කොරෝනා කාලෙ ඡන්දයට අලුත් වෙන අලුත් ඡන්ද අත්දැකීම්

කොරෝනා තදට ආපු මුල් කාලේ අපේ පාරවල බස් ගියේ නැහැ. ඇඳිරි නීතිය අස්සේ ගෙවල් වල තනි වෙලා ළඟ කඩේ පිටිපස්සෙන් හොරෙන් වගේ තමයි ගෙදර බඩු ටික ගත්තේ. ඒකත් ඉතින් මාස්ක් දාගෙන සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරගෙන. ඒත් අපිට එහෙම හැමදාම ඉන්න බැහැ. අපේ දෛනික ජීවිතයට අලුත් විදිහට අපිට හුරුවෙන්න වෙනවා. දැන් මේ ඡන්දේත් ඒ වගේ. මේ ඡන්දෙත් අර රියලිටි වැඩසටහන් වලට වගේ තරුවයි 23යි ඔබ කැමතිම පක්ෂය යොදා 5599ට මැසේජ් එකක් සෙන්ඩ් කරන්න ටයිප් එකට තිබුණා නම් පට්ට ලේසියි. ඒත් එහෙම නෑනේ. පරණ විදිහටම ඈත්වෙලා කට වහගෙන ඡන්දය දාන්න අපිට වෙනදා ගිය පංසලට, පාසලට අගෝස්තු 5 වෙනිදාට යන්න වෙනවා. 

 

1. ආදරෙයි තමයි දෙයියනේ ඒත් මීටරයක් දුරින් 

දේශපාලකයින් ජනතාවට වඩාත් සමීපයි කියලා එයාල පෙන්වන්න නොකරන දෙයක් නැහැ. එකට ලංවෙලා පොටෝ ගන්නවා, වීඩියෝ කරනවා, බදාගන්නවා, ළමයි වඩාගන්නවා, ආච්චිලා සිපගන්නවා… එක වැඩ කෝටියක් තියෙනවා සමීපකම පෙන්වන්න. ඒත් මේ පාර නම් ඒ දේවල් කරන්න දේශපාලකයින්ට ටිකක් අමාරුයි. කරන්න ගියොත් සහ ඒ වෙද්දි රටේ කොරෝනා තිබුණොත් දේශපාලකයින්ටම බඩු සවුත්තු වෙන ලයින් එකක් තියෙනවා. ඒ නිසා අපේ ළඟට එයාල සහ ගෝලයෝ ඇවිත් අපි එක්ක වැඩිය සමීප වෙන්න යන එකක් නැහැ. ඒ වගේම ටොප් පොලිටිකල් ෆෑන්ස්ලටත් මේ පාර අනාගත මන්ත්‍රීතුමා එක්ක ගොඩක් ළඟින් ඉන්න ලැබෙන එකක් නැහැ. 

 

2. කෝ දෙයියනේ මැතිවරණ ෆන්? 

ලොකු ලේලන්ඩ් බස් වලින් කොළඹට සෙනඟ රැස් කිරීම, විශාල ජන හමු පැවැත්වීම, ඒ ජනහමු වලදී විරුද්ධ පක්ෂය විවේචනය කිරීම සහ තමුන්ගේ පාක්ෂිකයින් පිනවීම කියන්නේ අපේ මැතිවරණවල තියෙන චිරාගත චාරිත්‍ර වෙලා ඉවරයි. ඒත් මේ පාර ජනයා රැස්කරන්න නීති ඇවිල්ලා. ඒ එක්ක ඡන්ද රැස්වීම් අප්‍රකට කෙනෙක්ගේ මළ ගෙයක් වගේ ගන්න වෙලා. කලින් තිබුණ විදිහට කන්න බොන්න දීගෙන, බස් සිය ගණන් රැස් කරන්න මේ පාර අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. ඒ එක්ක ඡන්ද උණෙන් ෆන් එකක් බලාගෙන ට්‍රිප් යන්න බලාගෙන උන්න අයගේ බලාපොරොත්තු සුනු විසුණු වෙලා යනවා. 

 

3. බලනවා විතරයි අල්ලන්න බැහැ 

මැතිවරණ කොමිසමේ සභාපති තුමා කිව්ව විදිහට මේ පාර අපේ අයිඩෙන්ටිටි කාඩ් එක බලනවා විතරයි, අල්ලන්නේ නැහැ . ඒ වගේම මේ පාර අපේ ඇඟිල්ල අපිටම අල්ලගන්න වෙන්නේ. හිටපු පෙම්වතිය ඇඟිල්ලේ තීන්ත ගාන තැන ඉන්නවා දකිනකොට ලැබෙන අමුතු කිතිය මේ පාර කිසිම හිටපු පෙම්වතෙකුට එන්නේ නැහැ. ඒ වගේම හැමෝම අල්ලන පැන්සලත් මේ පාර නැහැ. අපිම පෑනක් ගෙනියන්න ඕනා ගෙදරින්. ඉස්සරහට ඡන්දය දාන්න පෑන් බෙදන කට්ටියත් සූ ගාල කරළියට එයි. මොකද ඡන්දේ දාන්න පෑන් ඕනි වෙනවා නේ. 

 

 4. ලොකු අවකාශයක් අවශ්‍ය වීම 

මේ පාර ඡන්ද මධ්‍යස්ථාන විදිහටත්, ඡන්ද ගණන් කරන තැන් විදිහටත් ගන්න තැන් වල මීටරය තියාගෙන සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරන්න නම් ලොකු අවකාශයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඡන්ද පෝලිමේදිත් මීටරේ තියාගන්නවා කියන්නේ පෝලිම් ටිකක් දිගට තියෙන්න පුළුවන්. සෞඛ්‍ය නිර්දේශ නිසිපරිදි ක්‍රියාත්මක වුණොත් මැතිවරණ රැස්වීම් සහ පෙළපාලි ආදියටත් වෙනදාට වඩා විශාල අවකාශ පාවිච්චි කරන්නට වේවි. ඡන්ද ගණන් කරන තැන්වල හෙම ඉස්සර තිබුන පැක් වුණු ගතිය නැතිවෙලා ටිකක් ඉඩකඩ තිබෙන හුළං වදින පරිසරයක් එන එක ඒ රාජකාරි කරන අයට පහසුවක් වෙනවා. 

 

5. සෝෂල් මීඩියා පාවිච්චිය වැඩිම මැතිවරණය 

ඉදිරියට තිබෙන හැම මැතිවරණයක්ම වගේ තියෙනකොට ඒවායේ සෝෂල් මීඩියා පාවිච්චිය වැඩි වෙනවා. මොකද සාමාන්‍ය මීඩියා වල වගේම සෝෂල් මිඩියා වලිනුත් බොහෝ ජනතාව දැන් විනෝද වෙනවා. ඒ වගේම සෞඛ්‍ය නිර්දේශ අස්සේ දේශපාලකයින්ගේ රට ගලවාගන්නා මහානුභාව සම්පන්න වැඩ පිළිවෙළ ඉදිරිපත් කරන්නට ඔවුන්ට මේ සෝෂල් මීඩියා ඕනි වෙනවා. දැනටම පේජ්කරුවෝ සහ ඒ වැඩ සම්බන්ධ අය මඩ කැම්පේන් ආදිය පටන් අරගෙන තියෙනවා. ඉස්සරහට ඒ පැත්තට දේශපාලකයින් කරන ආයෝජන වැඩි වුණාම ඔන්ලයින් කඩේ යන පිරිස් මීටත් වඩා වැඩිවෙයි. 

 

6. කට වහපු මැතිවරණය 

අපේ රටින් වාර්තාවෙන කොරෝනා රෝගීන් අඩු වුණාට ලොව පුරා පැතිරෙන කෝරෝනා කොයි ආකාරයට ලංකාවට පාත් වෙයිද කියන බයේ අඩුවක් නැහැ. ඒ නිසා දිගටම මාස්ක් දැමීම ක්‍රියාත්මක වෙයි. ඒක එක්ක බලෙන් කට වහන්න හදන අයටත් වඩා කැමැත්තෙන්ම කට වහපු පිරිස් වැඩි වේවි. 

 

7. මීටරේ තියාගෙන කරන ප්‍රචණ්ඩ ක්‍රියා 

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වෙන අයගේ පැත්තෙන් බැලුවොත් අතින් පයින් ගහගන්න වගේ ප්‍රචණ්ඩ ක්‍රියා මේ පාර මැතිවරණයට ගැලපෙන්නෙ නැහැ. මොකද මීටරයක් තියාගෙන අතින් පයින් ගහන්න පුළුවන් චිත්‍රපටිවල මායා හොල්මන් සටන් වලදි විතරයි. ඒ නිසා ගල් ගැසීම්, පොලු ගැසීම්, කටවුට් කුඩු කිරීම් වගේ ක්‍රියාකාරකම් වලින් තමුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්න ඒ දේශපාලන මැරයන්ට සිද්ද වේවි. අලුත් ඡන්දය දේශපාලකයින්ට, නිලධාරීන්ට, මහජනයාට වගේම ඡන්දයක් කිට්ටුව නිවුස් වලින් වැඩිකොටහක් නියෝජනය කරන ප්‍රචණ්ඩ ක්‍රියා කරන මැරයින්ටත් අලුත් අත්දැකීමක් වේවි. 

 

අපි සාමාන්‍යයෙන් හුරු වෙලා තියෙන්නේ එක් රැස් වෙන්න. වෙන රටවල පාරේ මනුස්සයෙක් වැටුණත් ඒ අදාළ අංශයට කතා කරලා මිනිස්සු කරබාගෙන තමුන්ගේ වැඩ කරනවා. ඒත් අපේ ගතිය වෙනස්. අපිට ඒ සිදුවීම විඳගන්නට ඕනි. ඡන්දේ කියන්නේත් එහෙම දෙයක්. ඉස්සර ඡන්දයක් කිව්වාම හංදියක් හංදියක් ගාණේ කාර්යාල තියනවා. ලොකු මන්තිරිවරු නැතත් ගමේ මන්තිරිවරු හරි ගෙවල් වල පොඩි පොඩි රැස්වීම් තියනවා. ඒක එකපාර මිස් වීමත් පොඩි ශොක් එකක්. ඒත් ජීවිතය වෙනුවෙන් අපිට අකමැත්තෙන් වුණත් අපේ චර්යාවන් වෙනස් කරගන්න වෙනවා. කෝවිඩ් හරහා වෙනස් වුණ තවත් එක අත්දැකීමක් විදිහට අපේ ඡන්දය ඉතිහාසයට එකතු වේවි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *