ඕපාදූප කිව්වම ඉතින් අපේ කට්ටියට තැනක් නොතැනක් නැහැනෙ. සෙට් වෙන්නෙ කොතනද එතන අනුන්ගෙ ඕපාදූපයක් කියවන්නම තමා ට්‍රයි කරන්නෙ. කොටින්ම මඟුලකට මරණෙකට යන්නෙත් කාගෙ හරි ඕපාදූපයක් හොයාගෙන එන්න. ඒක ඉතින් ලෝකෙ කොහේ හිටියත් මිනිස්සුන්ගෙ හැටියක් මම හිතන්නෙ. සාමාන්‍ය මනුස්සයෙක් දවසට මිනිත්තු 52ක් මේ ඕපාදූප අහන්න, කියවන්න වැයකරනවලු. අපි ඉතින් තැනක් නොතැනක් බලන්නෙ නැතුව අනුන්ගෙ කුණු රහ කර කර කියවන්න පාවිච්චි කළාට මේ ඕපාදූප කීම කියන්නෙත් එක්තරා විදිහක සන්නිවේදන උපක්‍රමයක්. සෑහෙන්න ඈත අතීතයේ ඉඳන්ම පැවතගෙන එන ක්රමයකුත්නේ. කිසිම කෙනෙක් තමන් ඕපාදූප කියන, අහන බව පිළිගන්න අකමැති උණාට හැමෝම රහසේ හරිම සතුටින් කරන වැඩක් තමයි මේ ඕපාදූප හෙවිල්ල. ඉතින් අනික් හැමදේම ගැන කතා කරන එකේ මේ හැම තැනම කියවෙන ඕපාදූප ගැන ඇයි අපි කතානොකර ඉන්නෙ? නේද?
1. මොනවද ඇත්තටම මේ ඕපාදූප?
ඕපාදූප කියල කියන්නෙ වෙනත් පාර්ශවයකගෙ පෞද්ගලික කාරණාවක්, සම්බන්ධතාවයක් වගේ දෙයක් ගැන දෙදෙනෙක් හෝ පිරිසක් අතරේ කෙරෙන කතාබහක්. විශේෂම කාරණය තමයි මේ ඕපාදූප කියවෙන්නෙ කතාබහට ලක්වෙන තුන්වන පාර්ශවය නැති තැනකදී වෙන එක. ඒ කිව්වේ සරලවම කෙනෙක් නැති තැන එයා ගැන රහ කර කර කියවන එක.
2. ඇයි මිනිස්සු ඕපාදූප කියවන්නේ?
ඇත්තටම ඇයි මේ මිනිස්සු ඕපාදූප කියවන්නෙ. ප්‍රධානම හේතුව තමයි අධික කුතුහලය. වැඩියෙන් ඕපාදූප කියවන මිනිස්සු ගැන හොයල බැලුවොත් එයාල තමයි අනිත් අයගේ ජීවිත ගැන වැඩියම කුතුහලයෙන් පෙළෙන උදවිය. ඊට අමතරව ඕපාදූප කියවන්න මෙන්න මේ හේතුත් තියෙන්න පුළුවන්.
- කම්මැලි කමට කාලෙ ගෙවාගන්න. මඟුල් ගෙයකදී, මරණ ගෙයකදී, සෙනඟ එකතුවෙන ඕනෑම තැනකදී කට්ටියටම ගැළපෙන පොදු මාතෘකාවක් හොයාගන්න අමාරු නිසා වැඩියම ලේසියි තවත් කෙනෙක් ගැන කියවලා සතුටු වෙන එක.
- ඇත්තටම ඒ පුද්ගලයා ගැන හිතේ තියෙන තදබල ඊර්ෂ්‍යාවට, තරහට.
- කණ්ඩායමට එකතුවෙන්න. කලින් කිව්වා වගේ සෙනඟ එකතුවෙන තැනක හැමෝම එකතුවෙලා තළු මර මර ඕපාදූපයක් කියවනකොට තමනුත් ඒ කණ්ඩායමටම එකතුවෙන්න ඕනෑකමට.
- එහෙම ඕපාදුප කියවන කණ්ඩායමේ රහම ඕපාදූපේ කියල ලොක්කා වෙන්න. අවධානය දිනාගන්න.
3. ඕපාදූප නරකද?
ඕපාදූප කියන වචනෙ අහපු ගමන්ම අපේ ඔලුවට යන්නෙනම් එච්චර හොඳ සුභවාදී අදහසක් නෙමෙයි. හැබැයි ඉතින් මේ ඕපාදූප ඔය හිතෙන තරම්ම නරකද? ඇත්තටම නැහැ. අපි කලිනුත් කිව්වනෙ මේකත් එක්තරා සන්නිවේදන ක්‍රමයක් කියල. ඉතින් නරක පණිවිඩ වගේම කෙනෙක් ගැන හොඳක්, එයාගෙ ජයග්‍රහණයක් වගේ දේවලුත් ඕපාදූපයක් විදිහට එයා නැති තැනකදී කියවෙන්න පුළුවන්. ඒ වගේම අපි කලිනුත් කිව්ව වගේ මේ ඕපාදූප කියන්නෙ පිරිසක් එකතුවෙන තැනක කාලය ගත කරගන්න, අනවශ්‍ය මතභේද පාලනය කරලා කට්ටිය එක තැනකට එක්කාසු කරලා තියන්න හොඳ මෙවලමක්. ඒ වගේම කෙනෙක් ගැන නරක ඕපාදූපයක් පැතිරෙන එකෙන් ඒ වගේම නරක වැඩකට පෙළඹෙන තව කෙනෙක්ට දෙපාරක් හිතන්න බලකිරීමක් වෙනවා. ඒ කියන්නෙ අඩුම ගාණෙ ඕපාදූප වලට බයේවත් මිනිස්සු වැරදි කරන්න දෙපාරක් හිතනවා.
4. ප්‍රසිද්ධ ඕපාදූප
ඕපාදූප හෙවිල්ලේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මේක. ප්‍රසිද්ධ අයගේ ප්‍රසිද්ධ ඕපාදූප හෙවීම. දැන්නම් මේක ජයටම සිද්ධ වෙනවා මල් පත්තර වලයි Youtube එකෙයි. කොටින්ම ඕපාදූප අහන නාහන කවුරුත් ආස වැඩක් ප්‍රසිද්ධ අයගෙ පෞද්ගලික ජීවිත හාරාඅවුස්සල බලන එක. යම් ක්ෂේත්රයක තමන් ප්‍රසිද්ධ වුණු පළියටම තමන්ගේ පෞද්ගලික ජීවිතේට රටේ ඔක්කෝම මිනිස්සු එබිකම් කරන එක අසාධාරණ වැඩක් වුණාට ප්‍රසිද්ධ අයට ඕපාදූප කියන සබ්ජෙක්ට් එකෙන්නම් ගැලවෙන්න හරිම අමාරුයි.
5. රැකියා ස්ථානයේ ඕපාදූප
ඔන්න මේ ඕපාදූප වැඩේ ජයටම කෙරෙන තවත් තැනක් තමයි රැකියා ස්ථාන, එහෙමත් නැත්තම් ඔෆිස්. එහෙම තැනක බොරුවට හරි පැතිරෙන ඕපාදූපයකට අහුනොවී ඉන්නනම් ඉතින් එසේ මෙසේ දක්ෂතාවයක් තිබිල මදි. මේ රැකියා ස්ථාන වල ඕපාදූප කියන්නෙ මඟුලකදී මරණෙකදී කාලෙකින් මුණගැහිලා, ඔය එහෙන් මෙහෙන් කියවිලා, ඒ කනෙන් අහලා මේ කනෙන් පිටවෙන ඕපාදූප වලට වඩා සෑහෙන්න බැරෑරුම් ඕපාදූප. විශේෂයෙන්ම ඕපාදූපය පතුරන කෙනාගෙ බලය ටිකක් ඉහළ මට්ටමක තියෙනවනම්. මේ රැකියා ස්ථාන වල කියවෙන ඕපාදුප වල මෙන්න මේ වගේ නරක ප්‍රතිඵල තියෙන්න පුළුවන්.
- සේවකයින් අතරේ විශ්වාසය පළුදු වීම.
- කාලය අපතේ යාම හා ඵලදායීතාවය අඩුවීම.
- අධික කුතුහලය නිසාම ඕපාදූප හොයන්න ගතවෙන අනවශ්‍ය කාලය.
- කල්ලි ගැසීම.
- අපකීර්තිය සහ සිත්වේදනා.
- වැඩ පරිසරය හිතකර නොවීම නිසා හොඳ සේවකයින් ඉවත්වීම.
6. ගැහැණු සහ ඕපාදූප
ඕපාදූප කිව්වම ඉතින් කාටත් මුලින්ම මතක් වෙන්නෙ කාන්තාවොනෙ. මේ ඕපාදූප කියන මාතෘකාවේ උඩින්ම ඉන්නේ ගැහැණු අය තමයි. මේකට තියෙනවා ඉතිහාස කතාවක්. අපි වැදුම් ගෙය නැත්තම් තිඹිරිගෙය කියන තැනට දරු ප්‍රසූතියක් වෙලාවට ඇතුල් වෙන්නෙ කාන්තාවන් විතරනෙ. ඉතින් එතන ලොකුම රාජකාරිය කරන වින්නඹු අම්මට අමතරව අත් උදව් දෙන අනෙක් කාන්තාවෝ පොඩි පොඩි වැඩ රාජකාරි කරන අතරේ දරුවා ලැබෙනකන්ම ගතවෙන කාලයේ ඔහේ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඉන්නවා. මේකත් එක්ක තමයි මේ ඕපාදූප එක්ක කාන්තාවන්ගේ සම්බන්ධය මුලින්ම ගොඩනැගෙන්නෙ. ඉතින් එදා මෙදාතුර දැනටත් ඕපාදූප කිව්වම කියවන්නෙ, හොයන්නෙ ගැහැණු කියල තමයි හැමෝම කියන්නෙ.
7. පිරිමින්ගේ ඕපාදූප
ඒ කියන්නේ පිරිමි ඕපාදූප කියවන්නෙම නැද්ද? හපෝ… මොන පිස්සුද? පිරිමිත් ඕපාදූප කියවනව. හැබැයි මේ ඕපාදූප කියන මාතෘකාව එක්ක එන නරක සිතුවිල්ල, තේරුම නිසාම පිරිමි කිසිම කෙනෙක් පිළිගන්න කැමති නැහැ තමන් ඕපාදූප කියවන බව. හැබැයි නිකමට ඔය මඟුල් ගෙදරක බාර් එක පැත්තෙ, මල ගෙදරක කැරම් බෝර්ඩ් එකක් ලඟට එහෙම සෙට් වෙලා බලන්න එපැයි. ගෑණු කියවන ඕපාදූප කැලේ.
Leave a Reply