දැන් මේ අවුරුද්ද අපි ලොකු අවුලක් නැතුව ආතල් එකේ පටන් ගත්තනේ. හැබැයි අවුරුද්ද පටන් අරගෙන ටික කාලයක් යනකොට ඔන්න කොවිඩ්-19 ජරමර පටන් ගත්තා. සෙල්ලම් වැඩකුත් නෙවෙයි, පරිස්සම් නොවුණොත් හතරවටේටම බෝවෙනවා. ඕන්න ඒ නිසා මුඛ ආවරණ නැතිනම් මාස්ක් නැතිනම් ෆේස්මාස්ක් දාන්න ඕන කිව්වා. මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානයත් කිව්වා මුඛ ආවරණ දාන්න ඕන නෑ කොවිඩ්-19 නැතිනම් කියලා. හැබැයි ලංකාවේ පොලිසියත් ඊට පස්සේ මුඛ ආවරණ දාන්න ඕනමයි කියලා තදින් ක්‍රියාත්මක වුණු නිසාත්, කොවිඩ්-19 භීතිය නිසාත් හැමෝම මුඛ ආවරණ දාන්න පටන් ගත්තා. දැන් වෙනකොට ලංකාවේ ඕනම කෙනෙක් එළියට බහිනවා නම් මාස්ක් එකක් දාගෙන තමයි යන්නේ. වෙනත් විදියකින් කියනවා නම්, දැන් තියෙන්නේ මුඛ ආවරණ වල යුගය. හැබැයි ඉතින්, මේ ෆේස් මාස්ක් නිසා සිද්ධ වෙන ජංජාල, ජරමර, අකරතැබ්බ, කරදරත් එමටයි. අන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ!
1. සිනාවෙන් බෑ මනින්නට මිනිසා!
ඉස්සර නම් අපි දන්න අඳුනන කෙනෙක් දැක්කොත් හිනා වුනා. නොදන්න කෙනෙක් වුනත් අපි දිහා බැලුවොත් හිනා වුනා. නොදන්න ගෑණු ළමයෙක් එහෙම අපි දිහා බැලුවොත් අනිවා හිනා වුනා. දන්න ගෑණු ළමයෙක් අපි දිහා බැලුවොත් කට පුරෝලා හිනා වුනා. ඒත් හත්වලාමේ, දැන් ඉතින් ඔය හිනාව මක්කටෙයි? දැන් අපි පුරුද්දට කා එක්ක හරි හිනාවුනත්, ඒ කෙනාට අපි හිනාවෙනවා පේන්නෙ නෑ මාස්ක් එක නිසා. දැන් ඒ නිසා අපිට හිනාවෙන් කියූ දහසක් දේ වෙනුවට ඔලුව වනන්න, ඇස් වලින් කතා කරන්න, අත වනන්න වගේ දේවල් වලට මාරු වෙන්න වෙලා තියෙනවා. හැබැයි ඉතින් හිනාව තරම් ඔය එකක්වත් හෘදයාංගම නෑනේ. ඒ නිසා සෑහෙන්න පුද්ගල සබඳතා වලට මාස්ක් එක පාඩුයි.
2. මේකප් ටික මාස්ක් එකේ!
දැන් ඔය මාස්ක් එක දැම්මා කියලා ගෑණු ළමෝ ගාණට මාස්ක් එකට අහුවෙන්නේ නැති හරියට විතරක් මේකප් දාන්නෙ නෑනේ. මේකප් එක දාන්නේ මූණටම තමයි. හැබැයි ඉතින් වැරදිලා හරි ඔෆිස් එකේදී මාස්ක් එක ගලෝලා බැලුවොත් පෙනෙයි, මූණේ පහළ කොටසේ මේකප් එක කෙලින්ම තියෙනවා මාස්ක් එකේ. ඉතින් එහෙමයි කියලා මාස්ක් එක විසික්කරන්නද? බෑනේ.
3. ආයෙ ආයෙ ආයෙ දාමුද?
දැන් ඔය ෆේස් මාස්ක් කියලා ගොඩක් අය දාන සර්ජිකල් මාස්ක් එක තියෙනවනේ. ඒක දවස් ගණන් දාන්න පුළුවන් එකක් නෙවෙයි. පැය කීපයක් පුරාවට ඒක පැළඳගෙන හිටියට පස්සේ ඒක බැහැර කරන්න වෙනවා. හැබැයි ඉතින් සර්ජිකල් මාස්ක් විකුණන ගණන් වල හැටියට දවසට දෙක ගාණේ සර්ජිකල් මාස්ක් ගන්න පුළුවන්ද දොරේ? ඔය රෙස්පිරේටර් මාස්ක් වුනත්, හර්බල් මාස්ක් කියලා හඳුන්වලා දීලා තියෙන එව්වා වුනත් ඔච්චර තමයි. හැමදාම දාන්න බෑ. හර්බල් මාස්ක්, ඔක්සිෆ්යුරා මාස්ක් එහෙම නම් හෝදලා ආයෙ පාවිච්චි කරන්න පුළුවන් කියනවා. හැබැයි ඉතින් සමහරු අපි දකිනවා ගිය මාසේ දාපු සර්ජිකල් මාස්ක් එක කියලා පේන, නූල් ඇදිලා කිළුටු වුණු මාස්ක් එකක් මේ මාසෙත් දාගෙන ඉන්නවා. අන්තිමට ඔහොම අපිරිසිදුවට මාස්ක් දාගෙන ඉඳලා වෙනම ලෙඩ හැදෙනවා.
4. ගවුමේ පාටට?
මේක බලපු ගමන් හිතන්න එපා ගෑණු ළමයින්ට පැන නගින ප්‍රශ්නයක් කියලා. පිරිමි ළමයින්ටත් මේ මාස්ක් කතන්දර එක්ක ඔය ප්රශ්නය තියෙනවා. ප්‍රශ්නේ තමයි ස්ටයිල් එකට, ෆැෂන් එකට මාස්ක් එක නොගැලපෙන එක. ඒ කියන්නේ ඉතින් අර නිල් පාට සර්ජිකල් මාස්ක් එක කොයි ඇඳුමටත් දාන්න බැහැනේ. අනික ඇඳුමේ පාටට ගැලපෙන්න අනික් වර්ග වල මාස්ක් හොයන්නත් බැහැනේ.
එහෙමද හිතන්නේ? නෑ පිංවත. දැන් කාලේ ඇඳුම් වල පාටට ගැලපෙන්න එක එක පාට වල, එක එක ස්ටයිල් වල මාස්ක් මහන්නත් මුඛ ආවරණ නිෂ්පාදකයෝ හිත යොමු කරලා තියෙනවා. ඒ වගේම, තමන් අඳින ගවුමේ රෙදි කෑල්ලකින්ම, ඒකට ගැලපෙන මාස්ක් මහගන්න, තමන් අඳින ෂර්ට් එකේ විදියේම රෙදි කෑල්ලකින් මාස්ක් එකක් මගගෙන, ෆැෂන් එකට දාගෙන යන්න උත්සුක වෙන අක්කලා නංගිලා අයියලා මල්ලිලා එහෙමත් අපි අතර ඉන්නවා!
5. හුස්ම ගන්න බෑ යකෝ!
මේක සමහරුන්ට ඇත්තටම තියෙන ප්‍රශ්නයක්. සමහරුන්ට මානසිකව තියෙන ප්‍රශ්නයක්. දැන් ඔන්න මාස්ක් එක දැම්මහම සමහරුන්ට හිතෙනවා මේක තියෙන නිසා හුස්ම ගන්න අමාරුයි කියලා. ඒ හිතිවිල්ල නිසාම නිකම් හුස්ම ගන්න අමාරුයි අමාරුයි වගේ එකකුත් දැනෙන්න පටන් ගන්නවා. ඔන්න එතකොට මාස්ක් එක පාත් කරලා නාහේ එළියට දාගෙන ඉන්නවා. ඉතින් මාස්ක් දාලා වැඩක් ඇතැයි?
සමහරු ඉන්නවා කෙලින්ම හෝම් මේඩ් මාස්ක් පාවිච්චි කරන. එක්කෝ මාස්ක් එකක් විදියටම ගෙදර මහගන්නවා. එහෙම නැතිනම් ඔය ලේන්සුවක්, රෙදි කෑල්ලක් මාස්ක් එක විදියට බැඳ ගන්නවා. හැබැයි එහෙම කරගත්තට පස්සේ ඕනෑවට වඩා ඔය රෙදි කෑල්ල ඝනකමෙන් වැඩියි නම් ඔන්න හුස්ම ගන්න අමාරුයි. එතකොට ඉතින් මාස්ක් එක බෙල්ලට පහත් කරගෙන ඉන්නවා. ඉතින් ඒකෙත් වැඩක් ඇතැයි?
6. කණ්ණාඩි දෙකේ මීදුම
මේක ඔය කණ්ණාඩි කාරයන්ට එන මාස්ක් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සාමාන්‍ය ඇස් කණ්නාඩි දාන හාදයන්ට විතරක් නෙවෙයි, සන්ග්ලාසස් දාන හාදයන්ටත් මේ ප්‍රශ්නේ එනවා. දැන් ඔන්න අපි මාස්ක් එක දාලා කණ්ණාඩි දෙක දාගන්නවා. දැන් පාරක් දෙපාරක් හුස්ම අරගෙන බලන්නකෝ මොකද වෙන්නෙ කියලා. කෙලින්ම මීදුම බැඳෙන්න පටන් ගන්නවා කණ්ණාඩි වල. කණ්ණාඩි, සන්ග්ලාස් දාගෙන බයික් එකක්, වාහනයක් පදින මනුස්සයෙක්ට මේකෙන් වෙන අපහසුව ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
7. සමේ රෝගත් එනවද?
ඇත්තටම මේක නම් විහිළුවක් නෙවෙයි. ගොඩක් වෙලාවට ඔය දවස පුරාවටම මාස්ක් එක දාගෙන ඉන්න අයට, සමහර වෙලාවට සාපේක්ෂව වඩාත් සුදුමුදු සමක් තියෙන ගෑණු ළමයින්ට එහෙම මුහුණේ මාස්ක් එක දාලා තියෙන ප්‍රදේශයේ චර්ම රෝග, බිබිළි, කුරුලෑ එන ප්‍රවණතාවය වැඩියි කියලා ඒ අය කියනවා. සමහරුන්ට මාස්ක් එක දාලා තියෙන හරිය කසන්න ගන්න අප්සට් එකකුත් තියෙනවා.
විශේෂයෙන්ම අපි උඩින් කියපු විදියට එකම මාස්ක් එක හෝදන්නෙත් නැතුව දිගින් දිගටම පාවිච්චි කරනවා කියන්නේ ගොඩක් වෙලාවට ඔය වගේ ෂුවර් හමේ ප්‍රශ්න එන්න පුළුවන්. එහෙම නැතත් ඉතින් සමහරුන්ට චර්ම රෝග මාස්ක් එක නිසා මතුවෙන්න පුළුවන් කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ.
ඔයාලටත් ෆේස් මාස්ක් එක්ක රසකතා තියෙනවද? වහාම අපිට කමෙන්ට් කරලා දැනුම් දෙන්න බලන්න!
Leave a Reply