ලංකාවේ දේශපාලනය කියන්න කවදාවත් කතා කරල නිම කරන්න පුළුවන් මාතෘකාවක් නම් නෙමේ. ඒ දවස් පතා අපිට කතා කරන්න මාතෘකා, වාක්‍ය දේශපාලනඥයෝ හදලා දෙන නිසා. ගොඩක් වෙලාවට ඒ අය හොඳට හිතලා මතලා කරන මෝඩ වැඩක් එහෙමත් නැත්නම් මෝඩ කතාවක් කට ගැස්මට අරගෙන අපි දේශපාලනඥයන්ට හිනා වෙනවා. හැබැයි නොදැනුවත්වම අපි හිනා වෙන්නේ අපිටමයි. මොකද ඒ අයව පත් කරලා යවන්නෙත් අපිම නිසා. මාතෘකාවෙන් පිට ගියා ද මන්දා? හරි ඔය කතන්දර නැතුව කෙලින්ම කිව්වොත් අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ දේශපාලන ලෝකය කළඹවන්න සමත් වෙච්ච පොත් ගැන…
1. චෞර රැජිණ
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගව දේශපාලනයට ගේන්න වැඩිම දායකත්වයක් ලබාදීපු කෙනෙක් විදිහට වික්ටර් අයිවන්ව සලකන්න පුළුවන්. හැබැයි පස්සෙ කාලෙක දෙන්නට දෙන්නා පෙන්නන්න බැරි තරමට සතුරන් බවට පත් වුණා. රාවය පත්තරේ දිගින් දිගටම චන්ද්‍රිකාව විවේචනය කරන්න ගද්දි අයත් ඇයත් වික්ටර් අයිවන්ට එරෙහිව විවිධ චෝදනා ඉදිරිපත් කරන්න ගත්තා. මේ ගැටුමේ කූඨප්රාප්තිය වන්නේ වික්ටර් අයිවන් විසින් “චෞර රැජිණ” නමින් පොතක් රචනා කිරීම. චන්ද්‍රිකා මැතිනිය පිළිබඳව අතිශයින් ආන්දෝලනාත්මක කරුණු ඇතුළත් වූ මේ කෘතිය උණු කැවුම් වගේ විකුණුනා. කොහොම වුණත් මෙම කෘතියට එරෙහිව ඇය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.
2. ඇත්ත වෙනුවට නැත්ත
විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණ අත්හැර යමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග අත්වැල් බැඳ ගැනීමත් එක්ක ඔහු තමන්ට පක්ෂය හැර යාමට හේතු වූ කරුණු හෙළි කරමින් පොතක් ලිව්වා. ඒ පොත තමයි “ඇත්ත වෙනුවට නැත්ත”. මෙම පොත සඳහා ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණු මධ්‍යම කාරක සභාව තුළ හුවමාරු වූ ලිපි ලේඛන පවා ඇතුළත් කර තිබුණා. මේ නිසා අධිකරණය ඉදිරියේ මෙම පොතට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කළා. මේ නඩුවේ තීන්දුව ලෙස විමල් වීරවංශ හට ජනතා විමුක්ති පෙරමුණට දඩයක් ගෙවන ලෙසට නියෝග වූ අතර පොත නැවත මුද්‍රණය සහ භාවිතා කිරීම තහනම් කෙරුණා.
3. ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්
විජේසිංහ බෙලිගල්ල විසින් රචනා කරනු ලැබූ මේ කෘතිය තුළ ලෙනාඩ් වුල්ෆ් විසින් සඳහන් කළා යැයි කියූ දේ ඇතුළත්ව තිබුණා. විශේෂත්වය වුණේ වුල්ෆ් සඳහන් කළා යැයි කියූ සෑම කරුණක් තුළින් ම රාජපක්ෂ පවුලේ දේශපාලනය දැඩි ලෙස විවේචනයට ලක් වීම. එහි සඳහන් ඇතැම් කරුණු විශ්වාස කළ නොහැකි බවටත් මත පළ වුණා. ඊට අයත් එක් සාක්කියක් විදිහට ලබා දුන්නේ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කරනු ලැබූ කිසිදු කෘතියක හෝ ඔහුගේ දින සටහන්වල එවැනි විවේචනාත්මක කරුණු අඩංගු නොවීමයි.
4. The Premier Stakes
ඩී. එස් සේනානායකගෙ මරණයෙන් පසුව අගමැති ධුරය තමන්ට හිමි වනු ඇතැයි ජෝන් කොතලාවල බලාපොරොත්තු වුණත් අවසානයේදී එම ධූරය හිමි කරගත්තේ ඩඩ්ලි සේනානායක. මින් කළකිරීමට පත් වූ ජෝන් කොතලාවල විසින් තමන්ගේ නම සඳහන් නොකර The Premier Stakes නමින් කෘතියක් නිකුත් කරනු ලැබුවා. මේ කෘතිය කොතරම් ආන්දෝලනයට තුඩු දුන්නා දැයි කියතොත් අවසානයේ දී ඩඩ්ලි සේනානායක විසින් ජෝන් කොතලාවල හට කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වන ලෙස ද දැනුම්දීමක් කරනු ලැබුණා. නමුත් පසුව මේ ගැටුම සමථයකට පත් වුණා.
5. බලය සහ බලය
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා විසින් රචනා කරන ලද මෙම කෘතිය හරහා බල ශක්ති ක්ෂේත්රය තුළ පවතින මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව මෙන්ම රජය විසින් ලබාගන්නා අතිමහත් ලාභය පිළිබඳව මූලික අදහසක් ජනතාවට ලැබුණා. මෙහි ප්‍රතිඵලයක් විදිහට ඉන්ධන මිල ගණන් වල සංශෝධනයකුත් ඒ කාලයේ දී සිදුවුණා. මෙම කෘතිය නිකුත් කිරීමට එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ පාඨලී චම්පික අමාත්‍යවරයාට සිදුවුණු මදිපුංචිකම් ද බලපෑ බව කියවෙනවා.
6. මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත
පහුගිය යහ පාලන රජය කාලෙ සිද්ද වෙච්ච ප්‍රධානතම වංචාව විදිහට සැලකෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව. මේ වන කොට එහි ප්‍රධාන චෝදනාව ලබලා ඉන්න අර්ජුන මහේන්ද්‍ර විදේශ රටක සැඟවී ජීවත් වෙනවා. ඔහුගේ බෑනා සහ තවත් අයට එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතිනවා. මේ බැඳුම්කර සිද්ධිය කරලියට එද්දී එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය මන්ත්‍රීවරයෙකු වන සුජීව සේනසිංහ එවැනි බැඳුම්කර වංචාවක් සිදු නොවුණු බව පවසමින් “මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත” යැයි කෘතියක් නිකුත් කළා. බැඳුම්කර වංචාවට සුදු හුණු ගෑමක් යැයි පවසමින් බොහෝ පිරිසක් මෙම කෘතිය වගේම සුජීව සේනසිංහව විවේචනයට ලක් කළා.
7. හත්වසක ශාපය
සිරිමාවෝ බණ්ඩාරනායක ප්රමුඛ සමගි පෙරමුණු රජයට අන්ත පරාජයක් සහ ජේ ආර් ජයවර්ධන ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට අති දැවැන්ත හයෙන් පහක බලයක් සහිත ජයග්‍රහණයක් ලබා දීමට දායක වුණු සුවිශේෂී පුද්ගලයෙක් විදිහට වික්‍රම වීරසූරියව හඳුන්වන්න පුළුවන්. ඔහු විසින් බණ්ඩාරනායක පවුලේ සහ එම රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් හත් වසක ශාපය නමින් කාටූන් පොතක් නිර්මාණය කිරීමට කටයුතු කළා. චිත්‍ර ඇඳීමට සහ තමන් ඉංග්‍රීසියෙන් පවසන දේ සිංහලට පරිවර්තනය කිරීමට වෙනත් අය භාවිතා කළත් එම කෘතියේ මහා මොළකරු වික්‍රම වීරසූරියයි.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply