණා. සැටලයිට් තාක්ෂණය ටිකක් වැඩිපුර පාවිච්චි වෙන අංශයක්. ඒ වගේම සැටලයිට් එකක් ගුවන් ගත කරන්න සැළකිය යුතු මුදලකුත් වියදම් වෙනවා. ඒ වගේම සැටලයිට් වලින් සිදුවන සන්නිවේදන කටයුතු වලට වළාකුළු ආදියෙන් බාධා වෙනවා. සැටලයිට් ගොඩක් ගුවන් ගත වෙලා තියෙන අවස්ථාවක ඒ ඒ සංඥා මිශ්‍රවීම නිසා ගැටළු ඇතිවෙන්නත් ඉඩකඩ තියෙනවා.
3. උස අනුව චන්ද්‍රිකා වර්ග
පොළවේ සිට කිලෝමීටර 35,900 කට විතර උඩින් කක්ෂයක භූ ස්ථාවර චන්ද්‍රිකා තියෙනවා. මේ චන්ද්‍රිකා සමකයට උඩින් එක්තරා තැනක මුළු අවුරුද්ද පුරාම ස්ථානගත වෙලා තියෙනවා. යම් යම් සාධක නිසා පෝඩ්ඩක් එහා මෙහා වුණත් නැවත පුරුදු තැනට ගිහින් සේවය සපයන්න මේ චන්ද්‍රිකා වල යාන්ත්‍රණ තියෙනවා. ඊට පහලින් මැද මට්ටමේ තවත් චන්ද්‍රිකා විශේෂයක් තියෙනවා. ඒ වගේම පහලම කක්ෂයේ තියෙන චන්ද්‍රිකා ඡායාරූප ගැනීම වගේම වෙනත් සන්නිවේදන කටයුතු වලටත් දායක වෙනවා. භූ ස්ථාවර නැති චන්ද්‍රිකා නිතරම පෘථිවිය වටා වේගයෙන් කැරකෙනවා. ඒ නිසා ඒ වගේ චන්ද්‍රිකා වලින් දත්ත ලබාගනිද්දි එකවර චන්ද්‍රිකා රැසක් ගුවන් ගත කරලා ඒ ඇසුරින් දත්ත එක්රැස් කරගන්න කටයුතු කරනවා.
4. සැටලයිට් තාක්ෂණයේ නව දත්ත හුවමාරු ප්‍රවණතා
මෙතෙක් කිලෝමීටර හත් අටදාහක් උඩ හෝ නැතිනම් භූ ස්ථාවර මට්ටමේ තියෙන චන්ද්‍රිකා හරහා තමයි සන්නිවේදන කටයුතු වඩාත්ම සිද්ධ කරගත්තේ. ඒත් පෘථිවි කක්ෂයට තියෙන උස වැඩිවෙනකොට ඩිලේ එක වැඩියි. සරලවම කිවුවොත් රේඩියෝ සංඥා කිලෝමීටර දහදාස් ගාණක් දුර වාතය හරහා යද්දි අපේ සන්නිවේදන කටයුතුවලට සැළකිය යුතු වෙලාවක් ගත වෙනවා. ඒ නිසා අන්තර්ජාල කටයුතු වලට මෙතෙක් සැටලයිට් සම්බන්ධ කරගන්න එක එතරම් ප්‍රායෝගික වුණේ නැහැ. ඒත් පෘථිවි ගෝලයට කිලෝමීටර 800 -1500 සීමාවේ තිබෙන චන්ද්‍රිකා රැසක් මගින් දැනට ලෝකයේ තිබෙන වේගවත්ම දිගු දුර සන්නිවේදන මාධ්‍යය වන ඔප්ටිකල් ෆයිබර් වලටත් වඩා වේගයෙන් දත්ත හුවමාරු කරගන්න පුළුවන් කියලා න්‍යායාත්මකව සොයාගෙන තියෙනවා. පසුගිය වසරේ ඉලොන් මස්ක් ඇතුළු ස්පේස් එක්ස් කණ්ඩායමකුත් මේ ගැන පර්යේෂණ කරලා තිබුණා.
5. සැටලයිට් ඇයි රන් රිදී පාට?
අහසේ තිබෙන සැටලයිට් වල ඡායාරූප වල සැටලයිට් බොහෝවිට රත්තරන් හෝ රිදී පැහැයක් ගන්නවා. ඒකට හේතුව තමයි පෘථිවියට ඉහළ කක්ෂ වලදී එල්ල වන දැඩි සූර්ය කිරණ වලට ඔරොත්තු දෙන්නට උවමනා වීම. පෘථිවියටත් ඉහළ කක්ෂ වල තියෙන නිසා මේ සැටලයිට් දිවා කාලයට අධික ලෙස සූර්යයාට නිරාවරණය වෙනවා. ඒ වගේම සූර්යයාගෙන් එන ඇතැම් සූර්ය කිරණ ප්‍රහාර වලටත් මේ සැටලයිට් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා සැටලයිට් එකක තිබෙන වටිනා කියන සන්නිවේදන පද්ධති ආරක්ෂා කරගන්න හොඳට දිලිසෙන ආවරණයකින් ආවරණය කරලා තියෙනවා.
6. බලය ලබාගන්නේ කොහොමද?
සූර්ය කෝෂ වලින් තමයි සැටලයිට් මූලිකවම බලය ලබාගන්නේ. සැටලයිට් එකක් අහසේ ස්ථාපනය කළාට පස්සේ මහ පොළවේ දෙයක් ඇටෙව්වා වගේ නිතර නිතර අලුත් වැඩියා කරන්න බැහැ. ඒ නිසා සැටලයිට් එකක් ගුවන්ගත කරද්දිම අදාළ පද්ධතීන් සියල්ල සකසලා තමයි පෘථිවියෙන් යවන්නේ. මේ සුර්ය පැනල සහ සූර්ය පැනල වලින් ලබාගන්නා ශක්තිය බැටරි වල ගබඩා කරගෙන, පෘථිවිය අඳුරේ ඇති පෙදෙස්වලට සැටලයිට් එක ගියාම වැඩකරන්නත් සැටලයිට් පවර් සිස්ටම් එකෙන් කටයුතු කරනවා. ඒ වගේම සැටලයිට් එකේ ඇන්ටනා නිසි පරිදි හසුරුවන්න කක්ෂය පවත්වාගන්න වගේම නූතනයේ නම් අනෙක් සැටලයිට් සමග ගැටෙන්නට තියෙන හැකියාවන් අවම කරන්නත් සැටලයිට් වලදි විදුලි බලය යොදාගන්නවා.
7. නව ඉසව් වලට අන්තර්ජාලය සහ සැටලයිට්
නාවුක ගමන් සහ ගුවන් ගමන් වලදී වේගවත් අන්තර්ජාල සේවාවන් ලබාදෙන්න සැටලයිට් වල තාක්ෂණික තත්ත්වයන් තවත් දියුණු කළ යුතු වෙනවා. ඒ වගේම දැන් සැටලයිට් හරහා සිතියම් නිර්මාණය වගේම කාලගුණික දත්ත ලබාගැනීමත් වඩාත් දියුණු වෙලා තියෙනවා. අපේ රටෙන් උඩ ඇරපු සැටලයිට් දුර්ලභ වුණාට අපි සැටලයිට් හරහා ෆෝන් එකේ මැප් කටයුතු කරනවා. ඒ වගේම ගෘහස්ථ රූපවාහිනී ප්‍රේක්ෂකයින්ටත් සැටලයිට් හරහා පැහැදිලි රූප දර්ශන ලබාගන්නට හැකි වෙලා තියෙනවා. අන්තර්ජාලය වේගවත් කරන්න මේ යුගයේදී සැටලයිට් පාවිචිචි කරන්නට බැරි වුණත්, ඉදිරියේදී සැටලයිට් හරහා කෙරෙන පර්යේෂණ අන්තර්ජාලයට ලෝකයේ හැම අස්සක් මුල්ලක්ම ආවරණය කරන්නට උදව්වේවි.
ආතර් සී ක්ලාක් කියන්නේ මුහුදු ගවේෂකයෙක්. දක්ෂ කිමිදුම්කරුවෙකු වුණු ආතර් සී ක්ලාක් ලංකාවේ මුහුදට වගේම ලංකාවටත් ආදරය කරා. සැටලයිට් කියන තාක්ෂණය හොයාගෙන ප්‍රචලිත වෙලා තිබුණෙ නැති 1945 තරම් ඈත කාලේදී ආතර් සී ක්ලාක් සැටලයිට් හරහා සන්නිවේදනය ගැන අදහස් පළ කරලා තිබුණා. මුළු ලෝකයම චන්ද්‍රිකා තුනකින් කවර් කරන්න පුළුවන් කියන ආතර් සී ක්ලාක්ගේ මතය අදටත් චන්ද්‍රිකා තාක්ෂණයේදී න්‍යායක් ලෙස දැක්වෙනවා. රෑ අහසේ වේගයෙන් යන දීප්තිමත් වස්තු බොහෝවිට සැටලයිට් වෙන්නට පුළුවන්. සියල්ලට ඉහළින් සියල්ල දකිමින් ඉන්න මේ සැටලයිට් හරහා මිනිස්සු මහ පොළවේදි වගේම ගුවනේදිත් අපේ අවශ්‍යතා වෙනුවෙන් සිස්ටම් යොදාගන්න තියෙන හැකියාව ඔප්පු කරලා පෙන්නුවා.
Leave a Reply