සාමාන්‍යයෙන් නළුවෙක් හරි නිළියක් හරි යම්කිසි රංගනයක යෙදුනා ම ගොඩක් වෙලාවට ඒ චරිතයටම ඔහුව හෝ ඇයව කොටු වෙන අවස්ථා තියෙනවා. මේකට උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. සිනමාවේ දඟකාර පෙම්වතිය වුණු සෝනියා දිසා එක චිත්‍රපටයක මවකගේ චරිතය රඟපෑමත් එක්ක ඇයට දිගින් දිගටම රඟපාන්න ලැබුණේ මවගේ චරිත විතරයි. මේකම ශාන්ති ලේඛා මහත්මියටත් සිද්ධ වුණා. හැබැයි සමහර නළු නිළියන්ට වෙනස් චරිත රඟපාන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. අපි දැන් එහෙම සීමාවෙන් එහාට ගිහිල්ලා වෙනස්ම ආකාරයේ රඟපෑම් කරපු නළු නිළියෝ සහ සිනමා නිර්මාණ කීපයක් ගැන කතා කරමු
1. බන්දු සමරසිංහ
බන්දු සමරසිංහ කියන නම ඇහෙද්දීම ගොඩක් අයට හිනා යනවා. මොකද ඔහු අපි අඳුන ගන්නේ හාස්‍යෝත්පාදක නළුවෙක් විදිහට. බන්දු සහ ටෙනිසන් කුරේ කියන සුසංයෝගය නිසා කාලයක් අපේ සිනමාහල් පිරී ඉතිරී ගියා. නමුත් බන්දු සමරසිංහ මහත්මයා තමන්ගේ සිනමා ජීවිතයේ දී එකම එක වරක් සංකීර්ණ චරිතයක් නිරූපණය කරලා තියෙනවා. ඒ තමයි “රජ්ජුමාලා” චිත්‍රපටිය. තමන්ගේ බිරිඳ කෙරෙහි සැකයෙන් සහ ඊර්ෂ්‍යාවෙන් පසුවෙන ස්වාමිපුරුෂයෙකුගේ චරිතය ඔහු එම චිත්‍රපටිය තුළ නිරූපණය කළා. හැබැයි ඉන් පසුව නම් අපිට බන්දු සමරසිංහව එවැනි චිත්‍රපටි වල දකින්න ලැබුණේ නැහැ.
2. ෆ්‍රෙඩී සිල්වා
එතෙක් මෙතෙක් සිනමාවේ විකට ශිල්පීන් අතරින් අතිශයින් ම සාර්ථක වෙච්ච ශිල්පියා විදිහට ෆ්‍රෙඩී සිල්වාව හඳුන්වන්න පුළුවන්. හාස්‍යෝත්පාදක චරිත නිරූපණය, ගායනය සහ නර්තනය යන විවිධ අංශ වලින් සිංහල සිනමාව ඔපවත් කිරීමට ඔහු සමත් වුණා. එතුමාටත් තමන්ගේ ජීවිතය තුළ හාස්‍යෝත්පාදක ධාරාවෙන් බැහැර ව එකම එක නිර්මාණයක පමණයි රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ චිත්‍රපටය තමයි “ලසඳා.” නමුත් ඉන්පසුව ඔහුට චරිතාංග නළුවෙක් විදිහට ඉදිරියට පැමිණීමට ඒ තරම් හැකියාවක් ලැබුණේ නැහැ.
3. අමීෂා කාවින්දි
අමීෂා කාවින්දි ට සිංහල සිනමාව ඇතුළේ සීමිත චරිත කීපයකට කොටු වෙන්න සිද්ධ වුණා. ගොඩක් වෙලාවට ඇය කෙළිලොල් දඟකාර පෙම්වතියකගේ චරිතයට ගැලපෙනවා කියලා අධ්‍යක්ෂකවරු හිතුවා. ඒ වගේම සැබෑ ජීවිතයේ ඇගේ පෙම්වතා වුණු අර්ජුන් කමලනාත් තිරයේ තමන්ගේ පෙම්වතිය විදිහටත් තෝරා ගත්තේ ඇයවමයි. මේ සීමාවෙන් ඉවත්ව වෙනස්ම විදිහේ ඇය සිදු කරපු රඟපෑමක් අපට “ඝරසරප” චිත්‍රපටිය තුළ දකින්න ලැබුණා. ඉදිරියේදී ඇය හැකි සෑම විටම එවැනි චරිත නිරූපණය කරනවා නම් ප්‍රේක්ෂකයෝ විදිහට අපි කැමතියි
4. ජයලත් මනෝරත්න
අවාසනාවකට වගේ ජයලත් මනෝරත්න ගේ මේ රංගනය අපිට බලන්න අවස්ථාව ලැබෙද්දී ඔහු අපෙන් සමුගෙන ගිහිල්ලා. සුසිරන් ද සිල්වා විසින් නිර්මාණය කරපු මේ චිත්‍රපටයේ නම තමයි “මිස් ජෙනිස්.” මේ චිත්‍රපටිය තුළ ජයලත් මනෝරත්න කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරනවා. මේ ගැන සුසිරන් මුලින් කියපු අවස්ථාවේදී ජයලත් මනෝරත්න මේ චරිතය තමා රඟපානවද කියන එක ගැන දෙගිඩියාවකින් ඉඳලා තියෙනවා. මොකද මේක සැබැවින්ම අභියෝගයක් නිසා. නමුත් පසුව ඔහු මේ අවස්ථාවේ වැදගත්කම වටහා ගෙන ඊට එකඟ වෙලා. සමහර විට මේ චරිතය ට ඉදිරියේදී ජයලත් මනෝරත්නට හොඳම නිළියට හිමි සම්මානය හිමි වේවි. හැබැයි ඔහු ඒ සම්මානය ලබා ගන්න වේදිකාවට නම් ගොඩ වෙන එකක් නැහැ.
5. ලකී ඩයස්
සිංහල සිනමාව තුළ දී වුණත් ලකී ඩයස් අපිට වැඩිපුර ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටි වලින් මුණගැහුණේ නැහැ. ඒ ධාරාවේ චිත්‍රපටි වල පවා ඔහු රඟපෑවේ යම් තාක් දුරකට සංකීර්ණ චරිත. “යශෝරාවය” ටෙලි නාට්‍යයේ බලදේවගේ චරිතය රඟපෑමෙන් පසුව ඔහුට දිගින් දිගටම ලැබුණේ ඒ වගේම චරිත. හැබැයි මේ චරිත සීමාව ඔහු විසින් ම වෙනස් කර ගත්තා. ඒ ‘Yes Boss’ ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑම එක්ක. එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු පවසා සිටියේ තමන්ට සැබැවින්ම වෙනසක් අවශ්‍යව තිබූ නිසා එම චරිතය රඟපෑමට තමන් දායක වූ බවයි.
6. ජීවන් කුමාරතුංග
මල් ගස් වටේ රඟපාන නළුවෙක් විදිහට හංවඩු ගැහිලා හිටපු ජීවන් කුමාරතුංග අපිට වෙනස් විදිහක චරිතයකින් මුණ ගැහුනේ චිත්‍රපට කීපයකදී විතරයි. ඒ අතරින් ප්‍රධාන චිත්‍රපටයක් තමයි තුන්වෙනි ඇහැ. අනුර චන්ද්‍රසිරිගේ සිනමා නිර්මාණයක් වුණු මේ චිත්‍රපටියෙන් ජීවන්ගේ සිනමා ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇතැයි බොහෝ ප්‍රේක්ෂකයන් වගේම විචාරකයන් අපේක්ෂාවෙන් හිටියත් ජීවන්ට ඉන්පසුවත් එවැනි ආකාරයේ චරිත නිරූපණයක් සඳහා නිසි අවස්ථා ලැබුණේ නැහැ.
7. එඩී ජයමාන්න
සිංහල සිනමාවේ පළවෙනි විකට නළුවා වෙලා, ජීවිතයේ අවසාන චිත්‍රපටිය දක්වාම එතුමාව හංවඩු ගැහුනේ විකට නළුවෙක් විදිහට. එතුමා විසින් සිදුකරපු බොහෝ චරිතාංග නිරූපණ අපිට අමතක වෙලාම ගිහිල්ලා තියෙනවා. මේ නිසා එතුමාවත් මේ ලයිස්තුවට ඇතුළු කරන්න අපි හිතුවා. ඔහුගේ විශිෂ්ටතම රංගනය විදිහට කේ. ඩබ්ලිව් පෙරේරා මහත්මයාගේ “දුලීකා” චිත්‍රපටියේ මිනීමරුවෙකු ලෙස රඟපෑ රංගනයත් “සුසී” චිත්‍රපටියේ මාලිනී ෆොන්සේකා විවාහ කර ගැනීමට සැරසෙන වයස්ගත පුද්ගලයාගේ භූමිකාවත් සඳහන් කරන්න පුළුවන්.
මේ ලැයිස්තුවට එකතු වෙන්න ඕන තවත් නළු නිළියෝ ඕන තරම් ඇති. ඒ අය ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මේ ආටිකල් එකක් ෂෙයාර් කරන්නත් ඔබ අමතක කරන්න එපා.
Leave a Reply