ජොබ් එකේ වැඩ, ගෙදර වැඩ, අහල පහල කතන්දර ඔක්කොමත් එක්ක ඔළුව නිකං පැටළුණු නූල් බෝලයක් වගේ නේද වෙලාවකට? මේ පැටළුම් ලෙහාගෙන පැත්තක ඉඳගෙන එක වැඩක් මුල ඉඳන් අගට කරන්නනම් සෑහෙන්න ඉවසීම සහ සිහිකල්පනාව තියෙන්න ඕන. ඔය අතරේ පොඩි පොඩි සමහර වැඩ අමතක වෙන එකත් බොහොම සාමාන්‍ය සිදුවීමක්. හැබැයි ඉතින් ඒක එහෙම උණාට ඔෆිස් එකේ, ගෙදර දොරේ උනත් පොඩි නමුත් වැදගත්ම වැඩක් අමතක වුණොත් ප්‍රශ්නයක් නේද? අන්න ඒකට තමයි මේ To Do List කියන එක අපිට උදව් වෙන්නෙ. දවස ඇතුළත ඉවර කරගන්න තියෙන ඔක්කොම වැඩ අතපසු නොකර කරගන්න උදව් කරන වැදගත්ම ක්‍රමයක් තමයි To Do List එකක් පවත්වාගෙන යන එක. ඉතින් බලමුකෝ මේ වැඩ පහසු කරන To Do List ගැන මුල ඉඳන් අගටම විස්තරේ.
1. To Do List එකක් කියන්නේ මොකක්ද?
To Do List එකක් කියන්නෙ වචනයේ තේරුමේ හැටියටම “To Do” ඒ කිව්වෙ කරන්නට තියෙන වැඩ ඇතුළත් කරලා ලියන නෝට් එකක්. මේක ස්ටිකී නෝට් එකක්, පොඩි සටහන් පොතක් එහෙමත් නැත්තම් කාලයක් පාවිච්චි කරන දිනපතා වැඩ ලියන ලොකු සටහන් පොතක් වගේ ඕනෑම එකක ලියන්න පුළුවන්. ඒකට තම තමන්ට පහසු ක්‍රමය තමයි තෝරාගන්න ඕන. ලියන විදිහ මොකක් උනත් To Do List එකක මූලිකම අදහස තමයි දවසේ වැඩ ටික අමතක නොවෙන්න ලියල තියන එක.
2. To Do List එකක වාසි
මුලිනුත් කිව්ව වගේ To Do List එකක ලොකුම වාසිය තමයි වැඩ අමතක වෙලා, බොස්ගෙන් බැනුම් අහගෙන දවසම අවුල් කරගන්න වෙන්නෙ නැති එක. ගෙදරදි උනත් වැදගත්ම වැඩක් අමතක වෙලා දවසේ ප්ලෑන් අවුල් නොයන එක. ඒ වගේම කරන්න තියෙන වැඩ පිළිවෙලකට To Do List එකක ලිව්වම ඒ ඔක්කොම වැඩ මතක තියාගෙන ඉන්න ඕන කරදරේ නැහැ. ඒ නිසාම ඔලුව නිදහසේ තියාගෙන ඒ වෙලාවේ කරන වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම තමා වැදගත්කමේ පිළිවෙලට වැඩ ප්ලෑන් කරල දවස ඉවර කරන විදිහ කලින්ම හිතාගන්න පුළුවන්. එතකොට අතර මැදදි වෙන වැඩක් වැටුනත් නිදහස් වෙලාව කෝකද? කරන්න පුළුවන්ද? බැරිද? කියල කලින්ම කියන්න පුළුවන් දවසේ අනිත් වැඩත් අවුල් කරගන්නෙ නැතුව.
ඒ වගේම තමයි ඔෆිස් එකක එහෙම වැඩ කරද්දී To Do List එකක් තියෙන එකෙන් එකම තැනකින් කරගන්න පුළුවන් වැඩ, ඒ කිව්වේ එකම ලොක්කෙක්ගෙන් ගන්න තියෙන අත්සන්, එක්කෝ එකම තට්ටුවක department කිහිපයකින් කරගන්න තියෙන වැඩ එහෙම එක පාරින්ම කරගන්න ප්ලෑන් කරන්න පුළුවන්. එහෙම නැතුව මතකෙන් කරන්න ගියොත් වැඩ කිහිපයකට එකම තැනට කීපවතාවක් යන්න වෙන වෙලාවලුත් තියෙනවනේ.
අනිත් ලොකුම වාසිය තමයි To Do List එකකට පුළුවන් ඔයාගේ ප්‍රගතිය මනින්න. ඒ කිව්වෙ දවසේ වැඩ වලින් මම මේ වෙනකොට කොච්චර කොටසක් ඉවර කරලද කියල බලල, අනික් වැඩ වලට කාලය කළමනාකරණය කරගන්න පොඩි motivation එකක් එහෙම ගන්නත් පුළුවන්.
3. කොහොමද වැඩේ පටන් ගන්නේ?
කවදාවත්ම To Do List එකක් පාවිච්චි කරල, දැකලවත් නැති කෙනෙකුට මේ වැඩේට අතගහල කරගෙන යන එක එකපාරටම ලේසි වැඩක්නම් නෙමෙයි. ඔක්කොටම කලින් To Do List එකක් කියන්නෙ මොකක්ද කියන එක ගැන දැනුවත් වෙලා, මේ To Do List එකක් පාවිච්චි කරන එකෙන් තමන්ට ලැබෙන වාසි ගැන හොඳ අවබෝධයක් ලබාගන්න ඕන. නැතුව ඔහේ කිසිම තේරුමක් නැති වැඩක්නම් කරලත් වැඩක් නැහැනෙ. ඒ නිසා විස්තරේ හොඳට හොයල බලල To Do List එකක් අනුව වැඩ කරල ඒ පහසුව අත් විඳින්න ආසාවක් හිතේ ඇතිකරගන්න ඕන. ඊළඟට තෝරගන්න ඕන ඔයා මේ To Do List එක හදාගන්න පාවිච්චි කරන ක්‍රමය මොකක්ද කියල. ඒ කිව්වෙ පොතක්, කොලයක්, මොබයිල් ඇප් එකක් කියන ක්‍රම වලින් තමන්ට ලේසි ඕනම ක්‍රමයක් තෝරාගන්න.
4. To Do List එක ලියන හැටි
ඔන්න දැන් තෝරගත්ත ක්‍රමයට මේ ලිස්ට් එක ලියන්නයි යන්නෙ අපි. මේ To Do List ලියන්න ඕනේ මෙන්න මෙහෙමයි කියල කොහේවත් නීතියක්නම් නැහැ. හැබැයි ඔහේ, කරන්න තියෙන වැඩනෙ කියල හිතල කටු සටහන් වගේ අපිළිවෙලට වැඩටික ලිව්වොත්නම් මේ To Do List ලිවීමේ අරමුණ ඉෂ්ට වෙන්නෙ නැහැ. ඒ නිසා මුලින්ම ආස හිතෙන විදිහේ හොඳ නෝට් බුක් එකක්, ගැලපෙන ඇප් එකක් තෝරාගන්න. ඇප් එකක්නම් ඒකෙ විදිහට වැඩ ටික enter කරගෙන යන්නයි තියෙන්නෙ. පොතක ලියනවනම් ටිකක් ආස හිතෙන විදිහට පිළිවෙලට වැඩටික ලියන එක වැදගත්. මොකද දවසම ඕක දිහා බල බල වැඩ කරන්න පොඩි motivation එකකුත් තියෙන්න එපැයි.
5. මතක තියාගන්න ඕන වැදගත් කරුණු
ගෙදර ඉන්න කෙනෙකුටනම් ඒ කිව්වේ ගෘහණියකට වගේනම් එදිනෙදා ෂොපින්, වොෂින් වගේ වැඩ ලිස්ට් එක ලියල පිළිවෙලට කරගන්න පුළුවන්. එහෙම නැතුව රැකියා කරන ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ගෙදර වැඩයි, ඔෆිස් එකේ වැඩයි දෙකම මේ ලිස්ට් එකේ ලියල තියාගන්නත් පුළුවන්. එහෙම ලියනවද නැත්තම් ගෙදර වැඩට වෙනම ලිස්ට් එකයි ඔෆිස් එකට වෙනම ලිස්ට් එකයි ලියනවද කියල ඔයාම තමයි තීරණය කරන්න ඕන. හැබැයි කොහොම උණත් “අනේ ගෙදර වැඩනේ” කියල නොලිය ඉන්න එකනම් කරන්න එපා. මොකද කොච්චර ඔෆිස් එකේ වැඩ ලියල පිළිවෙලට කරගෙන ගියත් අම්මගෙ බෙහෙත්, පුතාගේ ස්කුල් වෑන් එකට කතා කරන්න වගේ ගෙදර වැඩ ඔළුවේ කොනක තියාගෙන ඔෆිස් වැඩ කරන්න ගියාම ඒවත් නිදහසේ කරගන්න වෙන්නෙ නැහැ. අනික වැඩ අමතක වුණොත් එක වැඩක්වත් හරියට කරපු සතුටත් නැහැ. හැබැයි ගෙදර වැඩ ලියනවනම් ඔහේ මේසෙ උඩ දාල යන පොතක නොලියා පෞද්ගලිකත්වයත් ආරක්ෂා වෙන තැනක් තියන්නත් අමතක කරන්න එපා.
අනිත් දේ තමයි මේ ලියන වැඩ prioritize කරන්න ඕන. ඒ කිව්වේ වැඩවල වැදගත්කම, ගතවෙන කාලය අනුව ඒවා පෙළගස්වල දවස සැලසුම් කරගන්න ඕන. අපි කලිනුත් කිව්වා වගේ To Do List එකකින් ලැබෙන වාසි වලිනුත් එකක් තම මේ වැඩ පෙළගස්වල කරන්න පුළුවන් වෙන එක.
6. To Do List එකක වරදින තැන්
ඉවර කරගන බැරි දිග ලිස්ට් ලියන්න එපා. දවස ඇතුළත කරන්න පුළුවන් වැඩටික විතරක් ලියල ඉතුරු වැඩ අනිත් දවසේ ලිස්ට් එකට එකතු කරගන්න. ඒ වගේම තමයි කරන්න අපිට පහසුකම් නැති, ඒ කිව්වේ තව කෙනෙකුගේ අත්සනක් ලැබෙනකන් බලන් ඉන්න ලියවිලි, එක්කෝ වෙන department එකකින් ඉවරකරල එවන්න ඕන ලියවිල්ලක් වගේ ඒව ඔයාගෙ ලිස්ට් එකට දාගන්න එකත් තේරුමක් නැති වැඩක්. දවස පිරෙන්නම වැඩ ගොඩගහගන්න එකත් තවත් නරක වැඩක්. දවසේ පැය අටයිනම් ඔෆිස් එකේ වැඩ කරන්නෙ අඩුම ගාණෙ ඒ පැය 8න් පැයක්වත් වැඩක් යොදානොගෙන තියාගන්න. මොකද ප්ලෑන් නොකරපු හදිසි වැඩ ඕනෑම දවසක එන්න පුළුවන්නෙ.
අනිත් එක තමයි To Do List එක ලියන්න එදා උදේට වැඩ පටන් ගන්නකන්ම ඉන්න එක. අද දවසේ To Do List එක ලියන්න ඕන අද උදේනම් නෙමෙයි. එහෙම ලියන්න හිටියොත් හුඟක් වැඩ අතපසු වෙලා තියෙන්න පුළුවන්. එක්කෝ කලින් දවසේ ඔෆිස් එකෙන් ඕෆ් වෙන්න විනාඩි 10කට කලින් හරි නැත්තම් එදා රෑ ගෙදරදී හරි තමයි මේ To Do List එක ලියන්න ඕන. අතපසු වුණු දෙයක් තියෙනවනම් උදේට List එකට එකතු කරගන්න පුළුවන්. ඔළුව නිදහසේ සුව නින්දක් ලබන්නත් මේක උදව්වක්.
7. පරණ To Do List
කලින් දවස්වල ලියපු To Do List විසි කරනවද එතකොට? අපෝ නැහැ. මෙන්න මෙතැනදී තමයි කොළ කෑලි වල නොලියා පොතකම ලියන එකේ වාසිය දැනෙන්නෙ. කලින් දවස්වල ලියපු ලිස්ට් වල කරන්න බැරිවුණ වැඩ ඊළඟ දවසේ ලිස්ට් එකට ලියාගන්න ඕන. එහෙම නැතුව වෙන කෙනෙකුගේ ප්‍රමාදයක්, බජට් ප්‍රශ්නයක් වගේ මොකක්ම හරි ඔයාට පාලනය කරන්න බැරි බාහිර ප්‍රශ්නයක් නිසා කරන්නම බැරිවෙන හෝ පරක්කු වෙන වැඩක්නම් List එකේ වැඩේ ලියාගත්ත තැනින් පැහැදිලි නෝට් එකක් දාගන්න කරන්න බැරි හේතුව ගැන. එතකොට පස්සෙ ප්‍රශ්න අහන වෙලාවකදි වුණත් ඔයාගෙ ගැලවිජ්ජාවට කරුණු ඔයා අතේ තියෙනව. එහෙම නැති වුණත් ඔක්කොම වැඩ කරලා ඉවර කරපු සාර්ථක දවසක To Do List එකක් වුණත් විසි නොකර අරන් තියාගත්තොත් වැඩ අමාරු දවසක motivation එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.
Leave a Reply