රස ගුණ පිරි සියඹලා වලින් රසවත් ආහාර ටිකක්

නම අහනකොටත් කට අමුතුවට යන සියඹලේ නියම රහ ගන්න නම් ඉතින් එක එක රසට හදාගන්න වෙනවා. අද අපි ගෙනාවේ රසම රසට සියඹලා හදාගන්න හැටියි. පළතුරක්, කෑම රසකාරකයක් විදියට යොදාගන්න මේ සියඹලා එකතු කරන් හදන රස කැම ටිකක් තමයි මේ.

 

1. සියඹලා මූස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සියඹලා යුෂ මිලිලීටර් 100
  2. බිත්තර 2
  3. ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප  1/4
  4. සීනි ග්‍රෑම් 100
  5. ජෙලටින් ග්‍රෑම් 5

 

  • ජෙලටින් වලට වතුර තේ හැඳි 1ක් දමා පොඟවාගන්න. ටිකකින් ඩබල්බොයිල් කරගන්න.
  • සීනි වලට වතුර මේස හැඳි 2ක් දමා රත්කරගන්න. සීනි උණුවෙලා බුබුළු නගිනකන් හැඳිගාන්න.
  • බිත්තර ටික බීට් කරගන්න. මේකට උණුකරගත් සීනි ටික ටික දමා ගසාගන්න.
  • ෆ්‍රෙශ් ක්‍රීම් ෆ්‍රිජ් එකෙන් එලියට ගත් විගස බීට් කරගන්න. ස්ටිෆ් වෙනකල් බීට් වෙන්න ඕනේ.
  • දැන් සියඹලා යුෂ බිත්තර මිශ්‍රණයට දාලා කලවම් කරලා ෆ්‍රෙශ් ක්‍රීම් ටික එකතු කරන්න.අන්තිමට ජෙලටින් ටික දාගන්න.
  • ට්‍රේ එකකට බටර් ටිකක් ගා මිශ්‍රණය දමා ෆ්‍රිජ් එකේ පැයක් වගේ තියලා කෑමට ගන්න.

 

2. සියඹලා චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සියඹලා යුෂ කෝප්ප  1
  2. සීනි ග්‍රෑම් 100
  3. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  4. චොප්කරගත් අමු ඉඟුරු තේ හැඳි 1
  5. ලුණු රස අනුව
  6. මිරිස්කුඩු මේස හැඳි 1
  7. වතුර කෝප්ප  1/4

 

  • භාජනයකට මේ සියල්ලම දාලා උකු වෙනකල් හැඳි ගාන්න.
  • හොඳට උතුරගෙන එනකොට ලිප ඕෆ් කරලා ජීවාණුහරණය කරපු බෝතලයක අසුරගන්න.

 

3. සියඹලා කම්බල

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සියඹලා යුෂ කෝප්ප  1
  2. සීනි ග්‍රෑම් 150
  3. මිල්ක්මේඩ් ටින් 1 (පොඩි)
  4. බිත්තර කහමද 6
  5. කිතුල් පිටි මේස හැඳි 2
  6. වතුර කෝප්ප  2

 

  • සීනි හා වතුර මිශ්‍ර කර උණු කරගන්න. උතුරනකොට මිල්ක්මේඩ් එක කඩලා දාගන්න. ටිකකින් කිතුල් පිටි දාලා ලුණු එකතු කරගන්න. උකුවෙනකල් හැඳි ගාන්න.
  • ඊලඟට සියඹලා යුෂ ටික දාලා උතුරවගන්න.
  • ලිප ඕෆ් කරලා බිත්තර කහමද ටික දාලා කලවම් කරගන්න.

 

4. සියඹලා පේස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සියඹලා ග්‍රෑම් 500
  2. රස අනුව ලුණු

 

  • සියඹලා වලට වතුර ටික ටික දමා අතින් පොඩි කරමින් යුෂ පෙරාගන්න. මේ වගේ 3 පාරක් යුෂ අරගන්න.
  • දැන් මේ සියඹලා යුෂ ටික ලිපේ තියලා මදගින්නෙ උකු වෙනකල් හැඳි ගාන්න. රස අනුව ලුණු එකතු කරගන්න.
  • හොඳටම උකු වෙනකල් තියලා නිවුනම ජීවාණුහරණය කරපු බෝතල් වල අසුරගන්න.

 

5. සියඹලා සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සියඹලා යුෂ කෝප්ප  2
  2. සුදුළූණු තේ හැඳි 2
  3. මිරිස්කුඩු තේ හැඳි 2
  4. සීනි තේ හැඳි 2
  5. තෙල් ස්වල්පයක්
  6. ඉඟුරු තේ හැඳි 1

 

  • භාජනයකට තෙල් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු, සීනි, සියඹලා යුෂ, මිරිස්කුඩු හා ලුණු දාගන්න. මේක උකු වෙනකල් හැඳි ගාන්න. 
  • සෝස් එකක් ආකාරයට හැදීගෙන එනකොට තව ටිකක් වෙලා ලිපේ තියලා ලිප නිවාගන්න. සැර වැඩිය ඕනෙනම් මිරිස්කුඩු ප්‍රමාණය වැඩි කරගන්න.

 

6. සියඹලා හොදි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සියඹලා යුෂ මිලිලීටර් 100
  2. කොත්තමල්ලි ඇට මේස හැඳි 1
  3. සූදුරු තේ හැඳි 1
  4. අමු ඉඟුරු තේ හැඳි 1/2
  5. අබ තේ හැඳි 1
  6. ගම්මිරිස් ඇට 10ක් පමණ
  7. කුරුඳු පොතු කැබැල්ලක්
  8. කරපිංචා ස්වල්පයක්
  9. රම්පෙ කෑල්ලක්
  10. බැදගත් මිරිස් කරල් 2
  11. පරිප්පු තම්බා පෙරාගත් වතුර ලීටර් 1
  12. තෙල් ස්වල්පයක්
  13. ලුණු රස අනුව

 

  • භාජනයක් ලිපේ තියලා රත්වෙනකොට තෙල් ටික දාගන්න.
  • ඉන්පසු අබ, කරපිංචා, රම්පේ, ගම්මිරිස් ඇට, සුදුළූණු, අමු ඉඟුරු දාලා තෙම්පරාදු කරගන්න.
  • ටිකකින් තලාගත් සූදුරු, කොත්තමල්ලි, සියඹලා යුෂ හා පරිප්පු තැම්බූ වතුර දාලා කළවම් කරගන්න.
  • උතුරනකොට ලුණු දමා ලිපෙන් බාගන්න. අවසානයේ උඩින් කඩාගත් මිරිස් කරල් ටික දාගන්න.

 

7. සියඹලා රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බාස්මතී හාල් ග්‍රෑම් 500
  2. තෙල්
  3. සියඹලා ග්‍රෑම් 100
  4. අබ ඇට ස්වල්පයක්
  5. කරපිංචා ස්වල්පයක්
  6. රටකජු මේස හැඳි 2
  7. කඩල පරිප්පු මේස හැඳි 1
  8. වියළි මිරිස් කරල් කිහිපයක්
  9. ලුණු

 

  • හාල් ටික සෝදා පැය 1/2ක් පෙඟෙන්න තියන්න. 
  • රයිස් කුකර් එකට වතුර කෝප්ප 2ක් දාලා පෙඟෙන්න දැමූ හාල් ටික දාලා තෙල් මේස හැඳි 1ක් දාලා බත පිසගන්න. 
  • සියඹලා වලට වතුර ටික ටික දමා යුෂ පෙරාගන්න. සියඹලා යුෂ කෝප්ප 1ක් සෑහේ.
  • පෑන් එකකට තෙල් මේස හැඳි 3ක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. ටිකකින් කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
  • රටකජු ටිකත් දාගන්න. ඊලඟට පරිප්පු ටික දාගන්න.
  • දැන් කපාගත් වියළි මිරිස් ටික එකතුකරගන්න.
  • දැන් විනාඩියක් විතර කළවම් කරමින් තෙම්පරාදු කරගෙන සියඹලා යුෂ ටික එකතු කරන්න.
  • දැන් පිසගත් බත් ටික එකතුකරගන්න. රස අනුව ලුණු දාලා කලවම් කරගන්න.