ලෝකය පුරාම චිත්‍රපටි කියන්නේ විනෝදාස්වාදය සපයන මාධ්‍යයක්. හැබැයි ඒ බොහෝ චිත්‍රපටිකරුවන් ඒ විනෝදාස්වාදයට එහා ගිහිල්ලා තමන්ගෙ ප්‍රේක්ෂකයන් එක්ක සංවාදයක් ගොඩනඟන්න උත්සාහ කරලා තියෙනවා. ලංකාවේ සිනමාව ගත්තොත් ලංකාවේ බහුතරයක් අපිට මුණ ගැහෙන්නේ විනෝදාස්වාදය ප්‍රමුඛ කරගත්ත සිනමා නිර්මාණ. හැබැයි ඒ වගේම උසස් කලාත්මක චිත්‍රපටි රාශියකුත් බිහිවෙලා තියෙනවා. ඒ චිත්‍රපටි අතරෙන් සත්‍ය කතා ඇතුළත් චිත්‍රපටි ගණනාවක් අපිට අපේ සිංහල සිනමා වංශ කතාව තුළ මුණ ගැහෙනවා. අද අපේ මේ Lifie සටහන එවැනි චිත්‍රපටි කීපයක් ගැන.
1. දඩයම
රවීන්ද්‍ර රන්දෙණිය කියන විදියට සිංහල සිනමාවේ හොඳම දුෂ්ටයා තමයි ඔහු. ඔහු ඊට හේතුව විදිහට දෙන්නෙ දඩයම චිත්‍රපටියේ ජයනාත් නමින් ඔහු විසින් දඩයම චිත්‍රපටයේ සිදුකරන ලද රඟපෑම. වසන්ත ඔබේසේකර විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයට පාදක වුණේ සත්‍ය සිදුවීමක්. ඒ ලංකාව පුරා දැඩි ලෙස ආන්දෝලනයට තුඩු දුන් ඇඩ්ලින් විතාරණ ඝාතන නඩුව. එම චිත්‍රපටිය තුළ ස්වර්ණා මල්ලවආරච්චි විසින් රත්මලී නමින් ඇඩ්ලින් විතාරණගේ චරිතය නිරූපණය කළ අතර එම චරිතය ඇගේ සිනමා ජීවිතයේ ඇය විසින් සිදු කළ විශිෂ්ටතම චරිත නිරූපණයක් විදිහට සැලකෙනවා.
2. දුහුළු මලක්
දුහුළු මලක් කියන්නේ සිංහල සිනමාවේ අමුතුම ජාතියේ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයක් ද එහෙම නැත්නම් කලාත්මක ධාරාවේ චිත්‍රපටයක් ද කියලා වෙන් කරන්න බෑ. මේ චිත්‍රපටය නොබැලුවා වුණත් බොහෝ රසිකයන් අතර “බොඳ මීදුම් කඳුරැල්ලේ, රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ” වැනි ගීත තවමත් ජනප්‍රියයි. තහනම් පෙමක් සම්බන්ධ අනුවේදනීය කතා පුවතක් ඇතුළත් වන මෙම චිත්‍රපටිය සඳහා පදනම් වුණේ ලංකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක්. ලංකාවේ බුරුම තානාපතිවරයා විසින් තාම බිරිඳ ඝාතනය කොට තානාපති කාර්යාල භූමියේම වළ දැමීමේ සිදුවීම මෙයට පාදක වුණා.
3. පොඩි විජේ
පොඩි විජේ චිත්‍රපටය සඳහාත් පාදක වෙන්නේ ලංකාව හොල්ලපු ඒ නමම තිබ්බ මැරවරයෙක් පිළිබඳව. හැබැයි මේ චිත්‍රපටයට එද්දී ඒ මැරවරයාට මේ තත්ත්වයට වැටෙන්න සිද්ධ වුණු පසුබිම පිළිබඳව විස්තර කර තිබුණා. සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු කෙනෙක්ගෙ වරදකට වඩා ඒක සමාජයේ වැරැද්දක් විදිහට දකින්න හරි කැමතියි. මේ චිත්‍රපටයෙනුත් එම දේම වුණා කියලා එක විදිහකින් කියන්න පුළුවන්. කොහොම උනත් පොඩි විජේගේ චරිතය රඟපාපු අමරසිරි කලංසූරිය ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කරා කියන එක ගැන නම් විවාදයක් නෑ.
4. යකඩයා
මරදන්කඩවල යකඩයා කියන්නේ අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වුණු පුද්ගලයෙක්. ඉතා ශක්තිමත් යකඩ කූරක් නැවීමට තරම් හැකියාවකින් ඔහු යුක්ත වුණු බව කියවෙනවා. මීට වසර 10 කට පෙර මිය ගිය ඔහු මුළු ජීවිත කාලය පුරාවට ම නිර්මාංශ පුද්ගලයෙකු ලෙස සහ සුරා සූදුවෙන් වැළකුණු පුද්ගලයෙකු විදිහට කාලය ගත කළා. ඔහු තමන්ගේ ජීවිතයට සිදු වුණු ලොකුම අපහාසයක් විදිහට ගාමිණී ෆොන්සේකා රඟපෑ යකඩයා චිත්‍රපටය සැලකුවා. ඊට හේතුව වුණේ ඒ චිත්‍රපටය තුළ ඔහු මස් කන සුරාවට ඇබ්බැහි වුණු පුද්ගලයෙකු විදිහට නිරූපණය වීම. චිත්‍රපටයේ තිබුණු එකම සමානකම වුණේ අසාධාරණයට, අයුක්තියට එරෙහි වීම සහ දුප්පතුන්ට පිහිට වීම පමණයි.
5. සිරිපාල සහ රන් මැණිකා
මරු සිරා නමින් හැඳින්වූ සිරිපාලගේ සහ ඔහුගේ බිරිඳ වුණු රන් මැණිකාගේ කතාව මේ චිත්‍රපටය තුළින් නිරූපණය වුණා රවීන්ද්‍ර රන්දෙණිය සහ මාලිනී ෆොන්සේකා මෙම චිත්‍රපටයේ රඟපෑවා. ඔහුගේ කතා පුවත ම ඇතුළත් වුණු තවත් චිත්‍රපටයක් (ඒ ගැන අපි ඊ ළඟට කියනවා) නිර්මාණය වී තිබුණත් මේ චිත්‍රපටය තුළ ප්‍රධාන වශයෙන්ම සිරිපාල තම බිරිඳට දැක් වූ අපරිමිත සෙනෙහස නිරූපණය වුණා.
6. මරුවා සමග වාසේ
විජය කුමාරතුංග ප්‍රධාන චරිතය රඟපාපු මේ චිත්‍රපටිය නිර්මාණය කළේ ටයිටස් තොටවත්ත. කලින් කිව්වා වගේම මේ චිත්‍රපටියට පාදක වුණේ මරු සිරා ගේ කතා පුවත. මරු සිරා මේ චිත්‍රපටි දෙක තුළින්ම වීරයෙක් විදිහට නිරූපණය වුණත් සැබෑ ජීවිතය තුළ දී ඔහු මරණයට අසීමිත ලෙස බිය වුණු බව පැවසෙනවා. ඔහුව එල්ලුම් ගසට නියම වූ පසු එම දඬුවම ලැබීමට පෙර නිදි පෙති බීම නිසා සිරමැදිරිය තුළ දී ම ඔහු මරණයට පත් වුණා.
7. හාර ලක්ෂය
එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන බිහි වුණු විශිෂ්ටතම චිත්‍රපටය විදිහට හාර ලක්ෂය චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. එක්දහස් නවසිය හතළිස් නවයේ දී සිදු වූ ටර්ෆ් ක්ලබ් මංකොල්ලය සහ මිනීමැරුම මේ චිත්‍රපටිය සඳහා පාදක වුණා. එවැනි සුවිශාල ගණයේ මංකොල්ලයක් ලංකාවෙන් වාර්තා වූ පළවෙනි අවස්ථාව විදිහට මේ සිදුවීම සැලකෙනවා. මෙම චිත්‍රපටයත් නිර්මාණය කරන ලද්දේ ටයිටස් තොටවත්ත විසින් වන අතර එම චිත්‍රපටියේ පියදාස ගුණසේකර විශිෂ්ට රංගනයක නිරත වුණා.
සිනමාව සම්බන්ධ අතිශයින් උනන්දුවක් දක්වන අයට නම් මේ ආටිකල් එක ටිකක් මදි වගේ කියලා හැඟෙන්න පුළුවන්. ඒ ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් පළ කරන්න කැමතිනම් අපි ලෑස්තියි මේ එකින් එක චිත්‍රපටි ගැන වගේම මේ ඊට පාදක වෙච්ච සිදුවීම් ගැනත් විස්තරාත්මක ආටිකල් කීපයක් ඔබ වෙත ගෙන එන්න. ඒ ගැන අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply