සමාජ දුරස්ථභාවය තියාගෙන බිල් ගෙවන්න ෆෝන් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඇප්ස් කීපයක්!

තාමත් මීටරේ දුර එහෙම නැතිනම් සමාජ දුරස්ථභාවය අමතක කරන්න කාලය ඇවිත් නෑ. මොකද, කොවිඩ්-19 ලංකාවේ පාලනය වුනාට, තාම හරියටම ප්‍රශ්නේ විසඳිලා නෑ. ඒක විසඳෙන්න නම් ඉතින් වැක්සීන් එකක් හොයාගන්නම වෙනවා. හැබැයි ඉතින් අපිට කොහොම කළත් එදිනෙදා පාවිච්චි කරන වතුර බිල්, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් ගෙවන්නම වෙනවා. බැංකු කටයුතු එහෙම කරන්නම වෙනවා. හැබැයි ඔය දේවල් ඔක්කොම බැංකුවටවත්, බිල් ගෙවන මැෂින් එකකටවත් යන්නේ නැතුව, ෆෝන් එකෙන්ම කරගන්න තියෙනවා නම්, ඒක ලොකු දෙයක් නෙවෙයිද? කාලයත් ඉතුරුයි. ආන්න ඒ නිසා අපි කියන්න යන්නේ, කෙනෙක්ගේ ස්මාට්ෆෝන් එකක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කරන ඒ වගේ ඇප්ස් කීපයක්. තමන් පාවිච්චි කරන සේවාවන් අනුව අදාළ ඇප්ස් තෝරගන්න පුළුවන්.

 

1.SLT Selfcare / MySLT

ශ්‍රී ලංකා ටෙලිකොම් කට්ටියගේ ඇප්ස් දෙකම අපි මේ යටතට ගන්නවා. මෙතනින් MySLT ඇප් එකෙන් ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් කාර්යය තමයි ඩේටා කනෙක්ෂන් එක මැනේජ් කරගන්න එක. ඒ කියන්නේ තමන්ට මාසෙකට හිමිවෙන ඩේටා ප්‍රමාණය ඕෆ් පීක්, පීක් වලට බෙදලා වෙනම මෙතනින් බලාගන්න පුළුවන්. එතකොට ඒවා දිනපතා පාවිච්චි වෙන විදිය පවා සවිස්තරාත්මකව බලන්න පුළුවන්. ඊට අමතරව ෆ්‍රී ඩේටා, බෝනස් ඩේටා, එස්ක්ට්‍රා ජීබී එහෙමත් බලාගන්න පුළුවන්. ඩේටා ඉවර වුණොත් වැඩිපුර GB මිලදී ගන්න එකත් මේකෙන්ම කරගන්න පුළුවන්.

 

එතකොට SLT Selfcare ඇප් එකෙන් තමන්ගේ ශ්‍රී ලංකා ටෙලිකොම් ගිණුම සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරන්න සහ පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ බිල් ගෙවන එකේ ඉඳලා දෝෂ වාර්තා කිරීම, අලුත් සේවාවන් ඉල්ලුම් කිරීම වගේ හැම දෙයක්ම.

 

2. CEB Care

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය අරන් පාවිච්චි කරන අයට ලේසියෙන්ම තමන්ගේ විදුලි සැපයුම සම්බන්ධ වැඩ කටයුතු කරගන්න පුළුවන් මේ ඇප් එක පාවිච්චි කරලා. ප්‍රධාන වශයෙන්ම විදුලි බිල ගෙවන එකට අමතරව, මොකක් හරි විදුලි දෝෂයක් ආවොත් ඒ ගැන පැමිණිල්ලක් දාන එක, විදුලි කප්පාදු සීන් ගැන විස්තර දැනගන්න එක, බිල් ගැන විස්තර දැනගන්න එක, බිල කොහොමද යුනිට් ප්‍රමාණයට හැදෙන්නේ කියලා ගණනය කරගන්න එක, ඒ අනුව තමන්ගේ බිල හැදෙන්නේ කොහොමද කියලා බලාගන්න එක වගේ දේවල් ගණනාවක්ම මේ ඇප් එක හරහා කරගන්න පුළුවන්. තමන්ගේ ගිණුම් කීපයක්ම (උදා – නිවස, කාර්යාලය) මේ හරහා ඔබට කළමනාකරණය කරගන්නත් පුළුවන්.

 

3. myleco

මේකත් විදුලි සැපයුම සම්බන්ධ ඇප් එකක්. හැබැයි මේක වැදගත් වෙන්නේ විදුලි බල මණ්ඩලයෙන් කරන්ට් එක ගන්න අයට නෙවෙයි. ලෙකෝ කොම්පැණිය හරහා විදුලිබල සැපයුම පාවිච්චි කරන අයට ඕන කරන ඇප් එක තමයි මේක. මේකෙන් තමන්ට තියෙන ගැටළු, දෝෂ වාර්තා කිරීම වගේ හැමදෙයක්ම කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ බිල, බිල් ගෙවුම් ඉතිහාසය වගේ හැමදෙයක්මත් මේ ඇප් එක ඔස්සේ බලාගන්න පුළුවන්.

 

4. MyDialog

මේ ඇප් එකට තමන්ගේ තියෙන ප්‍රීපේඩ්, පෝස්ට් පේඩ් ඕනම නම්බර් එකක් ඇතුළත් කරගන්න පුළුවන්. නම්බර්ස් කීපයක් වුනත් මේකට දාලා මැනේජ් කරගන්න පුළුවන්. දැන් මේක ඔස්සේ තමන්ගේ ඩේටා පාවිච්චිය, තමන්ට ඉතුරු වෙලා තියෙන ෆ්‍රී කෝලින් මිනිත්තු ප්‍රමාණය, එස්.එම්.එස්. ප්‍රමාණය වගේ දේවලුත් ලේසියෙන්ම බලාගන්න පුළුවන්. ඒ වගේම ඩයලොග් වෙතින් ලබාගන්න පුළුවන් විවිධ සේවාවන් හැම එකක්ම වගේ ගවේෂණය කරලා බලන්නත්, ඒ වලින් තමන්ට ඕන ඒවා දාගන්නත් මේ ඇප් එකෙන්ම පුළුවන්. ඒ ඇරෙන්න යාලුවන්ට සල්ලි දාන ඒවා, ස්ටාර් පොයින්ට්ස් වැඩ වගේ හැමදෙයක්මත් මේකෙන් කරගන්න පුළුවන්. ඇත්තටම MyDialog ඇප් එකේ ඩයලොග් වලට අදාළව කරගන්න බැරි වැඩක් නැති තරම්. ඒ වගේම අත්‍යාවශ්‍යම වැඩේ, බිල ගෙවන එකත් මේකෙන්ම කරගන්න පුළුවන්!

 

5. Mobitel Selfcare

මොබිටෙල් බිල් ගෙවන්න විතරක් නෙවෙයි, තමන්ගේ නම්බර් එකට තියෙන ෆ්‍රී ඩේටා, වැයවුණු ඩේටා, ෆ්‍රී කෝල් මිනිට්ස් අනං මනං හැමදෙයක්ම බලාගන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තහම පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඊ-බිල් ඇක්ටිවේට් කරගන්න/බලාගන්න, mTunes සිංදු තෝරගන්න, රෝමින් ඇක්ටිවේට් කරගන්න වගේ වැඩත් මේකෙන් පහසුවෙන්ම කරගන්න පුළුවන්. එතකොට ඔය මොබිටෙල් එක්ක එන දවසේ පලාඵල, නිව්ස්, ක්‍රීඩා තොරතුරු, ලොතරැයි තොරතුරු, ජොබ්ස් වගේ අමතර සේවාත් මේ ඇප් එක හරහාම ලේසියෙන් කළමනාකරණය කරගන්න් පුළුවන්.

 

6. FriMi

ෆ්‍රීමී කියන්නේ ඇත්තටම ඊ-වොලට් එකක්. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රොජෙක්ට් එකක් විදියට සිදුකෙරෙන ෆ්‍රීමී මේ වෙනකොට ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි. ඒ වගේම ෆ්‍රීමී වොලට් එක පාවිච්චි කරන එක පහසුයි වගේම ඒකේ තියෙන පහසුකම් ප්‍රමාණයත් සෑහෙන්න විශාලයි. ෆ්‍රීමී වොලට් එක ඉන්ස්ටෝල් කරලා සෙටප් කරනවා කියන්නේම, ෆ්‍රීමී එකවුන්ට් එකක් ඕපන් වෙනවා කියන එක. ඉන් පස්සේ අපිට ඕන නම් අපේ තියෙන ක්‍රෙඩිට් කාඩ්ස්, වෙනත් බැංකුවල තියෙන එකවුන්ට් එහෙමත් ඒකට සම්බන්ධ කරන්න පුළුවන්.

 

ඕන නම් ඒටීම් මැෂින් එකකින් ෆ්‍රීමී එකවුන්ට් එකේ තියෙන සල්ලි ගන්නත් පුළුවන්. හැබැයි ෆ්‍රීමී වොලට් එකේ තියෙන වැදගත්ම කාර්යය වෙන්නේ, අපිට ඕන බිලක්, ඕන ගෙවීමක්, තව බැංකුවකට සල්ලි ට්‍රාන්සර් කිරීමක් මේ ඇප් එක ඔස්සේ කරගන්න පුළුවන් වීම. ඒ වගේම ෆ්‍රීමී ඇක්සස් තියෙන ඕනම සුපර් මාකට් එකකින්, ඕනම කඩේකින් බඩු අරගෙන, ෆ්‍රීමී ඇප් එක හරහා ගෙවීම් කරන්නත් පුළුවන්. සෝෂල් ඩිස්ටන්සින් උපරිමයි!

 

7. BOC SmartPay

මේකත් සුරක්ෂිතව ගෙවීම් කරන්න පුළුවන් පේමන්ට් පෝටල් එකක්. ඊ-වොලට් එකක් තමයි. මේකෙ කරන්නේ ලංකා බැංකුවෙන්. ඒ වගේම මහ බැංකුවේ පළවෙනියටම QR Certified mobile payment solution එකක් විදියට ලැයිස්තුගත වුණු ඇප් එකත් මේක තමයි. මේකෙනුත් සල්ලි හෝ කාඩ් පවා හුවමාරු කරගන්නේ නැතුව, ඇප් එක හරහා මුදල් ගෙවීම් කරන්න පුළුවන්. ඔය බිල් ගෙවීම් වලට අමතරව ලංකාව පුරා විසිරිලා තියෙන BOC SmartPay හැකියාව තියෙන වෙළෙඳසල් වලින් බඩු ගත්තහම මේකෙන් ගෙවීම් කරන්න පුළුවන්. මේකත් FriMi වගේම කරදරයක් නැති ඊ-වොලට් එකක් නිසා, මේකත් ලිස්ට් එකට දානවා.

තව දෙයක්, මේ ඇප්ස් පාවිච්චි කරනකොට ක්‍රෙඩිට් කාඩ් එකක්ම තියෙන්න ඕන නෑ. ඩෙබිට් කාඩ් එකක් තිබුණත් ඇති. ඒ නැතිනම් අපි ඔය ලිස්ට් එකේ අන්තිමට කිව්වා වගේ ඊ-වොලට් ඇප් එකක් තිබුණත් ඇති.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *