ලොකු ඉඩමක් අරන් වගා කරද්දි මූණ දෙන්න වෙන අභියෝග…

“මේ කරදර කිසි එකක් නෑනේ. මම ඉඩමක් අරං වගාකරනවා වයසට යද්දි” කියලා ගොඩක් අය හිතාන ඉන්නවා. ඒ කිව්වත් වගේ එයාලගේ අනාගතයේ එක අදහසක් තමයි හොඳ ඉඩමක් අරං වගා කරන එක. විවිධ ආකාරයේ සක්සස් ස්ටෝරි කිහිපයක් හිතේ තියං ඉන්න ඒ යාලුවෝ සල්ලි ටිකක් අරන් ගමකට ගිහින් ඉඩමක් අරන් වගා කිරීම මාරම විකල්පයක් විදිහට දකිනවා. එහෙම කරලා ජයගත් අයත් ඉන්නවා. ස්ට්‍රෙස් අඩුවෙන් හරිම සරල විදිහට ජීවත්වෙන්න ක්‍රමයක් තමයි වගාව. ඒකෙත් සම්පූර්ණම නැතත් සැලකිය යුතු ඇත්තක් තියෙනවා. ඉතින් අපි බලමු මේ විදිහට ලොකු ඉඩමක් අරං වගාකරන්න හිතන අයට එන ප්‍රශ්න මොනවාද කියලා. 

 

1. සිස්ටම් ප්‍රශ්න 

තේ වගාවට අලුතින් අත ගහනවා කියන්නේ දන්නේ නැති ලෝකෙකට අලුතින් ගොඩ බැස්සා වගේ වැඩක්. තේ වගාවේ බොහෝ දේවල් රජයේ තේ මණ්ඩලය මගින් නියාමනය වෙනවා. විශාල තේ වත්තක් මිලට ගත් පමණින් වෙනත් වගාවක් කරනවා වගේ තේ වත්තක් පාලනය කරන්න බැහැ. ඒකට අදාළ පද්ධතියට අනුකූලව අපිට හැඩගැහෙන්න බැරි වුණොත් අපි තේ වත්තෙන් ඈත් වෙනවා. සමහර කාල වල තේ වගාව එපා වෙච්චි කට්ටිය තේ වතු අඩු මිලට විකුණන්න දානවා. ඒත් ඒ තේ වතු කියන්නේ හිතන තරම් ලේසි විසඳුමක් නෙමෙයි. තේ වත්තක පරිපාලනයේදී තේ වල කොලිටි එක, තේ වත්තේ ඉන්න ජනතාවගේ තත්ත්වයත් බලන්නට සිද්ධ වෙනවා. ඒ නිසා වගාවක් වුන පලියට සමහර සංකීර්ණ වගා වලට ඒ වගාවන් ගැන හරිහමන් පලපුරුද්ද නැති පිරිසක් එක්ක සම්බන්ධ වෙන එකේ අවදානමක් තියෙනවා. 

 

2. පළපුරුදු සේවකයින් 

තේ වගාව ගත්තොත් ඒ සඳහා තේ දළු කඩන්න පිරිස් ඕනි වෙනවා. ගස් කප්පාදු කරන පිරිස් උවමනා වෙනවා. පොල් වගාව නම් පොල් වගාවට සාත්තු කරන්න සහ පොල් කඩන්න පිරිස් උවමනා වෙනවා, රබර් වගාව නම් රබර් කිරි කපන්න උවමනා වෙනවා. වැඩිදුර නොගොස් වැටකොළු වගාවක් දානවා වුනත් එයට මැහි සකසන්න, අස්වනු නෙලන්න පිරිස් උවමනා වෙනවා. මේ පිරිස් වල වියදම ලේසි නැහැ. දැන් මට්ටමින් බැලුවොත් ඇතැම් පළාත්වල දිනක් වැඩකරන කම්කරු මහතෙක්ට රුපියල් 2000කටත් වඩා වැඩි ගාණක් ගෙවන්න සිදුවෙනවා. ඒ අනුව පළපුරුදු සේවකයින් ගේ මිල සලකා බැලීමත් අලුත් වගාවකට සිත යෙදීමට පෙර සලකා බැලීමට වැදගත් වෙනවා. 

 

3. වෙළඳපොල 

වෙළඳපොල කිව්වාම ඒකේ වර්ග ගණනාවක් තියෙනවා. පොල් විකුණන ක්‍රමයට නෙමෙයි එළවළු විකුණන්නේ. ලෝකයේ විශිෂ්ඨ තාක්ෂණික ක්‍රම වලට වගා කළත් අපිට විකුණන්න වෙන්නේ එකම මාකට් එකකට. එයින් විදේශ වෙළඳපොල ඉලක්ක කරනවානම් තත්ත්වය තවත් සීරියස් වෙනවා. මේ වෙළඳපොල ගැන කියද්දි ඒක හැමදාම සමාන වෙන්නෙ නැහැ. අපි හිතමු කොමඩු සහ වට්ටක්කා වගා කරනවා කියලා. කොමඩු, වට්ටක්කා, පිපිඤ්ඤා කියන්නේ සාමාන්‍යයෙන් මිල අඩු ආහාර බෝග. ඉතින් ඒවා ඒ වුනත් ඉඳලා හිටලා මිල යනවා. ඇරත් සමහර වෙලාවට වාර්තාගත අස්වනු මේ වගාවන් වලින් ලැබෙනවා. ඒ අනුව අපි වවන්න ඉන්න බෝගයේ අස්වනු සහ ඒවායේ මිල ගැන සලකා බැලීමත් වගාකරන්න හිතන කෙනෙකුට වැදගත් වෙනවා. 

 

4. ජලය සහ පහසුකම් 

ඇමරිකාවේ තියෙන්නේ අක්කර සිය ගණන් වෙන විශාල වගා බිම්. අපේ රට පොඩි නිසා බොහෝවිට හමුවෙන්නේ කුඩා වගා බිම්. මේ වගාබිම් වලට ජලය සැපයීම ලේසි නැහැ. ජලය සපයන්න තරම් සවිමත් වාර්මාර්ග ඇති උතුරු මැද, නැගෙනහිර වගේ ලංකාවේ පළාත් වල බෝග වගාවන්ට ජලය සම්පාදනය කරන්න පුළුවන්. ඒත් හැම ගොවියාටම ඒ පහසුව නැහැ. ඒ වගේම ඇතැම් දුෂ්කර පළාත්වලට ප්‍රවාහන පහසුකම් අඩුයි. එතකොට කොහොමත් වගාවන් කරා කෘෂි උපකරණ, කෘෂි රසායන ආදී දේවල් ගෙනියන්නට අපහසු වෙනවා. 

 

5. ලාභ ලැබීම 

ලාභය ගැන කියද්දි අපේ සල්ලි ටිකක් ස්ථිර තැන්පතු ගිණුමක ඔහේ තිබුනත් ඒ මුදල් වලින් පොලියක් එනවා. ඒත් ඊට වඩා වැඩි මිලක්, වැඩි ආදායමක් බලාගෙන තමයි අපි බොහෝ දෙනා වගාවට බහින්නේ. ඒත් අපිට කලින් ගොවිතැන් වැඩට බැස්ස අයටත් අපි එක්කම මේ කාලේ ගොවිතැන් වැඩ කරන අයටත් ලොකුවට ලාභ ලැබෙන්නේ නැතිනම්? එතනදි අපිට නැවත සිතා බලන්නට වෙනවා. අපි ළඟ ලක්ෂ 10ක් තිබෙනවා නම් එය ආයෝජනය කළ හැකි විවිධ ක්‍රම තියෙනවා. එයින් අපි බලාපොරොත්තු වෙන වගා පැත්තේ ආයෝජනය කරලා ඒ අනික් අය කියන ලාභ ගන්න හැකිද? ඒක හිතන්න වටින දෙයක්. 

 

6. දේශපාලන බලපෑම් 

අපි දියුණුවෙනවාට ගොඩක් අය කැමති නැහැ. අපි හිතමු අපි දුෂ්කර පැත්තක අක්කර දහයක විස්සක ලොකු ඉඩමක් අරන් වගාකරනවා කියලා. එතනදී අපි කැමති වුනත් ඒ ගම්වල අපේ මහාපරිමාණ වගාවට අකමැති පිරිස් ඉන්නවා. මේ අය හැමතිස්සේම දුබල නැහැ. ඇතැම් විට අපේ වගාවන්ට තර්ජනය කරන, බාධා කරන දේශපාලන ව්‍යාපාරික අත් තියෙනවා. ෆිල්ම් වල නම් ඒ වගේ ව්‍යාපාරික මාෆියා, දේශපාලන හස්තයන් පරදා නියම ජයග්‍රහණය අදාළ අයට ලැබෙනවා. ඒත් අපි ඉන්නේ ෆිල්ම් එකක නෙමෙයි, සැබෑ ජීවිතයේ. එතැනදි අපිට දේශපාලන සහ ව්‍යාපාරික ධාරාවලින් අපේ අලුත් ව්‍යාපාර වපසරියට එල්ල වෙන්න තියෙන බාධා හඳුනාගැනීම වැදගත් වෙනවා. 

 

7. දැනුම 

පොල් වගා කරන විදිහට නෙමෙයි රබර් හිටවන්නේ, ඒ දෙකම හිටවන විදිහට නෙමෙයි වට්ටක්කා හිටවන්නේ. කෙසෙල් වගා කරන විදිහ තවත් වෙනස්. ඒ වගේ එක එක වගාවන් අනුව පාවිච්චි කරන තාක්ෂණය වෙනස් වෙනවා. ඒ වගේම එළවළු වගාව පමණක් ගත්තා වුනත් ලංකාවෙ එළවළු නිපදවන ක්‍රම වලට වඩා ඉතාම කාර්යක්ෂම බීජ සහ වගා ක්‍රම අද වෙනවිට ලෝකය විසින් අපිට හඳුන්වා දීලා තියෙනවා. ඒ අනුව ඕනෑම වගා ක්ෂේත්‍රයක් ගැන බැලීමේදි ඒ වගාවන් ගැන දැනුම වඩා වැදගත් තැනක් ගන්නවා. නිකම්ම වැඩකරන කම්කරුවන් පිරිසක් ලබාගැනීමෙන් පමණක් අපිට අලුත් වගාවක් සාර්ථක කරගන්න බැහැ. ඒ සඳහා අලුත් දැනුම උවමනා කරනවා. 

 

ගොඩක් ලේසි දේවලට අපි නිතැතින්ම පෙම් බඳිනවා. ඒ නිසා අපි කඩේ තියෙන වඩාත් සරලව කන්න පුළුවන් කේක්, බිස්කට්, නූඩ්ල්ස් වගේ දේවලට වඩාත් පෙම් කරනවා. අලුතින් ඉඩමක් අරන් වගා කිරීමත් එහෙමයි. හැමෝම හිතන සාමාන්‍ය ක්‍රමවලට ගියොත් අපිටත් අනෙක් බොහෝ දෙනාට වගේ අසාර්ථක වෙන්න වෙනවා. ඒත් හොඳට ඒ ගැන අධ්‍යනය කරලා ගියොත්… ඒක අපේ මො​ළයට වගේම අපේ ආර්ථිකයටත් වැදගත් වෙනවා. ඉතින් වයසට ගිහින් ඉඩමක් අරන් වගාකරන්න ඉන්නවා නම් අපි මේ කරුණු ගැනත් අලුතින් සලකා බලමු නේද? 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *