ගෙදර රෙදිපිළි යුද්ධේ දිනන්න අපෙන් ටිප්ස්!

ඔන්න වැස්ස දවස් එනව නේද? පායනකොට අව්වට බැන්නට දැන් තමයි ඉරේ අගේ තේරෙන්නෙ. හෝදපු රෙද්දක් වේලගන්න බැරුව, ගෙදර හැම පුටුවක් උඩම රෙදි ගොඩගැහෙන කාලෙ පටන් ගත්ත ඉතින්. මේ රෙදි කියන්නෙත් අඳිනකොට ලස්සන උනාට පුදුමාකාර වදයක් එකවෙලාවකට. හෝදන්න, නවන්න, මදින්න කිය කියා පුදුමාකාර වැඩ ගොඩක්නෙ. හෝදනකොට පාට යනවා, අව්වට පාට පිච්චෙනවා, මදිනකොට තවත් ප්‍රශ්න, ඒ මදිවට මේ ඔක්කොටම යන වෙලාව, මහන්සිය, ඔක්කොම කරගත්තත් මේ වගේ අව්ව අඩු කාලෙක වේලගන්න කරදරය. ඇත්තටම හිසරදයක්. ඔය ඔක්කොම ටික අවුල් ජාලයක් වෙන්නෙ නැතුව කරගෙන, රෙදිත් පරිස්සම් කරගෙන, කාලෙත් ඉතුරු කරගන්න පුළුවන් පොඩි පොඩි ටිප්ස් ටිකක් ගැන කතා කරමුද?  

 

 

1. මැෂින් එකෙන්ද අතින්ද?

වොෂින් මැෂින් එකක් කියන්නෙ ඇත්තටම ගෙදර දාහකුත් එකක් වැඩ කරන ගෘහණියන්ගෙ වැඩ බාගෙට බාගයක්ම පහසු කරන පුදුමාකාර මෙවලමක්. අතින් රෙදි හෝදලම ඒකෙ අමාරුව දන්න ඕනම කෙනෙක් මේ කතාව බොරුයි කියන්නෙ නැහැ. සැමියයි බිරිඳයි දෙන්නම රැකියාවල් කරන හුඟක් ගෙවල් වල කාලය හිඟකම නිසාම ඔක්කොම රෙදි සතිඅන්තේ මේ මැෂින් එකේ පිහිටෙන් තමා හේදෙන්නෙ. ඒ උනාට ඒක ඇත්තටම රෙදි වලට එච්චර හිතකර වැඩක්නම් නෙමෙයි. සමහර ඇඳුම් තියෙනව අතේ හෝදන්නම ඕන. ඒකෙ තියෙන එක එක බොත්තම් වගේ සුකුරුත්තන් වලට මැෂින් එකේ තදින් ඇතිල්ලීමෙන් හානි වෙන්න පුළුවන් නිසා. එහෙමත් නැත්තම් ඒ රෙද්ද මහල තියෙන ෆැබ්රික් එක නිසා. ඉතින් කොයි හේදිල්ලටත් කලින් අතේ හෝදන්න ඕන රෙදි තෝරල ඒ ටික  කොච්චර අමාරු උනත් අතේම හේදුවෙ නැත්තම් ඇඳුම් වලට වියදම් කරන සල්ලි නිකන් අපරාදෙ කියල තමයි කියන්න වෙන්නෙ.

 

 

2. ඩිටර්ජන්ට් වර්ගය

වොෂින් මැෂින් එකක රෙදි හෝදනවානම් අනිවාර්යෙන්ම දියර හරි නැත්තම් කුඩු හරි ඩිටර්ජන්ට් වර්ගයක් පාවිච්චි කරන්නම වෙනවනෙ. හැබැයි අතේ හෝදද්දි නම් සබන් කියන ඔප්ෂන් එකත් තියෙනව. ඒත් ඉතින් රෙදිවල සබන් ගගා ඉන්නව කියන්නෙ තවත් එපාකරපු වැඩක්. ඒ නිසා හුඟක් දෙනෙක් සෝදන කුඩු කියන ක්‍රමය තමා තෝරගන්නෙ. හැබැයි මේ ගැනත් ටිකක් හිතල බලන්න ඕන තෝරගැනීමට කලින්. සමහර ඩිටර්ජන්ට් වර්ග ගොඩක් සැරයි. තද පැල්ලම් ඉවත් කරන්න කිය කියා එක එක කෙමිකල්ස් දාල හදලා ලෝකෙ නැති ඇඩ් දාලා විකිණුවට ඒ සැර නිසාම ඇඳුම් වල පැහැය ඉක්මනින්ම අවපැහැ වෙන්න පුළුවන්. 

ඒ වගේම අතේ රෙදි හෝදනකොට ඒ සෝදන කුඩු වර්ගවල සැරට අත්වල හමයනව වගේ ගැටළු ඇතිවෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ සැර නිසා හෝදල අඳින රෙදි වලින් සමේ එක එක අසාත්මිකතා ඇතිවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම යට ඇඳුම් වගේ දේවල් සැර ඩිටර්ජන්ට් වර්ග නොදා සැර අඩු බේබි සබන් වගේ වර්ගයක් ගාලා අතේ හෝදන එක තමයි සුදුසු.

 

 

3. ඇඳුමේ ටැග් එක කියවන්න

රෙදි කඳු හෝදන්න කලින් අපි වැඩිදෙනෙක් නොකරන, ඒත් කරන්නම ඕන වැඩක් තමයි මේක. සාමාන්‍ය හොඳ කොලිටි එකක ඕනෑම ඇඳුමක ඒ ඇඳුමට අදාළ ටැග් එකක් තියෙනවා. ඇත්තටම ඒ ටැග් එක බෙල්ලෙ ගෑවිලා අපිට මහා කරදරයක් උනාට ටැග් එකක් හයි කරන එක කරන්නෙ අරමුණක් ඇතිව. ඒ ටැග් එක කියවල බැලුවොත් ඒකෙ පැහැදිලිව කියල තියෙනවා ඒ ඇඳුම හෝදන්න, වේලන්න, මදින්න ඕන විදිහ. ඇඳුම මහල තියෙන රෙදි වර්ගය අනුව ඒවා ඩ්‍රයි ක්ලීන් කරන්න මිසක් සාමාන්‍ය ක්‍රමයට හෝදන්න බැහැ. ඒ වගේ කරුණු ටැග් එක කියවලා බලල හොඳට තේරුම් අරන් තමා ඇඳුම් හෝදන්න ඕන. 

 

 

 4. හෝදන ඇඳුම් වෙන් කිරීම

මේකත් ටිකක් වැඩ ලේසි වෙන ටිප් එකක්. අපි දැන් මෙච්චර වෙලා කතා කළානෙ ඇඳුම් හෝදන්න කලින් වෙන් කරන හැටි ගැන. මේ කියන්න යන්නෙ හෝදල ඉවර වෙලා වෙන්කරන හැටි. ඒ මොකටද කියල හිතෙයි නේද? ඇඳුම් ඔක්කොම හෝදලා වේලලා ගෙට ගත්ත ගමන් ගෙදර ඉන්න පොඩිම කට්ටිය ඇරුනම අනිත් හැමෝගෙම රෙදි වෙන වෙනම එයාලටම වෙන් කරපු බින් එකකට දාන්න. දාල එයාලගෙ කාමර වලින්ම තියන්න. පොඩි ළමයින්ටත් පොඩි කාලෙ ඉඳන්ම පුරුදු කරන්න එහෙම ගෙනත් තියෙන රෙදි නවලා අල්මාරියෙ දාගන්න. එතකොට අම්මගෙ වැඩ ලේසි වෙනවා. 

 

 

5. ඩෙනිම්

රෙදි යුද්ධේ අතරේ අමාරුම වැඩක් තමා මේ ඩෙනිම් හේදිල්ල. ගෙදර ගැහැණු පිරිමි දෙගොල්ලොම අඳින නිසා හෝදන්න ඩෙනිම් මහා තොගයක් එකතුවෙනවත් එක්ක. ඒ නිසා හැමෝම ලේසියට ඩෙනිම් තොගේම එකතු කරල වොෂින් මැෂින් එකට දාන එක තමයි ඉතින් කරන්නෙ. ඒකටනම් කමක් නැහැ. ඒත් ඩෙනිම් කියන්නෙත් ලේසියෙන් ෆේඩ් වෙන්න බලන, දෙතුන් පාරක් හේදුවම අර ලස්සන පාට නැතිවෙලා මහා පරණ ඇදුණු පාටක් එන ඇඳුමක්. ඒත් ඩෙනිමකට වියදම් කරන මුදලත් එක්ක කොච්චර අපරාදයක්ද ඉක්මනින්ම ෆේඩ් වෙන එක. ඒකට විසඳුමක් තමයි මේ. 

ඩෙනිම් හෝදන්න දානකොට කණපිට හරවලා මැෂින් එකට දාන්න. එකකට එකක් ඇතිල්ලිලා පාට අඩුවෙන එක මේකෙන් වලක්වා ගන්න පුළුවන්. ඒ වගේම වතුරේ උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් මැෂින් එකක්නම් සීතල වතුරෙන් ඩෙනිම් හෝදන්න. වේලනකොටත් කණපිටම දාලා අඩු රස්නේ තැනක වේලන්න. ඩෙනිමේ හැඩයයි, පැහැයයි දෙකම පරිස්සම් කරගන්න පුළුවන්.  

 

 

6. විනාකිරි සාස්තරේ

මේකත් ඇඳුම් වල පාට රැකගන්න විදිහක්. ඇඳුම් හෝදන්න දානකොට ඒ වතුරටම විනාකිරි මූඩියකින් එකක් විතර එකතු කරන්න. මේකෙන් ඇඳුම් වල පාට අඩුනොවී තියාගන්න පුළුවන් වගේම සුදු ඇඳුම් වල පාට කහ ගැහෙන්නෙ නැතුව තියාගන්නත් පුළුවන්. ඇඳුම් විනාකිරි ගඳ ගහයි කියලා බයවෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. සැකයිම වගේනම් අන්තිමට ෆැබ්රික් කන්ඩිෂනර් ටිකක් එකතු කරගන්න.  

 

 

7. ඇඳුම් වේලීම

ඇඳුම් වේලන එකත් හිසරදයක්. මේ වගේ අව්ව අඩු කාලෙකදි විශේෂයෙන්ම. අතින් හෝදනවනම් ඉතින් අව්වේ හෝ හුළඟින් වේලන එක තමා එකම විසඳුම. හැබැයි මැෂින් එකෙන් හෝදනවනම් අව්ව වැඩි රස්නේ කාලයක්නම් පුරුද්දට මැෂින් එකෙන්ම රෙදි වේලෙන ස්පින් ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න එපා. ඒකෙන් පොඩිම හරි විදුලියක් ඉතිරි කරගන්න පුළුවන්. අනික තෙත ගතිය තියෙද්දිම හොඳට ගසලා අව්වේ වැනුවම පොඩි වුණු ගතියත් අඩුයි. අයන් කරන්නත් ලේසියි. 

අව්ව අඩු කාලෙටනම් හේදිලා වේලිලා අන්තිමට ස්පින් ඔප්ෂන් එක විතරක් ආපහු එකපාරක් රන් කරන්න මැෂින් එකේ. එතකොට තව ටිකක් විතර තෙත ගතිය අඩු වෙනවා. ඊට පස්සේ හුළඟින් උනත් ඉක්මනට වේලාගන්න පුළුවන්.  

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *