Lipstick ගාන අක්කලා, නංගිලා Lipstick ගැන මේ දේවලුත් දන්නවද?

විලාසිතා ගැන කතා කරන්න කවුද ඉතින් අකමැති. ඉස්සර එක්දහස් නවසිය බර ගණන් වලදි නම් මේ විලාසිතා කියන සබ්ජෙක්ට් එකට වැඩිපුරම උනන්දු උනේ ගැහැණු පාර්ශවේ විතරක් උනාට අද වෙනකොට විලාසිතා කියන්නෙ ගැහැණු, පිරිමි දෙගොල්ලොම කරට කර උනන්දුවෙන ලොකු විෂය පථයක්. හැබැයි මේ කතා කරන්න යන මාතෘකාව නම් දැක්ක හැටියෙම අපේ අයියලා, මල්ලිලා ටික සුටුස් ගාල ලිස්සල යනවා. මොකද කොච්චර විලාසිතා ගැන උනන්දු වෙන පිරිමියෙකුට උනත් තමන්ගේ භාවිතයටනම් ඕනෙම වෙන්නෙ නැති මෙවලමක් ගැනයි මේ කතාව. ඒකනෙ අපි අක්කලා, නංගිලා කියලම කතාව පටන් ගත්තෙ. හැබැයි ඉතින් පිරිමි පාර්ශවේ උනත් තමන්ගේ Girlfriend ට, Wife ට එහෙම කියල දෙන්න මේ කතාව කියව ගත්තට පාඩු නැහැ. 

 

 

1. මොනවද මේ ලිප්ස්ටික්?

මොනවා අහනවද මන්ද? ලිප්ස්ටික් කිව්වම කව්ද අනේ නොදන්නේ? ඒක හරි. ලිප්ස්ටික් ගෑවෙ නැතත් අඩුම ගාණෙ ඒ වචනෙවත් අහල නැති මනුස්ස පරාණයක්නම් හොයාගන්න නැතිවෙයි තමයි මේ කාලෙ. හැබැයි ඉතින් මේ වචනෙ උච්චාරණය කරන වැරදි විදි නිසා ඔහේ ඇහුනට කියනව විනා මේකෙ හරිම තේරුම දැනගෙනද මේ කට්ටිය කතා කරන්නෙ කියල සැකයක් එනව. මේ ලිප්ස්ටික් පාවිච්චි කරන හුඟක් කාන්තාවෝ අතරෙ උනත් අපිට ඇහෙන නම් තමයි “ලිප්ටිප්, ලිප්ටික්, ලිස්ටික්” වගේ නම්. කනට ඇහෙන විදිහ ටිකක් සමාන උනාට මේකෙ තේරුම පැත්තෙන් ගත්තොත්නම් මේ නම් සම්පුර්ණයෙන්ම වැරදියි. මොකද Lipstick කියන්නෙ Lip ඒ කියන්නෙ තොලට පාවිච්චි කරන stick එක කූර කියන අදහසින්. 

 

 

2. ලිප්ස්ටික් ඉතිහාසය

ඉතින් මොකක්ද මේ තොල්කූරෙ ඉතිහාසය? දැන් කාලෙ නැති උනාට මානව ශිෂ්ටාචාරයේ මුල් අවධියේදී මේ මේකප් කියන්නෙ ගැහැණු පිරිමි දෙකොට්ඨාසයටම තමන්ගෙ මුහුණු හැඩකරගන්න භාවිතා කරපු උපක්‍රමයක්. දැනට හොයාගෙන තියෙන තොරතුරු වලට අනුව ගස්වල පොතු වගේ ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන මුලින්ම තොල් ආලේපන පාවිච්චි කරලා තියෙන්නෙ සුමේරියන් කියන ශිෂ්ටාචාරයට අයත් මිනිස්සු. ක්ලියෝපැට්‍රා ඇතුළු ඊජිප්තු කාන්තාවන් ඉතා තද පැහැති වර්ණ වලින් තොල් ආලේපන ගල්වපු බවට ප්‍රසිද්ධයි. ඒ ආලේපන සකස් කරගෙන තියෙන්නෙ කෘමීන්ගෙන් ලබාගත්ත වර්ණ වලින්. ඝනකම මුල්ම තොල් ආලේපන නිපදවන්නෙ අරාබි විද්‍යාඥයෙක් කියල තමයි සඳහන් වෙන්නෙ. ඒ වගේම මී ඉටි වලින් සකස් කරපු තොලේ ආරක්ෂාවට ගල්වන මුල්ම තොල් ආලේපන හොයාගෙන තියෙන්නෙ චීන ජාතිකයින්. 

 

 

3. ලිප්ස්ටික් හැදෙන හැටි

ලස්සනට ගෑවට අපි හුඟක් දෙනෙක් මේ ලිප්ස්ටික් හැදෙන හැටි දන්නෙ නැහැනෙ. ලිප්ස්ටික් හදන්න භාවිතා කරන මූලිකම අමුද්‍රව්‍ය තමයි මී ඉටි වගේ ඉටි වර්ග, එළවලු තෙල්, ඛණිජ තෙල් වගේ තෙල් වර්ග සහ වර්ණක. ඊට අමතරව එක එක තොල් වලට හොඳ ඖෂධ වර්ග, සුවඳ වර්ග වගේ දේවලුත් අතිරේකව එකතු කරන්න පුළුවන්.  මුලින්ම වර්ණක සහ තෙල් හොඳින් එකට කලවම් කරල, ඊළඟට ඒවා දියකරගත් ඉටි එක්ක එකතු කරල, හුළං බුබුළු නොහිටින්න අච්චුවකට සෙට් කරගෙන නිවාගැනීම මඟින් තමයි අපේ අතට අන්තිමට එන හැඩයට මේ ලිප්ස්ටික් හදාගන්නෙ.

 

 

4. ගැහැණු සහ ලිප්ස්ටික්

අපි කලිනුත් කිව්වනෙ මේ ලිප්ස්ටික් කියන්නෙ කාන්තාවන්ට අයිති විලාසිතාවක් කියල. ඒත් ඇයි ඉතින් මේ කාන්තාවො ලිප්ස්ටික් පාවිච්චි කරන්නෙ? තොල්වල ආරක්ෂාවට ගාන ලිප් බාම් වර්ග කියන්නෙනම් වෙනම කතාවක්. හැබැයි ලිප්ස්ටික් පාවිච්චියට ඈත ඉතිහාසයේ ඉඳලම කාන්තාවන් යොමුවෙන්නෙ ආකර්ෂණය දිනාගන්නයි. තොල් කියන්නෙ ශරීරයේ තියෙන සරාගී අවයවයන්ගෙන් එකක්නෙ. ඉතින් බාහිරට නිරාවරණය වුණාට කිසිම ගැටළුවක් නැති මේ සරාගී අවයවය තවත් ලස්සන කරල කැපී පේන්න තමයි එදා ඉඳන්ම කාන්තාව උත්සාහ කරලා තියෙන්නෙ. ලිප්ස්ටික් වල පාට, ගුණාත්මකභාවය එහෙම කාලෙන් කාලෙට ලොකු ලොකු වෙනස්කම් වලට ලක් වුණාට මේ ලිප්ස්ටික් භාවිතා කරන එකේ මූලිකම අරමුණනම් එදා ඉඳන් අද දක්වාම නොවෙනස්ව එහෙමම පවතිනවා.  

 

 

5. ලිප්ස්ටික් ට්‍රෙන්ඩ්ස්

ලිප්ස්ටික් කියන්නෙ එදා ඉඳන් අද දක්වාම නොවෙනස්ව එන විලාසිතා උපක්‍රමයක් උණාට මේ ලිප්ස්ටික් කියන විලාසිතාව එක එක වෙනස් කම් වලට භාජනය වෙමින් දිනපතාම අළුත් වෙවී ඉස්සරහට යන විලාසිතාවක්. කාලෙකට ඉතාම ලා පැහැති ලිප්ස්ටික් ට්‍රෙන්ඩ් එක වෙනකොට කාලෙකදි ඉතාම තද පැහැති වර්ණ trending වෙනවා. ආයෙම කාලෙකදි ට්‍රෙන්ඩ් එකක් විදිහට matt ලිප්ස්ටික් එකත්, gloss ලිප්ස්ටික් එකත් මාරුවෙන් මාරුවට කරලියට එනව. මේ විදිහට ලිප් ලයිනර්ස්, ලිප් gloss වගේ එක එක දේවල් වෙළඳපොළට එනවා. ඉතින් ලිප්ස්ටික් පාවිච්චි කරන ඕනම කෙනෙක් මේ කාලෙදි ලිප්ස්ටික් ට්‍රෙන්ඩ් එක මොකක්ද කියල හොයල බලලම පාවිච්චි කරන එක තමා හොඳ.

 

 

6. ලිප්ස්ටික් භාවිතයේ වාසි

කලින් කිව්ව ආකර්ෂණය, ලස්සන විතරක්ම නෙමෙයි මේ ලිප්ස්ටික් භාවිතයේ වාසි. ලිප්ස්ටික් ආලේප කරන එකෙන් තොල් වලට හුළඟින්, සීතලෙන් වගේ බාහිරින් ඇතිවෙන්න පුළුවන් හානි අවම කරගන්න පුළුවන්. ඒ වගේම ඖෂධිය ලිප් බාම් එකකට පුළුවන් තොල්වල වියළුණු හම යථා තත්ත්වයට පත් කරල, තොල් වියලෙන්න නොදී ආරක්ෂා කරගන්න. ඒ වගේම පිරිසක් අතරෙදී කතාවක් වගේ කරන්න උනොත් ලස්සන තොල් ආලේපනයකට පුළුවන් ඒ පිරිස කතාවට දක්වන අවධානයට ලොකු සහයෝගයක් දෙන්න. ඒ වගේම කතා කරන කෙනාගෙ ආත්ම විශ්වාසය වැඩි කරන්නත්. 

 

 

7. ලිප්ස්ටික් වල අතුරු ආබාධ

මේ ලිප්ස්ටික් වල වාසි වගේම අතුරු අබාධත් තියෙනවා. ලිප්ස්ටික් හදන්න භාවිතා කරන ඊයම් වගේ ලෝහයන් නිසා වකුගඩු සහ ස්නායු පද්ධතියට හානි ඇතිවෙන්න පුළුවන්. ලිප්ස්ටික් හදන්න භාවිතා කරන සමහර කල් තබාගැනීමේ ද්‍රව්‍ය පිළිකාකාරක වෙන්න පුළුවන්. හැබැයි හරියට දැනගෙන හිටියොතින් මේ වගේ අතුරු ආබාධ වළක්වාගෙන ලිප්ස්ටික් භාවිතා කරන්න පුළුවන්. හැකි තරම් ස්වභාවික, ඖෂධීය ලිප්ස්ටික් වර්ග භාවිතා කරන්න. ලිප්ස්ටික් භාවිතයට කලින් ලිප් බාම් එකක් ආලේප කරන්න. ඒකෙන් තොල් ආලේපනය හමත් එක්ක සෘජුව ගැටෙන එක වළකිනවා. ඒ වගේම අධික ලෝහ අඩංගු තද පැහැති වර්ණ හැකි තරම් භාවිතා නොකර ඉන්න එකෙනුත් හානිය අඩු කරගන්න පුළුවන්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *