දැන් කාලේ ස්මාට්ෆෝන් එකෙන්, කම්පියුටර් එකෙන් වැඩ කරගන්න ගොඩක් අය ඔය නෝට්‍ස් තියාගන්න ඇප්ස් පාවිච්චි කරනවනේ. ඉස්සර නම් නෝට්ස් තියාගන්න කියලා තිබුණේ පොඩි පොඩි සොෆ්ට්වෙයාර් වුනාට, දැන් තියෙන නෝට් පෑඩ්, ටු-ඩූ-ලිස්ට් ඇප්ස් වලින් සෑහෙන්න වැඩ ප්‍රමාණයක් සිද්ධ කරගන්න පුළුවන්. ඇත්තටම මේ විදියේ නෝට්පෑඩ්, ටු-ඩූ-ලිස්ට් ඇප් එකක් පාවිච්චි කරන එකෙන් අද කාලේ අපේ වැඩකටයුතු සෑහෙන්න දුරට පහසු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම එදිනෙදා ගමනෙදි බිමනෙදී වුනත් ඔලුවට එන දෙයක් සටහන් කරගන්න, කරන්න ඕන වැඩ ලැයිස්තුවක් හදාගන්න, ගන්න ඕන බඩු ලැයිස්තුවක් හදාගන්න මේ වගේ ඇප්ස් ඉතාම ප්‍රයෝජනවත්.
හැබැයි ගොඩක් දෙනෙක් මේ ඇප්ස් වල තියෙන නෝට් තියාගන්න, ලිස්ට් හදන වැඩ ඇරුණම තියෙන තව පහසුකම් ගැන ඒ තරම් දන්නෙ නෑ. ආන්න ඒ නිසා අපි හිතුවා, හැමෝම පාවිච්චි කරන නෝට්පෑඩ් ඇප් එකක් වෙන Google Keep එකෙන් කරගන්න පුළුවන් තව තවත් වැඩ කටයුතු ගැන කියලා දෙන්න.
1. ෆෝන් එකෙන් මැෂින් එකට, මැෂින් එකෙන් ෆෝන් එකට
මේක නම් ඇත්තටම කියලා දෙන්න තරම් දෙයක් නෙවෙයි. දැන් කාලේ ඕනෑම නෝට්පෑඩ් ඇප් එකක තියෙන, ගොඩක් දෙනෙක් දන්න, හැබැයි දැනගත්තට පාවිච්චියට නොගන්න පහසුකමක්. ඒ තමයි ක්ලවුඩ් සුරක්ෂිත පහසුකම. මෙහෙමයි. දැන් අපිට සමහර වෙලාවට කම්පියුටර් එකේ ටයිප් කරපු මොකක් හරි නෝට් එකක් ෆෝන් එකට ගන්න ඕන. එතකොට අපි ඒක ඔය ෆේස්බුක් මැසෙන්ජර් එකට දාලා හරි, ඊමේල් එකක් දාලා හරි වෙන මොකක් හරි මැෂින් එකෙයි ෆෝන් එකෙයි පොදුවේ තියෙන ඇප් එකකට දාලා හරි තමයි ගන්න ඕන. හැබැයි ඇත්තටම එච්චර දඟලන්න ඕන නෑ. ගූග්ල් කීප් ඇප් එකේ හරි, බ්‍රවුසරේ ඕපන් කරපු ගූග්ල් කීප් වින්ඩෝ එකේ හරි අපිට ඕන කරන නෝට් එක ටයිප් කළාට පස්සේ තප්පරෙන් ගූග්ල් කීප් ඒක අප්ඩේට් කරගන්නවා ක්ලවුඩ් මතකයට. එතකොට අපි ෆෝන් එකේ ගූග්ල් කීප් ඇප් එක ඕපන් කරලා බැලුවොත් පෙනෙයි අර නෝට් එක ඒකෙත් තියෙනවා කියලා. ඕක අනික් පැත්තටත් එහෙමයි. හරිම පහසුයි.
2. වොයිස් මෙමෝ
ගොඩක් වෙලාවට සමහරු ගූග්ල් කීප් පාවිච්චි කරනවා ඔලුවට එන දෙයක් ඉක්මනින් සටහන් කරගන්න. අර ක්වික් නෝට්ස් කියන්නේ. අන්න ඒ වැඩේට. හැබැයි ඉතින් ඇත්තටම ගූග්ල් කීප් ඕපන් කරලා ඔලුවට එන දේවල් ටයිප් කර කර ඉන්න ඕනෙත් නෑ. ඕන නම් කෙලින්ම වොයිස් මෙමෝ එකක් විදියට, ඒ කියන්නේ අපේ කටහඬින් කියන දේවල් රෙකෝඩ් වෙන නෝට් එකක් විදියට සේව් කරගන්නත් පුළුවන්.
මේක කරන්න පුළුවන් සෘජු ක්‍රමය තමයි, ගූග්ල් කීප් එකේ පල්ලෙහාම තියෙන මයික්‍රෆෝන් බට්න් එක ඔබලා ඕන දේවල් කියන එක. එතකොට අපේ වොයිස් එකත් ඒ නෝට් එකේ රෙකෝඩ් වෙන අතරෙම, අපි කියන දේවලුත් එයා වචනයෙන් ලියා ගන්නවා. හැබැයි ඕන නම් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපේ කීබෝඩ් එකේ ගූග්ල් වොයිස් කීබෝඩ් එක ඇක්ටිවේට් කරලා (ගොඩක් කීබෝඩ් වල ස්පේස් බට්න් එක ඔබාගෙන ඉන්නකොට ඒක මතුවෙනවා), ඕන දේවල් කියන්න තියෙන්නේ. එතකොට ඒ කියන ඒවා ලස්සනට නෝට් එකේ ටයිප් වෙනවා. හැබැයි මේ දෙවෙනි ක්‍රමේදී වොයිස් එක රෙකෝඩ් වෙන්නෙ නෑ.
3. ෆොටෝ එකක තියෙන වචනත් අල්ල ගන්න පුළුවන්
ඇත්තටම ගූග්ල් කීප් ඇප් එකට ට්‍රාන්ස්ක්‍රයිබ් කරන්න, ඒ කියන්නේ අකුරෙන් පිටපත් කරන්න පුළුවන් වොයිස් එක විතරක් නෙවෙයි. ෆොටෝ එකක ලියලා තියෙන අකුරු සහ වචන අන්තර්ගතයන් වුනත් ගූග්ල් කීප් එකට පුළුවන් ග්‍රහණය කර ගන්න. මේක කරන විදියත් සරලයි. ගූග්ල් කීප් නෝට් එකකට ෆොටෝ එකක් නැතිනම් ඉමේජ් එකක් ඉම්පෝට් කරන්න. දැන් ඒ ඉමේජ් එක සිලෙක්ට් කරලා, උඩ තිත් තුනකින් යන්න පුලුවන් මෙනු එකේ තියෙන Grab image text කියන එක සිලෙක්ට් කරන්න. ආන්න එතකොට ඉමේජ් එකේ තියෙන ටෙක්ස්ට් එක නෝට් එකක් විදියට ඉමේජ් එක යටින් දකින්න ලැබෙයි.
4. ලියන්න බැරි නම් අඳින්න
මේක ගොඩක් දෙනෙක් පාවිච්චි කරන එකක් නැති වුනත්, ඇත්තටම පාවිච්චි කරනවා නම් සෑහෙන්න ප්‍රයෝජනවත් පහසුකමක්. දැන් හිතන්න අපි යම් කිසි දෙයක් ගැන නෝට්ස් ලියාගන්නවා ගූග්ල් කීප් එකේ. ඒ නෝට් එක සම්පූර්ණ වෙන්න අපිට මොනවා හරි අඳින්න සිද්ධ වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ දළ ප්‍රස්තාරයක්, දළ සැකිල්ලක්, කටු චිත්‍රයක් වගේ ඕනෑම දෙයක්. ආන්න ඒකට පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රෝවින් ටූල්ස් සෙට් එකකුත් ගූග්ල් කීප් වලම තියෙනවා. මේක කොරල් ඩ්‍රෝ කියලා හිතන්න එපා. හැබැයි දළ චිත්‍රයක්, සැකිල්ලක්, ප්‍රස්තාරයක් වගේ ඕනම එකක් සාර්ථකව අඳින්න අවශ්‍ය මෙවලම් පෙට්ටියක් වගේම ඒවා වර්ණ ගන්වන්න වර්ණ පැලට් එකකුත් මෙතන තියෙනවා.
5. හවුලේ සටහන්
සමහර වෙලාවට අපිට හවුලේ සටහන් තියාගන්නත් වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම කණ්ඩායමක් එක්ක හරි සහකරුවෙක් එක්ක හරි වැඩකරන කොට, අපි ලියන එකක් අනික් කෙනාට එඩිට් කරන්න, අපි ලියන එකකට අනික් කෙනෙක්ට තව දෙයක් එකතු කරන්න වගේ අවස්ථාවන් ඕන තරම් එන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් නම් ඉතින් අපි කරන්නේ අපි ලියපු එක ඊමේල් හරි වෙන ක්‍රමේකින් හරි අනික් එක්කෙනාට යවලා, එයා එඩිට් කරලා හෝ එකතු කරලා එවන එක අපි රිවීව් කරලා, ඒකට අපෙන් එකතුවෙන්න ඕන දෙයක් තියෙනවා නම් අපිත් එකතු කරලා ආයෙ යවන එක. එතකොට එයත් ඒ පාරෙම ගිහින් කරන්න ඕන දේවල් කරලා අපිට අනික් පැත්තට එවනවා. හැබැයි ඕක මොන වදයක්ද? ආන්න ඒ නිසා තමයි අපිට ගූග්ල් කීප් එකේ තියෙන Collaborator කියන පහසුකම වටින්නේ. කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය නෝට් එකේ දකුණු පහළ කෙළවරේ තිත් තුනෙන් පිවිසෙන්න පුළුවන් මෙනු එකට ගිහින්, Collaborator කියන එක සිලෙක්ට් කරන එක. එතකොට, අපිට මේ නෝට් එකට සම්මාදම් කරගන්න පුළුවන් අයව සිලෙක්ට් කරන්න ඔප්ෂන් එකක් එනවා. එතනින් එහාට වැඩේ අමාරු නෑ.
6. නෝට්ස් වලට පාට දාලා, ලේබල් කරලා
ඇත්තටම අපි ඕනම කෙනෙක් ආස දෙයක් තමයි අපේ දේවල් බොහොම පිළිවෙලකට ඕගනයිස් කරලා තියාගන්න එක. ආන්න ඒකටත් ගූග්ල් කීප් එකෙන් දීලා තියෙනවා විකල්පයක්. අපි ගූග්ල් කීප් එකේ නිර්මාණය කරන නෝට්ස් එක්කෝ පහළට ලිස්ට් එකක් විදියට, නැතිනම් ටයිල්ස් විදියට තියාගන්න පුළුවන් නේ. මේවා තවදුරටත් අපිට ලේබල් කරගන්න පුළුවන්. ගූග්ල් කීප් ප්‍රධාන පිටුවේ වම් ඉහළ කෙළවරේ තියෙන මෙනු එකෙන් ගිහින් අපිට ලේබල් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් නෝට් එකක් ක්ලික් කරලා අදාළ ලේබල් එක ඇලෙව්වහම, නෝට් එකේ යටින් ඒ ලේබල් එක අපිට පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, එක් එක් නෝට් වලට එක් එක් වර්ණ ගන්වා ගන්නත් අපිට අවකාශය තියෙනවා. ඕන නම් ගොඩක් වැදගත් නෝට් එකක් හෝ කීපයක් ඉහළින්ම පින් කරලා තියන්නත් පුළුවන්.
7. සිහි කැඳවුම්
ගූග්ල් එක්ක කොහොමත් Tasks කියලා සිහිකැඳවුම් ඇප් එකක් තියෙනවා. ඒ ඇරෙන්න ගූග්ල් කැලැන්ඩර් එකේ වුනත් ලේසියෙන්ම රිමයින්ඩර්ස් තියන්න පුළුවන්. එහෙමත් බැරිනම් රිමයින්ඩර්ස් තියන්න පුළුවන් තව ඇප්ස් ඕන තරම් ප්ලේ ස්ටෝර් එකෙන් හොයාගන්න පුළුවන්. හැබැයි ගූග්ල් කීප් එකෙත් රිමයින්ඩර්ස් පහසුකම තියෙනවා. අපි ගූග්ල් කීප් එකේ නෝට්ස් තියමින් වඩා වැඩි වෙලාවක් ගත කරනවා නම්, වෙනම ඇප් එකකට මාරු වෙන්නේ නැතුව බොහොම ලේසියෙන් අපිට අවශ්‍ය නෝට් එකකට රිමයින්ඩර් එකක් තියාගන්න පුළුවන්. ඒක සමහර වෙලාවට ගූග්ල් කීප් එකේ හදපු බඩු ලැයිස්තුව ගන්න කඩේට යන්න මතක් කරන රිමයින්ඩර් එකක් වෙන්න පුළුවන්. නෝට් එකක් එඩිට් කරන්න රිමයින්ඩර් එකක් වෙන්න පුළුවන්.
මේ පහසුකම් ඇරෙන්න, Google Docs, Google Sheets, Google Drawing, Google Form වගේ ඕනෑම එකකත්, Gmail වලත් පැත්තකින් එන ස්ලයිඩර් එකේ Google Keep ක්ෂණික පිවිසුම් අයිකන් එකක් තියෙනවා. ඉතින් මේ ගොනුවක තියෙන ඕනම දෙයක්, ඊමේල් එකක තියෙන ඕනම දෙයක් බොහොම පහසුවෙන් Drag & Drop කරලා වුනත් Google Keep නෝට් එකකට දාගන්න පුළුවන්.
Leave a Reply