ගෙයක් හදනකොට වියදම අඩුකරගන්න පුළුවන් ක්‍රම

ගෙයක් හදන එක ලේසි වැඩක් නෙමෙයි. ඒත් අමාරුයි කියලා බැහැනෙ. ගෙයක් හදාගන්නම වෙනවා අලුතින් පවුලක් වෙනවා නම්. ඊට අමතරව අපේ දූලා පුතාලට හෙමත් අපිට ගෙවල් දොරවල් හදාදෙන්න වෙනවා. අපේ තියෙන ගේ වුණත් ටිකක් මොඩිෆයි කරලා ගන්න පුළුවන් නම් ඒකෙත් යම් ගතියක් තියෙනවා. ඉතින් ඒ මොන වැඩේ කරන්න ගියත් අපිට සල්ලි කියන බාධකය හරස් වෙනවා. ඉතින් මේ සල්ලි නාස්තිය අඩුවෙන් කොහොමද වැඩේ ගොඩදාගන්නේ කියලා අපි බලමු.

 

1. හැකි සෑම විටම ඔබම කඩේ යන්න

බාස්ලාගේ, කොන්ත්‍රාත්කරුවන්ගේ එක ආදායම් මාර්ගයක් තමයි බඩුවලින් ගහන එක. ඒ කිව්වේ ඔයා ගන්නේ සිමෙන්තිද? හුණුද? තීන්තද? ටයිල්ද? කියන එක අදාළ නැහැ. ඒ බාස්වරු සහ කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ කරගෙන එයාල හරහා ගත්තොත් ඔයාලට අවාසි වෙන්න යම් ඉඩක් තියෙනවා. ඇරත් ගෙදර හදලා ඉවර වුණාම ඒකේ ජීවත්වෙන්නේ  බාස්ලා නෙමෙයි අපි. ඒ නිසා අපේ කොලිටියට, අපි කැමති පාටට ඩිසයින් එකට, ගෙදර නිමාවට අවශ්‍ය වෙන බඩු ආදිය මිලදී ගන්න අපිම යනවා නම් හොඳයි. සමහර වෙලාවට බාස් වරු හෙම අච්චර මෙච්චර අඩුවට බිල්ඩින් මැටීරියල් තියෙනවා කියලා කියනවා. ඒවා වුණත් අපි තැන් කිහිපයකින් අහලා බලලා අපිත් සොයලාම ඒ දේවල් මිලදී ගන්න එක පර්ස් එකට හොඳයි.

 

2. ඒ ඒ තැන්වලට අවශ්‍ය දේ පමණක් කරමු

නිදන කාමරයක් නම් කාමරේ බිත්ති වලට, ටයිල් වලට, වහලට ලොකු වියදමක් කරන එක තේරුමක් නැහැ. ගෙයක් නම් වැඩිම පිරිසකගේ ඇහැ යන්නේ ගෙදර සාලයට, කුස්සියට සහ කෑම කාමරයට. ඒ වගේ තැන් වඩාත් ලස්සන වෙන්නත්, එළිමහන් සහ කාමර වැනි පුද්ගලික අවකාශයන් එතරම්ම සුපිරියට නොවෙන්නෙත් හදාගත්තොත් එයිනුත් අපිට යම් ඉතුරුවක් කරගන්න පුළුවන් වෙනවා. 

ඒ වගේම ගෙයක් හදාගෙන යද්දී අරහෙම කරමු මෙහෙම කරමු කියලා යම් යම් වෙනස්කම් කරන්න​ට සමහර බාස්වරුන්ගෙන් යෝජනා එන්න පුළුවන්. ඒ විදිහේ දේවල්වලින් නිවසට වාසියක් අත්වෙනවාද? නැතිනම් ඒ අයගේ වර්ගමීටර ප්‍රමාණය ඇතුළු කුලිය වැඩි කරන්න කියන දේවල්ද කියන එක ගැනත් ටිකක් හිතන්න.

 

3. හදන ගෙය නිතර නිරීක්ෂණය කරමු

බාස්ලා හැදුවත්, කොන්ත්‍රාත්කරුවන් හැදුවත් ගෙයක් හදනවා නම් දවස් කීපෙකට වතාවක් හරි ඒ පැත්තේ ගිහින් බලන එක වටිනවා. බිරින්දෑ හෝ සැමියා හෝ පෙම්වතා පෙම්වතිය ඉන්නවා නම් එයාලත් එක්කත් අලුත හදන ගෙදර බලන්න යන එක වටිනවා. ගෙදර නිකං ප්ලෑන් එක උඩින් බැලුවට හෝ එවෙලේ බැලුවට අවකාශ ගැන හරිහමන් අදහසක් එන්නේ නැහැ. ඉතින් මගදි හදනකොටම අපිට යම් යම් දේවල් වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා හදන ගෙදර නිතර ගිහින් බැලුවොත්.

 

4. හොඳ ප්ලෑනක් ඇඳගමු

අපිට ගේ වෙනුවෙන් කරන්න හැකි වියදම, ගේ හදන්න ඉන්න බිම, ගෙදර තියෙන අවකාශ ආදී දේවල් ගැන කලින් හිතලා ප්ලෑන් එකක් ගහගන්න එක වටිනවා. මේ ප්ලෑන් වැඩේදි ගෙදර හදන්න යන වියදම අඩුකරගන්න ඔයාලට තියෙන උවමනාව ගැනත් කියන්න. ඒ වගේම ඒ ප්ලෑන් අකාරේ ගෙයක් කොහෙහරි හදලා තියේ නම් ඒක ගිහින් ටිකක් බලලා එන්න පුළුවන් නම් ඒකත් වටිනවා. අපිත් ආසයි දිව්‍ය විමාන වගේ සුන්දර විසාල ගෙවල් වලට. ඒත් හැදෙන්නෙ නැති, තැන තැන කොන්ක්‍රීට් සහ ගඩොල් ගොඩගහපු බාග ගේක අවුරුදු විස්සක් තිහක් කල් මරණවාට වඩා පොඩියට කාමර දෙකක්, සාලයක් හරි හරියට හදාගෙන ඒකේ ජීවත් වෙන්න උත්සාහ කරන එක මෙලොවට වටිනවා.

 

5. හොඳ කොලිටි බාස්ලා සොයාගැනීම

බාස්ලා කියන්නේ නම් ගෙවල් හදන්න බහින අයට ඒක එපා කරවන වැඩක්. බාස්ලා දිගට වැඩ නොකර වැඩ පොඩ්ඩ පොඩ්ඩ අල්ල අල්ල යන්න දක්ෂයි. ඕනිම ලස්සන ගෙදරක් වුනත් බාස්ලා කම්මැලි වෙලා වැඩ අදිනවා නම් අපේ රතු කට්ට පනින්න ගන්නවා. ඒ නිසා ටිකක් විතර වැඩියෙන් වියදම් වුණත් හරි කලට වෙලාවට ගෙදර වැඩේ ගාණට කරන බාස්ලා සෙට් එකක් හොයාගන්න ඕනා ගෙයක් හදනකොට. ඒ වගේම බාස්වරු එක්ක වැඩකරද්දි හැමදේම බාස් දන්නවා කියලා හිතන්නත් හොඳ නැහැ. මොනාහරි ගැටළුවක් තියෙනවා නම් හදන කොට ඒක එවෙලේම අහන එකත්, ඒත් විසඳුනේ නැත්නම් සිවිල් ඉංජිනේරු හෝ එවැනි අයෙකුගෙන් අහලා නිරාකරණය කරගන්න එකත් ගෙදර වියදම් අඩු වෙන්න හේතු වෙනවා.

 

6. යන වියදම් සහ ඒවා සොයාගැනීම ගැන කලින් සිතීම

ණය ගත්ත ව​ගේ නෙමෙයි ගෙවන්න ගියාම. පොලීම කීයක් ගෙවන්න වෙනවද? ඒත් ඉතින් ණයක් නැතුව ගෙයක් හදාගන්න පුළුවන් අය ඉන්නේ ඉතාම සුළු පිරිසයි. අපිට, අපේ පවුලේ අයට එකතු වෙලා කොපමණ මුදලක් ලොකු අවුලක් වෙන්නෙ නැතුව ලෝන් වලින් ගන්න පුළුවන් වෙයිද? ඒවා ගන්නකොට අඩු පොලියට ණය ගන්න පුළුවන් තැන් තියෙනවාද? ඒ ණය ගත්තට පස්සේ අපේ අනෙක් වියදම් වලට ගැටළුවක් වෙන්නෙ නැද්ද? වගේ දේවල් පවා කලින් හිතන අය තමයි ඉක්මනටම දිනන්නේ… අමාරුවෙන් ණය වෙලා ගන්න මිලියන් ගණන් සල්ලි ෆවුන්ඩේෂන් වලට විතරක් වියදම් කරලා පස්සේ ගෙයි ඉතුරු වැඩ ඉවර කරගන්න බැරුව දුක්වෙන අයත් කලාතුරකින් අපි අතර ඉන්නවා.

 

7. අඩු වියදම් ඉදිකිරීම් ශිල්ප ගැන සෙවීම

අඩු වියදමින් ගඩොල් කපාගන්න ක්‍රම තියෙනවා. ඒ වගේම කාලවෙලාව තියෙනවා නම් ගඩොල් ටිකක් හෙමිහිට ගෙදර කපාගන්නත් අත් යන්ත්‍ර හෙමත් තියෙනවා. තට්ටු ගෙවල් වල කොන්ක්‍රීට් එකට වගේම බිම අල්ලන ටයිල් වලටත් වියදම් අඩු විසඳුම් අද වෙනකොට තියෙනවා. අඩු වියදම් දේවල් හෙවීම කියන්නෙ කිසිසේත්ම ලැජ්ජාවට කරුණක් නෙමෙයි. අපි ගත්තොත් ෆේස්බුක් වගේ විශාල සමාගම්වල මූලස්ථාන පවා ඇතැම්වෙලාවට අඩු වියදම් ක්‍රම වලට තමයි ඇතුළත ඩිසයින් කරන්නේ. ඔවුන් කපරාරු අඩුවෙන් බිත්ති තියාගෙන, බිමත් ලාභ ආකාරයට පිළියෙල කරන්න උත්සාහ ගන්නවා. ඉදිකිරීම් කියන්නේ වියදම් යන වැඩක්. ඒත් අලුත් තාක්ෂණ ගැන ඇතැම්විට ඉතාම ලේසියෙන් අපිට තොරතුරු ගන්න මූලාශ්‍ර තියෙනවා.

 

නැකැත් බල බලා ඉඳලත් බැහැ. අපි කොහොම හරි ගෙයක් දොරක් හදන්න පටන් ගන්න ඕනි. ඉතින් ගෙයක් හදන්න පටන් ගද්දි අපේ අතට ගන්න පුළුවන් ගාණ ගැන හිතන්න ඕනි. ඒ වගේම ඉතුරු දේවලුත් හෙමිහිට පොඩි පොතක් හෙම අරගෙන ලියලා කියලා සැලසුම් කරගන්න ඕනි. සියලු දේවල් එකපාර ඔලුවේ තියාගන්න අපිට රාවණාට වගේ ඔලු ගොඩක් නැහැ නේ. ඒ නිසා වියදම් වගේම ඒ ඒ කාල සැලසුම් පවා සකස් කරගන්න එක වටිනවා. අපි හැමෝම දන්න විදිහට ජනවාරි, දෙසැම්බර් ලංකාවට පැල් බැඳගෙන වහිනවා. ඒ වගේම අප්‍රේල්, ජුනි වගේ කාල වල හොඳට පායනවා. වැහි කාලේ ගංවතුර හැමදාම එන කාලේට ගේ ගහන්න ප්ලෑන් කළොත් නැකත මොක වුණත් වැඩ මගදි නවතින්න ගන්නවා. ආන්න ඒ වගේ දේවල් ගැන හිතුවොත් සහ ඒ අනුව වැඩ ටික පිළිවෙළ කරගත්තොත් අපිට අපේ ජීවිත කාලෙ තුළම අපේ සිහින නිවස මහපොලවේ හදාගන්න පුළුවන් වේවි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *