ධනවතුන්ට, වංශවතුන්ට සෙවන දුන් ලංකාවේ සුප්‍රකට මන්දිර

රේන්ද ව්‍යාපාරය, මිනිරන් ව්‍යාපාරය වගේ ව්‍යාපාර එක්ක ලංකාවේ අලුත් දේශීය ධනවත් පැලැන්තියක් බිහි වුණා. මේ අය තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන්න සුවිශාල මන්දිර ගොඩ නගන්න පටන් ගත්තා. පානදුරේ ඉඳන් කොළඹ දක්වා මේ මන්දිර පිහිටලා තිබ්බා. ඊට අමතරව විවිධ ප්‍රදේශවල, ඔවුන්ගේ  මුල් බිම්වලත් තවත් මන්දිර ගොඩ නැගෙන්න පටන් ගත්තා. බොහෝ මන්දිර දෙවන සහ තෙවෙනි පරම්පරාවලට යද්දි විකුණා දැමීම නිසා නව අයිතිකරුවන් විසින් ඒ මන්දිර කඩා ඉවත් කරලා ඒ බිම් කඩවල්වල අලුත් නිවාස ඉදි කිරීම සිද්ධ වුණා. අපේ මේ අද සටහන ලංකාවේ තවමත් ඉතිරිවෙලා තියෙන මන්දිර කිහිපයක් ගැන

 

1. සයිෆි විලා

වර්තමානයේ කුමාරතුංග මුනිදාස මාවත විදිහට හැඳින්වෙන තර්ස්ටන් මාවතට තුම්මුල්ල හන්දිය පැත්තෙන් පිවිසෙද්දි වම් අත පැත්තේ මේ සුවිශාල මන්දිරය පිහිටා තිබෙනවා. අතීතයේදී මෙම මන්දිරය හඳුන්වා තිබෙන්නේ ලක්ෂ්මී ගිරි නමින්. ලංකාවේ සුප්‍රකට දානපතියෙකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා ගේ පුත්‍රයකු විසින් මේ මන්දිරය ඉදි කොට තිබෙනවා. පසුව ඔහු විසින් සිදු කරමින් පැවැති ව්‍යාපාර පාඩු ලැබීමත් සමඟම තවත් සුප්‍රකට බෝරා ජාතික ව්‍යාපාරික පවුලක් වන ලුක්මන්ජි පවුලට මෙම මන්දිරය විකුණා දමා තිබෙනවා. එතැන් පටන් මෙම මන්දිරය සායිෆි විලා ලෙස හැඳින්වෙනවා.

 

2. ටින්ටගෙල් මන්දිරය 

රොස්මිඩ් ප්ලේස් කිව්වම අපිට එක පාරටම මතක් වෙන්නෙ බණ්ඩාරනායකවරුන්ව. ඒකට හේතුව තමයි බණ්ඩාරනායකවරු රොස්මිඩ් පෙදෙසේ පදිංචිව සිටීම. හැබැයි ලංකාවේ බොහෝ දෙනෙක් රොස්මිඩ් පෙදෙසේ ඔවුන් පදිංචි වෙලා හිටියේ කොහෙද කියන එක ගැන දන්නේ නැහැ. ඔවුන් තමන්ගේ නිවස විදිහට භාවිතා කරේ ටින්ටගෙල් මන්දිරය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සිද්ධ වෙන්නෙත් මේ මන්දිරය තුළ දීමයි. අද වෙනකොට නම් මේ මන්දිරයේ අයිතිය බණ්ඩාරනායකවරුන්ට නැහැ. අද වෙනකොට මේ මන්දිරය හෝටලයක් බවට පත් වී තිබෙනවා.

 

3. රෙජිනා වලව්ව 

සොයිසා පවුලේ තවත් සාමාජිකයෙකු විසින් ඉදිකරන ලද මේ මන්දිරය අද වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරය විදිහට භාවිතා කෙරෙනවා. චාල්ස් හෙන්රි ද සොයිසා ගේ තවත් පුත්‍රයෙකු වූ තෝමස් හෙන්රි ආතර් ද සොයිසා විසින් තමන්ගේ වාසය සඳහා මෙම මන්දිරය ඉදිකර තිබූ අතර ඒ සඳහා ඔහු තමන්ගේ බිරිඳ වූ රෙජිනා ගේ නම තබා තිබෙනවා. නමුත් අවාසනාවකට වගේ මෙම මන්දිරය නිම කිරීමට කලින් රෙජිනා මිය යෑම නිසා ඔහු විසින් මෙම මන්දිරය විකුණා දමා තිබෙනවා.

 

4. රිච්මන්ඩ් කාසල්

ලංකාවේ ජනතාව අතර විශේෂයෙන්ම අන්තර්ජාලය පරිශීලනය කරන පිරිස අතර ජනප්‍රිය මන්දිරයක් විදිහට රිච්මන්ඩ් කාසල් මන්දිරය හඳුන්වන්න පුළුවන්. ඒකට එක හේතුවක් වෙන්නේ මේ මන්දිරය හා බැඳුණු කණගාටුදායක කතා පුවත. දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලිතුමා විසින් නිර්මාණය කරන ලද මේ වලව්ව ඉන්දියාවේ මහරාජා කෙනෙකුගේ මාලිගාවේ සැලැස්මකට අනුව නිර්මාණය කරන ලද්දක් බව පැවසෙනවා. ඔහුගේ විවාහයෙන් දරුවන් නොලැබීම නිසා ඒ විවාහයත් කටු ගාලා මේ මන්දිරය මහා භාරකාරයාට පැවරීම මුදලිතුමා විසින් සිද්ධ කරලා තියනවා.

 

5. ගම්පහ අග්‍රා වලව්ව 

ගාමිණී ෆොන්සේකා මහතාගේ “පරසතු මල්” චිත්‍රපටිය බැලුවනම් ඔබට මේ මන්දිරය කවදාවත් අමතක වෙන්න විදිහක් නැහැ. මේ චිත්‍රපටියේ රූගත කිරීම් සිද්ධ වෙන්නේ මේ වලව්ව තුළ දී. ගම්පහ ප්‍රදේශයේ වාසය කළ සුප්‍රකට සමාජ සේවකයෙකු සහ වැවිලිකරුවකු වූ ඩී. ඩී කරුණාරත්න මහතා විසින් මෙම වලව්ව නිර්මාණය කළ අතර පසුව ඔහු විසින් මෙම වලව්වේ උරුමය තම දියණියට පවරා තිබුණා. පසුව ඇය උරුම කාරයකු නොමැතිව මිය යාමත් එක්ක රජයට පවරා ගැනුණු මේ වලව්ව අද වෙනකොට භාවිතා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විදිහට.

 

6. හොරගොල්ල වලව්ව 

හොරගොල්ල වලව්ව වතු යාය තුළ මන්දිර දෙකක් පවතිනවා. එක මන්දිරයක් තමයි අපි හැමෝම හොරගොල්ල වලව්ව කියලා හඳුන්වන මන්දිරය. මේ වලව්ව ඉදිකරන්න කළින් බණ්ඩාරනායකවරු ජීවත් වෙච්ච මන්දිරයත් මේ පරිශ්‍රය තුළම පිහිටා තිබෙනවා. නව වලව්ව සෑදීමත් එක්ක ඒ පැරණි මන්දිරය අශ්ව ඉස්තාලයක් විදිහට භාවිතා කරලා තියනවා. අද වෙනකොට මේ මන්දිරය ප්‍රතිසංස්කරණය කරලා සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය තමන්ගේ නිවස විදිහට භාවිතා කරනවා. නව හොරගොල්ල වලව්වේ හිමිකාරීත්වය අද වෙනකොට අයිති වෙලා තියෙන්නේ විමුක්ති කුමාරතුංගට.

 

7. මඩුවන්වෙල වලව්ව 

උඩරට රදළයන් ගෙවපු ප්‍රතාපවත් ජීවිතය පෙන්වන සුවිශේෂී නිර්මාණයක් විදිහට මඩුවන්වෙල වලව්ව හඳුන්වන්න පුළුවන්. අදත් ඒ ශ්‍රී විභූතිය යම් තාක් දුරකට දැකගන්න පුළුවන්. අතීතයේ දී වලව්වේ රන්කොත් තිබූ බවටත් ජනප්‍රවාදයේ පැවසෙනවා. නමුත් අද වෙන කොට නම් එවැනි මූල්‍යමය වශයෙන් වටිනා කියන දේවල් වලව්ව තුළ දැකගන්න වෙන්නේ නැහැ. මඩුවන්වෙල දිසාවගේ මරණයෙන් පසුව ඔහුගේ උරුමක්කාරයා වුණු ආබාධිත දියණියට වංචා කරමින් මේ වලව්ව සතු ධනය කොල්ල කෑමට ලංකාවේ සුප්‍රකට දේශපාලනඥයෙක්  කටයුතු කළ බව පැවසෙනවා.

 

මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තවත් මන්දිර සහ වලව් දිවයින පුරා ම විසිරී පවතිනවා.  ඒවා ගැන කමෙන්ට් එකකින් අපිව දැනුවත් කරන්න ඔබට පුළුවන්. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *