කොරෝනා කලබල අස්සෙ මාස දෙකකට අසන්න කාලයක් ගෙවල් ඇතුලටම වෙලා ඉන්නකොට හැමෝම වගේ චිත්‍රපටි, TV Series එහෙම බලන්න සෑහෙන්න උනන්දු උණා. ඇයි ඉතින් උදේ හවස වැඩට ගියපු අයට දවල් දවසේ කාලෙ ගෙවාගන්න ක්‍රමයක් තියෙන්නත් එපැයි. ඒ අතරේ මේ කාලෙදි ලෝකෙ පුරාම ප්‍රේක්ෂකයෝ උමතුවෙන් වගේ බලන්න ගත්ත අතිශය ජනප්‍රිය වුන ටෙලි කතා මාලාවක් තමයි Money Heist කියන්නෙ. සිංහලෙන් කිව්වොත් මුදල් මංකොල්ලය. හුඟක් අය මේ නම අහල, එක්කො දැනටම මේ කතාව බලන්න පටන් ගෙන, එක්කො බලල ඉවර කරලත් ඇති. ඒ වගේම තමයි මේ TV Series එක අන්තර්ජාතික Emmy Awards සම්මාන උළෙලේ හොඳම ටෙලි කතා මාලාවට හිමි සම්මානය ඇතුළුව සම්මාන කිහියක්ම දිනගෙනත් තියෙනවා. ඒ වගේම IMDB වෙබ් අඩවියේ දැනට දෙවෙනියට ජනප්‍රිය show එක වෙන්නෙත් මේ කතාමාලාව. ඒ කොහොම උනත් මේ කියන්න යන්නෙ බලපු නොබලපු කාටත් කතාව ගැන තවත් ආස හිතෙන කතාවේ වටපිටේ විස්තර ටිකක්.
1. මුල්ම විකාශය
මේක ස්පාඤ්ඤ TV Series එකක්. කතාවේ රූගත කිරීම් මූලිකවම කරල තියෙන්නෙ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ. ඒ වගේම තායිලන්තය, පැනමා දූපත සහ ඉතාලිය ආශ්‍රිතවත් සමහර කොටස් රූගත කරල තියෙනවා. Heist කැටගරි එකට අයිතිවෙන මේ කතාමාලාව මුලින්ම විකාශය වෙලා තියෙන්නෙ ස්පාඤ්ඤයේම රුපවාහිනී නාලිකාවක. ඒ 2017 අවුරුද්දෙදි “La Casa de Papel” කියන ස්පාඤ්ඤ නමින්. කතාවේ පළවෙනි අදියර කොටස් 15කින් තමයි විකාශය වෙන්නෙ. කතාව පටන් ගත්ත මුල්ම කොටස් කීපයෙදි ප්‍රේක්ෂකයෝ මිලියන 4.5ක් වගේ ලොකූ පිරිසක් මේක බලන්න ගත්තත් කාලයක් යනකොට මේකට තිබුණ ජනප්‍රියත්වය සෑහෙන්න අඩුවෙලා ප්‍රේක්ෂක ප්‍රමාණය හොඳටම අඩු අසාර්ථක ටෙලියක් මට්ටමට මේ කතාව පත්වෙනවා. මේ වැඩෙත් එක්ක සම්බන්ධ වුන කණ්ඩායමේ හැමදෙනාම කතාව ගැන තිබ්බ බලාපොරොත්තු එහෙම අතහැරලා හිටපු කාලෙක තමයි නොහිතපු විදිහේ දෙයක් සිද්ධ වෙන්නෙ.
2. Netflix ආගමනය
2017 මැයි මාසෙ ඉඳන් 2017 නොවැම්බර් මාසෙ වෙනකං මේ කතාව ස්පාඤ්ඤ නාලිකාවේ අසාර්ථකව උනත් විකාශය වෙනවා. ඒ විදිහට අසාර්ථක වෙලා හැමෝගෙම බලාපොරොත්තු කඩවෙමින් යන කාලෙක තමයි මේ කතන්දරේට Netflix මැදිහත් වෙන්නෙ. Netflix ආයතනයෙන් කතාව මිලදී ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ඔවුන් කතාවේ නම, විකාශය වෙන කොටස් ප්‍රමාණයේ ඉඳලා වෙනස්කම් කීපයක්ම කරනවා මේ Series එකට. එහෙම වෙනස් කම් කරලා පළමු කොටස 2017 දෙසැම්බර් 20න් පටන්ගෙන ආපහු කතාව මුල ඉඳලා විකාශය කරනවා. ඔන්න ඊට පස්සෙ තමයි කතාව නොහිතූ විදිහට ජනප්‍රිය වෙලා ලෝකෙ පුරාම ප්‍රේක්ෂකයෝ අතරට යන්නෙ. ඒ නිසාම කතාවේ දෙවෙනි මංකොල්ලය තුන්වන සහ හතර වන seasons යටතේ මේ වෙනකොට විකාශය වෙලා තියෙනවා. මුලින් අසාර්ථක වෙලා අවසානයම වෙයි කියල හිතපු කතාවක් ජනප්‍රිය වෙලා ඊළඟ season එක, ඒ කියන්නෙ දෙවෙනි මංකොල්ලයේ ඉතුරු කොටස් එක්ක season 5 එනකං ලෝකේ පුරාම රසික රසිකාවියෝ මඟ බලගෙන ඉන්න කතාවක් මට්ටමට පත්වුණේ අන්න එහෙම තමයි.
3. Money Heist නම
අපි කිව්වනෙ Netflix එකෙන් කතාවෙ ඔරිජිනල් නම වෙනස් කළා කියල. හැබැයි ඊට කලිනුත් ස්පාඤ්ඤ විකාශයටත් කලිනුත් නම වෙනස් වෙලා තමයි ඔය La Casa de Papel කියන නම අන්තිමටම තීරණය කරලා තියෙන්නෙ. ඒ කතාව මෙන්න මෙහෙමයි.
කතාව මුලින්ම නම් කරන්න තීරණය වෙලා තියෙන්නෙ the hopeless නැත්තම් බලාපොරොත්තු රහිත කියන තේරුම තියෙන “Los Desahuciados” කියන ස්පාඤ්ඤ නමින්. කොහොමින් හරි අන්තිමට තීරණය වෙලා “La Casa de Papel” කියන නම කතාවට තෝරාගන්නවා. මේකෙ තේරුම ඉංග්‍රීසියෙන් කිව්වොත් “The House of Paper” ඒ කියන්නේ කඩදාසි ගෙදර වගේ තේරුමක්. මුල්ම කතාවේ තියෙන මුදල් අච්චු ගහන රෝයල් මින්ට් එක ඇත්තටම බැලුවොත් කඩදාසි ගෙයක්නේ. පස්සේ Netflix ඒකෙන් තමයි “Money Heist” කියන ඉංග්‍රීසි නමින් එහෙමත් නැත්තම් මුදල් මංකොල්ලය කියන නමින් මේ කතාව අලුතෙන්ම නම් කරන්නෙ.
4. කතාව / තිර රචනය
මේකෙ කතන්දරේ සරලව කිව්වොත් මුදල් මංකොල්ලයක්. හැබැයි සාමාන්‍ය මංකොල්ලයක්නම් නෙමෙයි. ප්‍රොෆෙසර් කියන නමින් තමන්ව හඳුන්වාගන්න මහමොළකරු, ඒ වගේ හොරකම් වලට පුරුදු ඉතිහාසයක් තියෙන තවත් අට දෙනෙක් එකතු කරගෙන සුපිරි ප්ලෑන් එකක් ගහල ස්පාඤ්ඤයෙ රෝයල් මින්ට් ආයතනය මංකොල්ල කන එක. මංකොල්ල කනවා කිව්වට ඇත්තටම එයාල කරන්නෙ ඒක ඇතුලට පැනල එයාලට ඕන සල්ලි එයාලම අච්චු ගහගන්න එක. පළවෙනි කතන්දරේ තනිකරම යන්නෙ ඔය මංකොල්ලය. දෙවෙනි කතාව යන්නේ මේ සෙට් එකම වෙනම අරමුණක් වෙනුවෙන් ස්පාඤ්ඤ බැංකුවේ අධි ආරක්ෂිත සේප්පුවක තැන්පත් කරල තියෙන රත්තරන් මංකොල්ල කන එක ගැන. ඒකනම් තවම බාගයයි විකාශය වෙලා තියෙන්නෙ.
කතාව ගැන තියෙන හොඳම විස්තරේ ඕක නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දන්න ඕනෑම චිත්‍රපටියක්, ටෙලි නාට්‍යයක් රූගත කිරීම් පටන් ගන්න කලින් ඒ කතාවට අදාළ තිර පිටපත ලියල ඉන්නවනෙ. හැබැයි මේ කතාව වෙනස්. මේකේ කතාව ලියවෙන්නෙත් ශූටින් යන අතරෙමයි. කතාව යන විදිහට වෙනස් කරලා ලියාගන්න ඒක පහසුවක් වුණා කියල තමා කණ්ඩායමේ කට්ටියනම් කියන්නෙ.
5. චරිතවල අමුතු නම්
සාමාන්‍ය කතාවකට වඩා වෙනස් අමුතු නම් සෙට් එකක් තමයි මේකෙ චරිතවලට තියෙන්නෙ. ඒ ලෝකයේ සුප්‍රසිද්ධ නගරවල නම්. කතාව ඇතුලෙදි, මංකොල්ලයේදි සෙට් එකේ නම් හඳුනාගන්න බැරිවෙන්න තමයි මේ නගරවල නම් වලින් කට්ටිය හඳුන්වාගන්නෙ.
කතාමාලාව බලද්දි අපිට මුලින්ම පෙන්නන චරිතේ වගේම මුලින්ම මේ නගරෙක නමක් වැටිලා තියෙන්නෙත් Tokyo කියන චරිතෙට. මේක කලින් ප්ලෑන් කරලා කරපු වැඩක් වගේ පෙනුනට සිද්ධ වෙලා තියෙන්නෙ හරිම අහඹු සිදුවීමක් විදිහට. කතාව නිර්මාණය කරපු Alex Pina දවසක් සෙට් එකට එද්දී ඇඳගෙන ආපු Tokyo කියල ප්‍රින්ට් කරපු T-shirt එකක් නිසා තමයි අධ්‍යක්ෂක Jesus Colmenar ට මේ ටෝකියෝ කියන නමට කැමැත්තක් ඇතිවෙන්නෙ.
6. නළු නිලි සෙට් එක
අනිත් දේවල් වගේම තමයි මේ කතාවේ නළු නිලි සෙට් එකත් කතාවට නියමෙටම ගැලපෙන්න තෝරාගෙන තියෙනවා. කතාවේ මුල්ම ප්ලෑනින් ස්ටේජ් එකේදී Professorගෙ චරිතය කරන්න අවුරුදු 50 ගණන්වලත් මැද ඉන්න කෙනෙක්ව තමයි යෝජනා වෙන්නෙ. ඒත් ටිකක් දුරට යනකොට ඊට වඩා තරුණ නළුවෙක් කෙරෙහි මෙයාලගේ අවධානය යොමු වෙනවා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට තමයි Alvarto Morte මේ Professor ගෙ චරිතයට තෝරා ගැනෙන්නෙ. හැබැයි ලේසියෙන්ම නෙමයි. මාස දෙකහමාරක් තිස්සේ auditions 5කට පෙනී ඉඳලා තමයි ඔහුව මේ චරිතයට තෝරා ගැනෙන්නෙ. ඒ වගේම තමයි ටෝකියෝ කියන චරිතෙත්. ඊට වඩා ටිකක් වයස නිලියකගෙන් කරවන්න තිබුන චරිතයක්. ඒ වගේම අනිත් ඔක්කොම චරිතත් බොහොම පරිස්සමට කාලය අරන් කරපු තෝරාගැනීම්.
කොහොමහරි කලින් ඒ තරම් ජනප්‍රියත්වයක් නොතිබුන මේ කතාවට සම්බන්ධ නළු නිලියන්ට පවා එයාලගෙ Instagram accounts හරහා මිලියන ගණන් රසික රසිකාවියෝ එකතු වෙන්න මේ කතාමාලාව හේතුවක් උණා. කොටින්ම එයාලගෙ මුහුණු tattoos විදිහට තමන්ගේ ඇඟේ ගහගන්න පවා මිනිස්සු පෙළඹුනා.
7. Dali මුහුණ සහ Bella Ciao ගීතය
කතාවටම අවේණික තව ලක්ෂණයක් තමයි මේ මංකොල්ලයට පාවිච්චි කරන ඩලී වෙස්මුහුණ සහ රතු පාට ඇඳුම. මේ වෙස්මුහුණ ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පී Salvador Dali ගෙ මුහුණ. ඒකයි ඒකට Dali Face කියන්නෙ. ඉතින් ඇයි මේකට Dali ගෙ මුහුණම කියල හිතෙන්න පුළුවන්නෙ. Dali කියන්නෙ නූතන ධනවාදී සමාජය ප්‍රතික්ෂේප කරමින් නිර්මාණ කරපු කලාකරුවෙක්. කතාමාලාවේ ශෛලිය ගත්තමත් හොරු උණත් ඔවුන්ට ඕන වෙන්නෙ මේ මුදල් ජනතාව අතරට ගෙනියන්නයි.
ඊළඟ එක තමයි මේ Bella Ciao කියන ගීතය. මේක ඉතාලි භාෂාවෙන් ගායනා වෙන ගීතයක්. මේ ගීතයත් දෙවන ලෝක යුද්ධ කාලෙදි ධනවාදී ඒකාධිපතීත්වයට විරුද්ධ විරෝධතා වලදී භාවිතා කෙරුණු ප්‍රසිද්ධ ගීතයක්. ඉතින් ඒකත් කතාවට ලස්සනට ගැලපිලා තියෙනවා වගේම මේ කතාව නිසාම තව සෑහෙන්න ජනතාව අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා.
Leave a Reply