මැල්ලුම් හදන්නෙ කොළ වලින් විතරද? කොළ නැති මැල්ලුම් 7ක් හදමු

ආහාර වේලකට මැල්ලුම් මොනාහරි තිබ්බනම් ඒක බැලන්ස්නෙ නේද? මැල්ලුමක් කිව්ව ගමන් මතක් වෙන්නෙ පළා වර්ගද? මැල්ලුම් හදන්න කොළ ජාති ඕනම නෑ. මේ කියන්නෙ කොළ වර්ග නැතුව මැල්ලුම් හදන විදි ගැනයි.

 

1. බෝංචි මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බෝංචි ග්‍රෑම් 250
  2. ගාගත් පොල් කෝප්ප 1
  3. කපාගත් අමුමිරිස් කරල් 2
  4. කූණිස්සො ග්‍රෑම් 50
  5. කහ තේ හැඳි 1
  6. චොප්කරගත් රතුළූණු ගෙඩි 4
  7. ලුණු

 

  • බෝංචි ටික පොඩියට ලියාගන්න. මේකට ලියාගත් රතුළූණු, කහකුඩු රස අනුව ලුණු දාලා  කලවම් කරගන්න.
  • කූණිස්සො ටික තෙලට දාගන්න.  කූණිස්සො ටික බැදීගෙන එනකොට බෝංචි ටිකත් ඒකට එකතු කරල විනාඩි 2ක් වගේ කලවම් කරගන්න.
  • බෝංචි ටික මැලවෙනකොට පොල් ටික දාගන්න. විනාඩි 2කින් වගේ වතුර මේස හැඳි දෙක තුනක් එකතු කරගන්න. තව විනාඩි 2ක් වගේ වහලා තියාගන්න. බෝංචි කොළපාට තියෙන්නම ගාණට තැම්බුනාම ලිපෙන් බාගන්න.

 

2. පොලොස් මැල්ලුම්

Image Source -wildrosesnowdrops.blogspot.com/

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලියාගත් පොලොස් ගෙඩියක්
  2. කහ තේ හැඳි 1
  3. ලුණු
  4. කුරුඳු පොඩි කෑල්ලක්
  5. සූදුරු ඇට තේ හැඳි 1/4
  6. කරපිංචා කොළ ටිකක්
  7. අමුමිරිස් කරලක්
  8. පොල්තෙල් ටිකක්
  9. පොල් කප් එකක්
  10. සුදුළූණු බික් 3
  11. රතුළූණු ගෙඩි දෙක තුනක්
  12. වියලි මිරිස් කරල් 4
  13. අබ තේ හැඳි 1/4

 

  • ලියාගත් පොලොස් වලට කහ එකතු කරලා වතුර කෝප්ප 1ක් දාලා කලවම් කරගන්න. දැන් මේක ලිපේ තියලා පොලොස් ටික තැම්බෙනකල් වහලා තියන්න.
  • ටිකකින් රස අනුව ලුණු දාගන්න. වතුර හිඳුනට පස්සෙ ලිපෙන් බාගන්න.
  • කරපිංචා, සූදුරු, රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, කුරුඳු  ටික වංගෙඩියෙ දාල කොටල හෝ ගලේ අඹරගන්න. ඒකටම පොල් ටිකත් දාල කොටාගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. ටිකකින් කපාගත් වියළි මිරිස් කරල් ටික දාගන්න. මේකට අඹරගත්ත පොල් ටික එකතු කරල ඒ එක්කම පොලොස් ටික දාගන්න. පොල් ටික මැලවෙනකම් ලිපේ තියාගන්න. 

 

3. තිබ්බටු මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තිබ්බටු ග්‍රෑම් 200
  2. බැදගත් හාල්මැස්සො ටිකක්
  3. ගාගත් පොල් කෝප්ප 1
  4. ලියාගත් ළූණු ගෙඩි 1
  5. කොච්චි කරල් කිහිපයක්
  6. ලියාගත් සුදුළූණු බික් 2
  7. කහකුඩු තේ හැඳි 1
  8. දෙහි යුෂ ස්වල්පයක්
  9. ලුණු

 

  • තිබ්බටු ටික වංගෙඩියෙ දාල ටිකක් තලාගන්න. ඒකට කපාගත් ළූණු, සුදුළූණු එකතු කරලා වතුර කෝප්ප 1ක් දාලා ලිපේ තියන්න.
  • පොල් වලට කහ, කොච්චි හා ලුණු දාලා ගලේ අඹරගන්න.
  • තිබ්බටු ටික තැම්බුනාම අඹරාගත් පොල් ටික එකතු කරගන්න. හොඳට කලවම් කරගන්න. වතුර ගතිය හිඳුනම දෙහි යුෂ හා බැදගත් හාල්මැස්සො එකතු කරලා ලිපෙන් බාගන්න.

 

4. දඹල මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ලපටි දඹල ග්‍රෑම් 200
  2. කොච්චි කිහිපයක්
  3. ලියාගත් රතුළූණු ගෙඩි 4
  4. ලියාගත් සුදුළූණු බික් 2
  5. කරපිංචා
  6. ගාගත් පොල් කෝප්ප 1
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. අමු තුනපහකුඩු තේ හැඳි 1/2
  9. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  10. රස අනුව ලුණු

 

  • දඹල හීනියට ලියාගන්න. දඹල වලට කහකුඩු තේ හැඳි 1/4  හා ලුණු දාලා වතුර කෝප්ප 1ක් දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
  • රතුළූණු, සුදුළූණු, කොච්චි කරපිංචා, ගම්මිරිස්කුඩු ටික අඹරගෙන මේකටම පොල්, ඉතිරි කහකුඩු ටික, අමු තුනපහකුඩු ටික දාලා අඹරගන්න.
  • දඹල වල වතුර ගතිය අඩු උනාම පොල් මැල්ලුම කලවම් කරලා රස අනුව ලුණු දාගෙන ලිපෙන් බාගන්න.

 

5. ගෝවා මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පොඩි ගෝවා ගෙඩි 1
  2. ලියාගත් රතුළූණු ගෙඩි 4-5
  3. ලියාගත් සුදුළූණු බික් 3
  4. රම්පේ හා කරපිංචා
  5. කුරුඳුපොතු කෑල්ලක්
  6. කහකුඩු තේ හැඳි 1
  7. ගම්මිරිස් ඇට ස්වල්පයක්
  8. අබ ස්වල්පයක්
  9. රස අනුව ලුණු
  10. ගාගත් පොල් කෝප්ප 1

 

  • ගෝවා ටික හීනියට කපාගෙන ලුණු මිශ්‍ර වතුරෙ ටිකක් වෙලා දාලා තියාගන්න. ඉන් පස්​සෙ ගෝවා ටික වතුර මිරිකලා අරන් භාජනයකට දාලා ලිපේ තියන්න.
  • රතුළූණු, සුදුළූණු, කහකුඩු, ගම්මිරිස් ඇට, කුරුඳුපොතු හා පොල් එකතු එකතු කරලා අඹරගන්න.
  • ගෝවා වල වතුර ගතිය අයින් උනාම පොල් මැල්ලුම කලවම් කරන්න. 
  • වෙනම භාජනයක තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට අබ ටික දාලා රම්පේ හා කරපිංචා ටික දාගන්න. 
  • දැන් ගෝවා ටික එකතු කරලා රස අනුව ලුණු දාලා ලිපෙන් බාගන්න.

 

6. දෙල් මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොඩි දෙල් ගෙඩි 1
  2. ලියාගත් රතුළූණු ගෙඩි 4
  3. ලියාගත් සුදුළූණු බික් 4
  4. අමුමිරිස් කරල් 2
  5. ගාගත් පොල් කෝප්ප 1
  6. කරපිංචා ස්වල්පයක්
  7. ගම්මිරිස් ඇට ස්වල්පයක්
  8. අබ ස්වල්පයක්
  9. ලුණු
  10. කහ තේ හැඳි 1

 

  • දෙල් ටික හීනියට කපලා වතුර කෝප්ප 1/2ක් දාලා ලිපේ තියන්න.
  • රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, කරපිංචා, ගම්මිරිස්, අබ, ලුණු, කහකුඩු හා පොල් එකතු කරලා අඹරගන්න.
  • දෙල් ටික හොඳට තැම්බිලා වතුර ගතිය හිඳුනම පොල් ටික කලවම් කරගන්න. ලුණු රස අනුව තව එක් කරගන්න.

 

7. පරිප්පු මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පරිප්පු ග්‍රෑම් 100
  2. ගාගත් පොල් කෝප්ප 1
  3. සුදුළූණු බික් 4
  4. රතුළූණු ගෙඩි 3
  5. අමුමිරිස් කරල් 2
  6. ගොරකා කෑල්ලක්
  7. කරපිංචා
  8. කහකුඩු තේ හැඳි 1
  9. ලුණු
  10. කුරුඳුපොතු කෑල්ලක්
  11. වියලි මිරිස් කරල් 3
  12. අබ ස්වල්පයක්

 

  • පරිප්පු වලට වතුර එකතු කරල බෙරි  නොවෙන්න තම්බගන්න. සුදුළූණු, රතුළූණු, අමුමිරිස්, ගොරකා, කහකුඩු, කරපිංචා, කුරුඳුපොතු, ලුණු දාලා අඹරලා ඒකට පොල් ටිකත් දාලා අඹරගන්න.
  • පරිප්පු බෙරි නොවෙන්න හොඳට තැම්බුනාම පොල් මැල්ලුම එකතු කරන්න.
  • වෙනම භාජනයක තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට අබ ටික දාලා ටිකකින් වියළි මිරිස් ටික කඩලා දාගන්න. මේ තෙම්පරාදුවට පරිප්පු දාලා කලවම් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *