ඉන්දියාවේ මහ රාජාවරුන්ගේ විස්මයජන​ක මන්දිර

ලංකාවේ මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන එකම රජ මාළිගාව වෙන්නේ මහනුවර පිහිටලා තියෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රජ මාලිගය විතරයි. හැබැයි අපේ රටේ බොහෝ දෙනෙක් ඒ රජ මාලිගය ගැන දන්නේ නැහැ. පිටරට රජ මාළිගා අතරින් ගොඩක් දෙනෙක් දන්නේ එංගලන්තයේ බකිංහැම් මාලිගාව විතරයි. මේ නිසා අපි හිතුවා අපේ ළඟම රටේ  ඉන්දියාවේ පවතින විස්මයජනක මහරාජා මාලිගා කීපයක් ගැන කෙටි සටහනක් ඔබ වෙතට ගෙන එන්න. අද වෙනකොට මේ හැම රජ මාලිගාවක්ම වගේ හෝටලයක් විදිහට හෝ නැත්‍තන් සංචාරකයන්ට දැකබලා ගැනීම සඳහා විවෘත වෙලා තියෙනවා.

 

1. මයිසොර් මාලිගය

 

මයිසොර් රාජවංශයේ ප්‍රධාන රාජ මාලිගාව විදිහට භාවිතා වුණු මෙම රාජ මාලිගාවේ විශේෂත්වය වන්නේ හින්දු, රාජ්පුත්, මුස්ලිම් සහ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ සංකලනයක් විදිහට මෙම රාජ මාලිගාව නිමවා තිබීම. 1912 වර්ෂයේදී සම්පූර්ණ කරන ලද මෙම මාලිගාව සාදා නිම කිරීමට වසර පහළොවක් ගත වී තිබුණා. මහල් තුනකින් සමන්විත මෙම රාජ මාළිගාව තුළ රාජ සභා මණ්ඩප දෙකක්, උද්‍යාන ගණනාවක්, හින්දු දෙවිවරුන් සඳහා කෝවිල් 12 ක් පිහිටා තිබෙනවා.

 

2. උමායිඩ් බවන්

1943 දී නිම කරන ලද අක්කර 26ක් පුරා පැතිරෙන මෙම මන්දිරය චිත්තර් කඳු වැටිය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. කාමර 347 කින් සමන්විත මෙම මන්දිරය තුළ මහරාජා ගජ් සිංග් ඇතුළු ඔහුගේ මුතුන් මිත්තන් භාවිතා කළ රාජකීය භාණ්ඩ එකතුවක් නැරඹීමට සඳහා සංචාරකයන්ට අවසරය ලබා දීලා තියෙනවා. මේ වන විට මාලිගාවේ කාමර 64 ක් හෝටලයක් ලෙස භාවිතා වෙනවා.

 

3. සිටි පැලස්

උදායිපූර්හි පිහිටි මෙම මාලිගය තනි මාලිගයකට වඩා මාලිගා සංකීර්ණයක් ලෙස හැඳින්වීම නිවැරදියි. මාලිගා ගණනාවක්, හින්දු දේවාල පමණක් නොව විල් සහ පොකුණු ද මෙම මාළිගා සංකීර්ණය තුළ පිහිටා තිබෙනවා. තවත් විශේෂත්වයක් වන්නේ මින් එක් මාලිගාවක ඇති කාමර ගණනාවක් අසල ඒ ඒ කාමරයට පමණක් භාවිතා කළ හැකි පිහිනුම් තටාක පිහිටා තිබීමයි.

 

4. චෞමහල්ලා මාලිගය

හයිද්‍රාබාදයේ නිසාම්වරුන්ගේ ප්‍රධාන මාලිගාව ලෙස භාවිතා වුණු මෙම මාලිගය මාලිගා සංකීර්ණ හතරක එකතුවක් (චෞමහල්ලා යන්නෙහි තේරුම මාලිගා හතරක් යන්නයි). මෙම මාළිගා හතර එක් පසෙක පිහිටා ඇති අතර අනෙක් පස කාමර රැසකින් සමන්විත අතිවිශාල කොරිඩෝවකින් සමන්විත වෙනවා. ඒ මධ්‍යයේ අලංකාර වතුර මලක් සහ විශාල තටාකයක් පිහිටා තිබෙනවා. මාලිගයේ විශ්මයජනක ගොඩනැගිලි අතරින් සංචාරකයන්ගේ වැඩි අවධානයක් යොමු වන්නේ මෙම මාලිගයේ ඇති මනස්කාන්ත රාජ සභා ගොඩනැගිල්ලටයි.

 

5. ජායි විලාස් මහල් 

ගවෝලියර්හි මහරාජාවරුන්ට අයිතිව තිබූ මෙම මාලිගය දහනවවන සියවසේ දී නිමවන ලද්දක් වන අතර ඒ සඳහා දැඩි ලෙස යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලබා ගෙන තිබෙනවා. නිදසුනක් ලෙස මාලිගාවේ පළමු මහල ටස්කන් ආභාෂයත් දෙවැනි මහල ඉතාලියානු ඩොරික් ආභාෂයත් තෙවෙනි මහල කොරින්තියානු ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂයත් සහිතව නිමවා තිබෙනවා. අක්කර 28ක  භූමිභාගයක් අයිති වන මේ මාලිගයේ ස්වර්ණමය ගෘහ භාණ්ඩ, අති දැවැන්ත පහන් වැටවල් සහ මනස්කාන්ත බුමුතුරුණුද මාලිගයේ ප්‍රතාපවත්බව තවත් වැඩි කරනවා.

 

6. ලක්ෂ්මී විලාස් මාලිගය

ගයික්වාඩ් රාජ වංශයේ ප්‍රධාන මාලිගය ලෙස භාවිතා වුණ මෙම මාලිගය බකිංහැම් මාලිගය මෙන් හතර ගුණයක් විශාල වන අතර අක්කර 500ක පමණ භූමි භාගයක් පුරා විසිරී පවතිනවා. ඉන්දියාවට නිදහස ලැබීමත් සමගම බොහෝ මහාරාජාවරුන් තමන්ගේ රාජ මන්දිර හෝටල් බවට පරිවර්තනය කළත් ගායක්වාඩවරු අද දක්වාම මෙම මාලිගය තුළ වාසය කරනවා. කෙසේ වෙතත් මාලිගය දැක බලා ගැනීමේ අවස්ථාව සංචාරකයන් සඳහා ඔවුන් විවෘත කර තිබෙන අතර රාජ මාලිගාව අසල ඇති ගොල්ෆ් පිට්ටනිය සංචාරකයන්ගේ පමණක් නොව ගෝල්ඩ් ක්‍රීඩාලෝලීන්ගේ ද පාරාදීසයක් බවට පත්ව තිබෙනවා.

 

7. ජල මහල්

ජායිපූර්හි පිහිටා ඇති මෙම  මාලිගයේ ඇති විශේෂත්වය වන්නේ මනස් සාගර් විල මධ්‍යයේ මෙම මාලිගය පිහිටා තිබීමයි. මහරාජා මාදෝ සිං ගේ නියමය පරිදි මෙම මාලිගාවේ ඉදිකිරීම් 1750 දී පමණ ඇරඹුණ බව පැවසෙනවා. ඡායාරූප ශිල්පයට ප්‍රිය කරන බොහෝ ඉන්දියානුවන් මෙම මාලිගය ඡායාරූප ගත කිරීමට ප්‍රිය කරන අතර වතුර මට්ටමට උඩින් මාලිගාවේ එක මහලක් පමණක් පෙනුනත් වතුර මට්ටමට යටින් මාලිගාවේ මහල් හතරක් පිහිටා තිබෙනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන ගමන් මේ ආටිකල් එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ආටිකල් එකට ඔබෙන් හිමි වන ප්‍රතිචාර මත ඉන්දියාවේ පවතින අනෙකුත් මාලිගා පිලිබඳ ආටිකල් සීරීස් එකක් ලියන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *