ඔබත් ලිංගිකව අපේක්ෂා භංගත්වයට පත් වෙලාද? එහෙමනම් මේ ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන්න

සෙක්ස් කියන්නේ අපි හැමෝටම වුවමනා දෙයක්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා හැමෝටම ඕනම වෙලාවක සෙක්ස් ලැබෙන්නේ නෑ. කසාද බැඳපු දෙන්නෙක්ට වුනත් හැමදාම, වුවමනා වෙලාවට සෙක්ස් නොලැබෙන්න පුළුවන්. හැබැයි මේක දිගින් දිගටම වෙනවා නම්, ඒ කියන්නේ තමන්ට ප්‍රමාණවත් විදියට දිගින් දිගටම සෙක්ස් ලැබෙන්නේ නැතිනම් කෙනෙක් ඩෙස්පරේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සෙක්ස් සම්බන්ධයෙන් අපේක්ෂා භංගත්වයට පත් වෙන්න පුළුවන්. මෙහෙම ඩෙස්පරේට් වුණහම වෙන්න පුළුවන් නරක දේවල් කීපයක් තියෙනවා. කොහොම වුනත් කෙනෙක් ඩෙස්පරේට් වුනාට පස්සේ නොහිතා, දුරදිග නොබලා කටයුතු කරනවනේ. ආන්න ඒ නිසා තමයි අපි සෙක්ෂුවලි ඩෙස්පරේට් වෙලා නම් ඉන්නේ, අපේ හැසිරීම ගැනත්, සමස්තයක් විදියට අපේ සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන කරන්නේ.

 

1. පොදු ස්ථාන වල ලිංගික හිරිහැර වලට පෙළඹීම

සාමාන්‍යයෙන් ඔය බස් වල ජැක් ගහන අයට, පොදු ස්ථාන වල කාන්තාවන්ට, පිරිමින්ට පවා ලිංගික හිරිහැර සිදුකරන අය ගැන සමාජයේ අපි හැමෝටම තියෙන්නේ ඒ තරම් හොඳ හැඟීමක් නෙවෙයි. හැබැයි අපි නිකමට හිතලා බැලුවොත් ඇයි ඒ වගේ දේවල් වෙන්නේ කියලා, අපිට තේරෙනවා සමහර වෙලාවට ඕනම කෙනෙක් ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියන එක. විශේෂයෙන්ම ලිංගිකව අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඉන්න මොහොතක, අපි නොහිතා නරක දේවල් කරන්න පෙළඹෙන්න පුළුවන්. හැබැයි තමන් ලිංගිකව අපේක්ෂා භංගත්වයට පත් වෙලා හිඳීම, අනික් අයව අනවශ්‍ය විදියට ස්පර්ෂ කිරීම් කිරීම ඇතුළු ලිංගික හිරිහැර කිරීමට නිදහසට කරුණක් නෙවෙයි. ඒක නීතිය ඉදිරියේත් වරදක්.

 

ඒ විතරක් නෙවෙයි, ඔය කියන්නේ රෝජා පාර දානවා කියලා. ඒ කියන්නේ ගෑණු අය නාන දිහා හොරෙන් බලන එක, ඇඳුම් මාරු කරනවා හොරෙන් බලන්න එබෙන එක වගේ දේවල් වුනත් ලිංගික අපේක්ෂා භංගත්වය නිසා කෙනෙක් අතින් වෙන්න පුළුවන්. ඒවත් නීතිය ඉස්සරහටම යන්න සිද්ධ වෙන විදියේ වැරදි තමයි.

 

2. අපයෝජනයන්ට පෙළඹීම

ලිංගික අපයෝජනයන් කියන්නේ බොහොම බරපතල වැරැද්දක්. විශේෂයෙන්ම නීතිය ඉදිරියේ උපරිම දඬුවම් ලබන්න පුළුවන් ලිංගික අපයෝජනයන් සිදු කිරීම සම්බන්ධව. ඒ වගේම බාලවයස්කරුවෙක්ට සිදුකරන මේ වගේ දේකින් සිද්ධ වෙන්න පුළුවන් මානසික, ශාරීරික බලපෑම ඉහළයි. මානසික බලපෑම ජීවිත කාලයක් බලපවත්වන්න පුළුවන්. එතකොට එහෙම දේකට කෙනෙක් ලිංගික අපේක්ෂා භංගත්වය නිසා පෙළඹෙන්න පුළුවන්. අන්න ඒක තමයි තියෙන අවදානම. 

 

3. විශාදය

ලිංගික අපේක්ෂා භංගත්වය නිසා වෙනත් කෙනෙක්ට හිරිහැර සිදුවෙන්න අවස්ථාවක් නැති වෙලාවක වුනත්, තමන්ටම හානි සිදුවෙන්නත් හැකියාව තියෙනවා. විශාදය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ලිංගිකව අපේක්ෂා භංගත්වයට පත් වෙනකොට කෙනෙක්ට තමන්ගේ ආත්ම අභිමානය, ආත්ම සම්මානය නැතිවෙන්න පුළුවන්. තමන්ගෙන් කිසිම පලක් නැහැ, තමන්ගේ කිසිම වටිනාකමක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒක තමයි විශාදය දක්වා දුරදිග යන්නේ.

 

4. හුදෙකලාව

ලිංගික අපේක්ෂා භංගත්වයත් එක්ක එන විශාදය වගේම හුදෙකලා වීමත් කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් හුදෙකලා වීම හොඳ දෙයක් වෙන්නත් පුළුවන් වුනත්, කෙනෙක් තමන් ලිංගිකව අපේක්ෂා භංගත්වයෙන් හිඳීම නිසා යාලුමිත්‍රයන්ගෙන්, පවුලේ අයගෙන්, සමාජයෙන් ඈත් වෙන්න පුළුවන්. ඒ නිසාම විශාදය ඇතිවෙන්න පවා පුළුවන්. මෙතනදී තමන්ට වටිනාකමක් නැහැ, තමන්ට කවුරුවත් නැහැ කියන හැඟීම පවා ඇතිවෙනවා. මෙතනදී ලොකු ප්‍රශ්නයක් වෙන්නේ, ඒක නිසාම දිවි හානි කරගැනීම වගේ දේවලට පවා යොමු වීමට හැකියාවක් තිබීම තමයි.

 

5. ලිංගික ආශාව හීන වීම

මේකත් ඇත්තටම ලිංගික අපේක්ෂා භංගත්වයත් එක්ක සිද්ධ වෙන්න පුළුවන් තාවකාලික නරක දෙයක්. ඒ තමයි ලිංගික අපේක්ෂා භංගත්වයත් එක්ක ලිංගික ආශාවන් යටපත් කරගෙන ගොඩක් කල් හිඳීම නිසා, ලිංගික ආශාවන් නැතිවෙලා යෑම. ඒ කියන්නේ ඊට පස්සේ ස්වයං වින්දනයේ යෙදෙන්නවත් හිතෙන්නේ නෑ. වෙනත් කෙනෙක් එක්ක ලිංගික හැසිරීමකට යන්න අවස්ථාවක ලැබුණත් ඒකට වුවමනාවක් ලැබෙන්නේ නෑ. අර උඩින් කියපු විදියට ලිංගික අපයෝජන, ලිංගික හිරිහැර කරන්න තරම් තීව්‍ර වුණු පාලනය කරගන්න බැරි ලිංගිකාශාවන් කියන්නේ ලිංගික අපේක්ෂා භංගත්වයේ එක අන්තයක් නම්, මේක අනික් අන්තය විදියට ගන්න පුළුවන්. 

 

6. අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්ට පෙළඹීම

මේකත් ආයෙමත් ලිංගික අපේක්ෂා භංගත්වය එක්ක එන තීව්‍ර වුණු පාලනය කරගන්න බැරි ලිංගිකාශාවන් නිසා ඇතිවෙන තත්වයක්. ඒ තමයි හිතන්නේ මතන්නේ නැතුව ඕනම අනාරක්ෂිත, අවදානම් සහිත ලිංගික ක්‍රියාවකට පෙළඹෙන එක. සාමාන්‍යයෙන් අපි නොදන්නා කෙනෙක් එක්ක ලිංගික හැසිරීමකට යෑමේදී ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් ආරක්ෂා විය හැකි පියවර ගන්න ඕන. එතකොට අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා අවශ්‍ය කරන පියවර ගන්න ඕන. හැබැයි ලිංගික අපේක්ෂා භංගත්වයෙන් පෙළෙන කෙනෙක්ට මේ දුරදිග බැලීමේ ශක්තිය නැතිවෙන්න පුළුවන්. හම්බුවෙන ඕනම කෙනෙක් එක්ක අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පෙළඹෙන්න පුළුවන්. අන්න ඒක තමයි ගැටළුව. උදාහරණයක් විදියට කිවුවොත්, ලිංගික ශ්‍රමිකයෙක් ගාවට ගියත්, අනිවාර්යයෙන්ම කොන්ඩම් හෝ ඒ වගේ ආරක්ෂා උපක්‍රම භාවිත කරන්න ඕන කරන්නේ, එහෙම කෙනෙක් බොහෝ පිරිසක් සමගින් ලිංගිකව හැසිරෙන නිසාම, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වාහකයන් වීමේ වැඩි හැකියාවක් තියෙන නිසා.

 

ඒ වගේම, දැන් කාලේ ඔය සෙක්ස් වලට පොළඹවා ගෙන මංකොල්ල කන, සාක්කු අතපත ගාගන්න වගේ ප්‍රශ්න වුනත් නැහැයි කියන්න බැහැ. ඉතින් ලිංගිකව අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඉන්න කෙනෙක් බොහොම ලේසියෙන් ඒ වගේ උගුල් වලට වැටෙන්න පුළුවන්.

 

7. අනවශ්‍ය ඇබ්බැහිකම් වලට පෙළඹීම

අනවශ්‍ය ඇබ්බැහිකම් කියලා කියන්නේ තමන්ගේ දෛනික ජීවිතය, තමන්ගේ එදිනෙදා කටයුතු අඩාල කරන, අඩපණ කරන, ඒවාට බාධා එල්ල කරන ඕනම දෙයකට. තමන්ගේ සෙක්ස් ලයිෆ් එක අප්සට් නං, ඒ නිසා අපේක්ෂා භංගත්වයෙන් ඉන්නවා නම් බොහොම ලේසියෙන් දේවල් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට කිවුවොත්, ලිංගික අපේක්ෂා භංගත්වයෙන් ඉන්න කෙනෙක් බොහොම ලේසියෙන් පෝර්නොග්‍රැෆි, ඒ කිව්වේ නිල් චිත්‍රපටි, නිල් අන්තර්ගතයන් බලන්න ඇබ්බැහි වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ස්වයං වින්දනයට පවා ඇබ්බැහි වෙන්න පුළුවන්. ඇත්තටම ස්වයං වින්දනය කියන්නේ වැඩිහිටියෙකුට බොහොම ස්වභාවික දෙයක්නේ. හැබැයි දවසේ වැඩත් අතපහු කරගෙන ස්වයං වින්දනය කරනවා නම් ඒක ප්‍රශ්නයක්නේ.

 

මීට අමතරව ලිංගික අපේක්ෂා භංගත්වයට ආදේශකයක් විදියට වෙනත් අනවශ්‍ය ඇබ්බැහිකම් වලට වුනත් කෙනෙක් නතු වෙන්න පුළුවන්. අන්න ඒවත් ප්‍රශ්න තමයි.

 

ලිංගික අපේක්ෂා භංගත්වයෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක ගැන අපි ඉස්සරහට කතා කරමු.