1960 ගණන් වල ලෝකේ හිටියේ මුලු ජනගහණය බිලියන 4ක් වගේ. ඒ කාලෙත් ලෝකේ ඒ තරම් මිනිස්සු ප්‍රමාණයකට කන්න දෙන්න පුළුවන්ද කියන එක ගැටළුවක් වුණා. දැන් ලෝකයේ ජනගහණය බිලියන 8කට වැඩියි. ඒත් දැන් තාක්ෂණය තියෙන නිසා බහුතරයක් මිනිස්සුන්ට ඇති පදමට කෑම ලැබෙනවා. ලෝකයම ගත්තම මොනවද මිනිස්සු වැඩිපුරම ආහාරයට ගන්න කෑම ජාති කියලා අපි ටිකක් සොයා බලමු.
1. චිකන්
චිකන් කියන්නේ ලෝකයේ එදා පටන්ම ලාබම මස. අදටත් ඇමරිකාවේ වුණත් චිකන් කියන්නේ එහෙමට මිල අධික මසක් නෙමෙයි. දැන් කුකුලන් දවස් විසි ගාණෙනුත් ඇති දැඩි වෙනවා. කුකුල්ලු ඉතාම ඉක්මනින් මිනිස්සු වැඩිදියුණු කළා. අනෙක් සතුන්ට සාපේක්ෂව බෙහෙත් දීලා අඩු කාලෙකින් කුකුලෙකු මස් කරගන්න අද විද්‍යාව නිසා හැකි වෙලා තියෙනවා. මේ නිසාම කුකුල් මස ඉන්දියාව වගේ වෙජිටේරියන් මිනිස්සු වැඩි රටවලත් ජනප්‍රිය වෙලා තියෙනවා.
2. බිත්තර
කෙලින්ම බිත්තර සහිත කෑම වලට වඩා බිත්තර යෙදූ කෑම වර්ග අපි අතර තියෙනවා. බිත්තර කියන්නේ ලාබෙටම ලබාගන්න පුළුවන් ප්‍රෝටීන ප්‍රභවයක්. බිත්තර වලින් ලැබෙන පෝෂණය ලබාගන්න මාළු හෝ මස් යොදාගන්නවා නම් ඊට වඩා වැඩි මුදලක් වියදම් වෙනවා. ලංකාවේත් බිත්තර කියන්නේ කැත නැතුව කන්න පුළුවන් කෑමක්. බත් කන්න ගියත් ගොඩක් කඩවල මස් කෑම, මාළු කෑම ළඟට බිත්තර කෑම තියෙනවා. කොත්තු, රයිස් වුනත් වැඩිපුරම විකිණෙන වර්ගය තමයි බිත්තර කොත්තු හෝ බිත්තර රයිස් කියන්නේ.
3. බත්
ලෝකේ මූලික ආහාර ලැයිස්තුවේ ඉරිඟු වලට පමණක් දෙවැනි වෙන සහල් ඇන්ටාක්ටිකාවේ, ග්‍රීන්ලන්තයේ ඇරුනාම හැම මහද්වීපයකම වගේ වවනවා. ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවලුත් සහල් වගා කරනවා. බත් සහ ව්‍යංජන බෙදාගෙන, අනාගෙන කන්න තමයි ලංකාව ඉන්දියාව වගේ රටවල හුරු වෙලා ඉන්නේ. එත් ඉන්දුනීසියාවේ නාසි ගුරාන් කියා හඳුන්වන ෆ්‍රයිඩ් රයිස් වලට වඩාත් සමීප කෑම වැඩිපුර ජනප්‍රියයි. චීන රටේ හෙම අපි තරම් ලොකු ප්‍රමාණයක් චීනා බත් බුදින්නේ නැහැ. ඒත් ඔවුන් කෑම වේලකට බත් කෝප්පයක් වගේ අර ස්ටික් වලින් ඉක්මනින් කාලා දානවා.
4. පැස්ටා
පැස්ටා ලංකාවේ නම් ඇත්තටම කන පිරිස අඩුයි. ගම්බද පළාත් ගත්තොත් පැස්ටා කියන්නේ සිල්ලර කඩවල එච්චර අලෙවි වෙන කෑමක් නෙමෙයි. ඒත් ඇමරිකාවේ ජාතික ආහාරයක් වගේ ජනප්‍රිය දෙයක් තමයි පැස්ටා කියන්නේ. පැස්ටා මූලික වශයෙන් හදන්නේ පාන්පිටි වලින්. විවිධ හැඩයෙන්, විවිධ ක්‍රමයට හදාගත් පැස්ටා ඩිශ් ලෝකයේ තැන් තැන් වල තියෙනවා.
5. පීසා
ඉතාලි කෑමක් වෙන පීසා ඇමරිකානුවන් 13%ක් දිනපතා ආහාරයක් ලෙස ගන්නවා. පීසා ලංකාවෙ නම් එකක් රුපියල් දාහක් විතර වෙන ටිකක් සුඛෝපභෝගී ආහාරයක්. එත් ඇතැම් රටවල පීසා කියන්නේ උදේ ආහාරයටත් ගන්න බොහොම සාමාන්‍ය කෑමක්. ඒ වගේම පීසා තිබෙන ෆාස්ට් ෆුඩ්ස් අවන්හල් අපේ රටේ තේ වතුර කඩ, මාතර බත් කඩ තරම් සුලභ ලාභ අත්දැකීමක් වෙනවා දියුණු රටවල ජනතාවට.
6. අයිස් ක්‍රීම්
ලොකේ වැඩිපුරම ජනප්‍රිය පොදු ඩෙසර්ට් එකක් තමයි අයිස් ක්‍රීම් කියන්නේ. අපේ රටෙත් පාට පාට අයිස් ක්‍රීම් කන්න වැඩිහිටි, බාල, තරුණ, මහලු ඔක්කොමල්ල වගේ ආසයි. අපිට නම් වැනිලා අයිස් ක්‍රීම් කියන්නෙ මළ ගෙදරක ඇර අනෙක් සෑම අවස්ථාවකම වගේ හමුවෙන පොදු ඩෙසර්ට් එකක්. කොරෝනා නිසා මග ඇරුනට වෙනත් වෙසක්, පොසොන් දන්සැල් වලදී අයිස් ක්‍රීම් දන්සැල් ලංකාවේ හතර දිග්බාගේ හැම තැනකම වගේ පැවැත්වෙනවා. මේ අයිස් ක්‍රීම් ගත්තාම අපි කන අයිස් ක්‍රීම් වර්ග තියෙන්නේ පොඩ්ඩයි. ඒත් ඇමරිකාවේ සහ වෙනත් රටවල විවිධ ආකාරයේ රසම රස අයිස්ක්‍රීම් වර්ග ගොඩාරියක් තියෙනවා.
7. කිරි ආහාර
කිරි බීම කිව්වාහම මෑතක් වෙනකල් අපේ රටේ පිටිකිරි බොහොම වේගෙන් ජනප්‍රිය වෙලා තිබුණා. ඇතැම් කෙනෙක්ට උදේට පිටිකිරි ඇතුළත් තේ කෝප්පය නැතුව ඇඳෙන් නැගිටින්නත් බැරි වුණා. අපේ රටේ වගේම ඉන්දියාවෙත් කිරි කියන්නේ ජනප්‍රිය ආහාරයක්. ඒ වුණාට ඉන්දියාවේ මිනිස්සු බොහෝවිට තමුන්ගේ ළඟම ගොවිපලෙන් කිරි දියර කිරි වශයෙන් මිලදී ගන්නවා. බටර්, කල් කිරි, යෝගට් ආදී විවිධ ආහාර රැසකට පණ දෙන ගවයින්ගෙන් ලබාගන්නා කිරි ලෝකේ අස්සක් මුල්ලක් නෑරම ජනප්‍රිය වෙලා තියෙනවා. නවසීලන්තයේ එළදෙනකගෙන් සාමාන්‍යයෙන් කිරි ලීටර 20ක් විතර දවසකට අදිනවා. ඒ වගේ එළදෙනුන් නම් අපිට එක ලේන් එකකට තුන් හතර දෙනෙක් හිටියත් ඔක්කොමල්ලට දියර කිරි බොන්නට පුළුවන් වේවි.
ෆුඩ් චේන්ස් එහෙම නැතිනම් ආහාර ජාල කියන්නේ මිනිස්සුන්ට බොහොම වැදගත් වෙන දෙයක්. කොරෝනා නිසාත් යම් විදිහකට මේ ආහාර ජාල වල යම් තැතිගැන්මක් වෙලා අපි බොහෝදෙනා කන බොන ආහාර වල මිල ටිකක් වැඩිවෙයි කියලා බයක් තියෙනවා. හාල් මිල සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් යම් සුලු වැඩිවීමකුත් වුණා. ඉතින් කොහොම වුණත් මේ ලැයිස්තුවේ ආහාර ලෝකේ වැඩිම පිරිසක් කන බොන ආහාර කියලා අන්තර්ජාලයේ දි ජනප්‍රිය වෙලා තියෙනවා. මීට අමතරව මාළු. අල, ළූණු වගේ දේවලුත් ලෝකේ රටවල් ගණනාවකට ආහාර වෙලා තිබුණා. මොන ආහාරය වුණත් අපිට අවශ්‍ය පමණට පමණක් බෙදාගෙන කෑම ආහාර නාස්තිය අඩු කරන බොහොම හොඳ පුරුද්දක් වෙනවා.
Leave a Reply