දැන් ඔය ෆේස්බුක් එකේ නොයෙකුත් සංසද තියෙනවනේ. ඒ කිව්වේ ෆේස්බුක් සමූහ. ඒ කිව්වේ ෆේස්බුක් ගෘප්ස්. ඉස්සරත් ෆේස්බුක් ගෘප්ස් තිබ්බා. හැබැයි ගොඩක් තිබුණෙ නෑ. ඒත් දැන් ඉතින් සංසද ආයෙ වැස්සකට පස්සේ මතුවෙච්ච බිම්මල් වගේ තමයි. දැන් කාලේ කෝකටත් සංසද තියෙනවා. සාමාන්‍යයෙන් ඔය පොත් කියවන අය, ඌරු මස් සංසදය වගේ විවිධාකාරයේ පොදු විනෝදාංශ, කැමති දේවල් සඳහා හැදුණු ගෘප් වගේම 84 ඉපදුණු අය, 90 ඉපදුණු අය වගේ සමූහත්, විවිධ සමාගම් හෝ සේවා සඳහා හදාගත්තු සමූහත්, නිකම්ම ආතල් එකට හදාගත්තු සමූහත් හැරුණු කොට, තවත් සෑහෙන ෆේස්බුක් ගෘප් මේ අවකාශයේ තියෙනවා. සමහර ගෘප් බොහොම සීරියස් කරුණු කාරණා කතා කෙරෙන ඒවා. තවත් ගෘප්ස් ආතල් එකට හදාගත්තු, ආතල් ගන්න, ආතල් කතාබහට වෙන් වුණු ඒවා. ඒ වගේම දවසකට ගත්තත් ලංකාවේ විතරක් වුනත් අපිට අලුත් ගෘප් කීපයක්ම දකින්න ලැබෙනවා. හොඳම උදාහරණ තමයි ‘නැවත වැඩට යන්න කම්මැලියන්ගේ සංසදය’, ‘ජීවන් තොණ්ඩමන්ට පෙම් බඳින්නන්ගේ සංසදය’ වගේ එව්වා.
හැබැයි මේ මොන විදියේ සංසදයකට, මොන විදියේ සමූහයකට කෙනෙක් ගිහින් බැඳුනත්, පොදුවේ කොමන් සෙන්ස් පාවිච්චි කරලා හැසිරෙන්න ඕන විදි තියෙනවා. හැබැයි කණගාටුවට කාරණාව තමයි ගොඩක් දෙනෙක්ට පොදු සමූහයක හැසිරෙන්න ඒ විදියේ සාමාන්‍ය දැනීම නැති එක. කමක් නෑ. අඩුම ගාණේ මේ ආටිකල් එක කියවලා හරි සාමාන්‍ය දැනුම හැදුණොත්, ඒකත් එකක්නේ!
1. සමූහයේ නීති රීති
දැන් අපි මොකක් හරි රටකට ගියහම, අපිට ඕන ඕන විදියට ඉන්න බැහැනේ. අපිට ඉන්න වෙන්නේ ඒ රටේ නීති වලට අනුව. අන්න ඒ වගේ තමයි ඔය ෆේස්බුක් ගෘප් වුනත්. මුලින්ම ෆේස්බුක් සංසදේකට ගොඩවැදුණු ගමන් කරන්න ඕන දේ තමයි මොනවද ඒ අයගේ නීති රීති, උපදෙස් කියලා බලන එක. ඒ නීති රීති තමන්ට සෙට් වෙන්නෙ නෑ කියලා හිතෙනවා නම් ඒ සමූහයේ ඉන්න එපා. ඉන්න ඕන කියලා අනිවාර්ය නැහැනේ. හැබැයි අපිට අනිවාර්යයෙන්ම ඉන්න සිද්ධ වෙන ගෘප් එකක් නම්, ඒ කියන්නේ උදාහරණයක් විදියට ඉස්කෝලේ බැච් ගෘප් එක වගේ එකක් නම්, එතන අපිට අල්ලන්නේ නැති නීති රීති තියෙනවා නම්, ඒ ගැන සංවාදයක් ඇති කරලා ඒ නීති රීති වෙනස් කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕන.
හැබැයි එහෙම නැතුව මොකක් හරි සංසදේකට බැඳිලා, ඒකේ නීති අපිට සෙට් වෙන්නෙ නෑ කියලා නීති ගණන් නොගෙන අපිට ඕන ඕන ඒවා කරලා, අපිව ඒකෙන් දොට්ට දැම්මහම කනිපින්දං කියන්න එපා. තේරුමක් නෑ.
2. මීම්ස්!
දැන් කාලේ සමහරුන්ට මීම්ස් කියන්නේ ආගමක් වගේ. පුදුමාකාර විදියට මීම්ස් හැදෙනවා විතරක් නෙවෙයි, ඒ මීම්ස් ලෝකේ වටේ ෂෙයාර් වෙනවා. දැන් කාලේ පත්තර වල පවා මීම්ස් පළ වෙනවා. ඉතින් අපි කියන්නේ මීම්ස් වැරදියි කියලා නෙවෙයි. හැබැයි හොයන්නේ බලන්නේ නැතුව මීම් එකක් දැක්ක පලියට ෂෙයාර් කරන්න එපා කියලා තමයි අපි කියන්නේ. ඒකට හේතුව මේකයි. ඔය සමහර මීම්ස් නිකම්ම ෆන් දේවල් වෙනකොට, තවත් සමහර මීම්ස් හරිම ඔෆෙන්සිව්, එක් එක් අයගේ හිත් රිදවන සුළු ඒවා. එතකොට ඒ වගේ එව්වා පබ්ලික් ගෘප් එකක ෂෙයාර් කරන එක තමන්ටත් හොඳ නැහැ. දෙවෙනුව, ගෘප් එකක අන්තර්ගතයට ඔය ගොඩක් මීම්ස් අදාළ නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, පොත් ගැන විස්තර කතා කරන්න තියෙන ගෘප් එකකට කෝපි බිබී පොතක් කියවන මීම් එකක් දාන එක විකාරයි.
3. ප්‍රයිවට් චැට්/ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට්ස්
මෙන්න මේක ඉතාම වැදගත්. දැන් මොකක් හරි ගෘප් එකකට සෙට් වුණාට පස්සේ ඔතන ගැහැණු පිරිමි දෙගොල්ලම ඉන්නවා ගොඩක් වෙලාවට. සමහර වෙලාවට පිරිමි පිරිමි විතරක්, ගැහැණු ගැහැණු විතරක් ඉන්න ගෘප්ස් එහෙමත් තියෙනවා. කොහොම හරි ගෘප් එකේ පෝස්ට්ස්, කමෙන්ට්ස් එක්ක කෙනෙක්ව ටිකක් දුරට දැන හඳුනාගන්නකොට ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් එකක් යවන එක, චැට් එකට යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි දෙයියන්ගෙ නාමෙට එක ගෘප් එකේ හිටියත් නොදන්න මිනිස්සුන්ට රික්වෙස්ට් යවන්න එපා. නොදන්න මිනිස්සුන්ට චැට් මෙසේජ් යව යව වාත වෙන්නත් එපා.
4. බුලීන්ග්
මොකද්ද බුලීන්ග් කියන්නේ කියලා ගොඩක් අය බලයි. ඇත්තටම බුලී කරනවා කියන්නේ කෙනෙක්ට හිරිහැර කරන, වද දෙන, බල කරන, තර්ජනය කරන, බය කරන එකට. එතකොට ෆේස්බුක් එකේත් ඒවා කරන්න පුළුවන්ද? මොකද බැරි? කෙනෙක් දාපු පෝස්ට් එකකට ගිහින් හයිරන් පාට් දාන්න පුළුවන්. ගේම ඉල්ලන්න පුළුවන්. තමන්ගේ තව යාලුවෝ ගැන්සි පිටින් ගෙනැල්ලා බස්සලා පෝස්ට් අල කරන්න පුළුවන්.
හැබැයි මේ වගේ දේවල් කරන බුලී කෙනෙක් වුනා කියලා, කවුරුවත් තමන්ට ගරු කරන්නේ නැති බව මතක තියාගන්න ඕන. ඒ වගේම ඔය ගෘප් වල එහෙම හැසිරෙන අයට ගොඩක් කල් ගෘප් වල ආයුෂ නෑ කියලත් ඒ විදියටම මතක තියාගන්න ඕන.
5. නොදන්න දේ
අපි කිසිම කෙනෙක් සියල්ල දත් ලා නෙවෙයි නේ. මොකක් හරි විෂයක පරතෙරට ඉගෙනගෙන තියෙන මනුස්සයෙක් වුනත්, තවත් වෙන විෂයක් ගැන නොදන්න දේ බොහොමයි. ආන්න ඒ නිසා, නොදන්න දේ දන්න බව පෙන්නන්න යන එක කිසිසේත්ම හොඳ හැසිරීමක් නෙවෙයි. ඒක ෆේස්බුක් ගෘප් වලට විතරක් නෙවෙයි, සාමාන්‍ය ජීවිතේටත් අදාළයි. ඒ නිසා නොදන්න දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරනවා මිසක්, නොදන්න දේවල් දන්නවා වගේ ගෘප් වල කතා කරන්න යන එකෙන් තමන් මෝඩයෙක් වගේ පේනවා විතරක් නෙවෙයි, අනික් අයටත් ඒක හිරිහැරයක් වෙන්න පුළුවන්!
6. විකුණනවා!
දැන් අපි ගොඩක් දෙනෙක්ට විකුණන්න දේවල් තියෙනවනේ. එක්කෝ අපි කරන බිස්නස් එකක් හරහා, එක්කෝ අපේ රැකියාවේ කොටසක් විදියට දේවල් විකුණන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට පුද්ගලිකව දෙයක් විකුණන්න අවශ්‍ය වෙන්න පුළුවන්. දැන් ඔය විකුණුම් වැඩවලට ෆේස්බුක් එකේ ලොකු මාකට් එකක් තියෙනවනේ. හැබැයි මතක තියාගන්න ඕන දේ මේකයි. ෆේස්බුක් ගෘප් එකක ඔය විකුණුම් වලට කිසිම අදාළත්වයක් නැති නම්, ඒකේ දේවල් විකුණන්න ප්ලෑන් ගහන්න යන්න එපා. අපි කියමු ළදරුවන් ඉන්න අම්මලාට තියෙන ගෘප් එකක් කියලා. එතකොට අපි පැම්පර්ස් ඉම්පෝට් කරන බිස්නස් එකක් කරනවා නම්, ඒ ගෘප් එකේ ඇඩ්මින් ගෙනුත් අහලා ඒ ගැන ඇඩ් එකක් හෝ පෝස්ට් එකක් දැම්මට කමක් නෑ. හැබැයි ඒක අනික් අයට කරදරයක් වෙන ලෙවල් එකකට, ඒ කියන්නේ හැම පෝස්ට් එකකම කමෙන්ට් විදියට දාන්න, ගෘප් මෙම්බර්ස්ලට ඉන්බොක්ස් කරන්න වගේ ලෙවල් එකකට කවදාවත් යන්න එපා.
7. ස්පෑම්ස්
මෙතන ස්පෑම්ස් කියන්නෙ නොකඩවා එක දිගටම ගෘප් වලට දාන එකම පෝස්ට් වලට. සමහරු එකම පෝස්ට් එක කිහිප සැරේ පෝස්ට් කරනවා. තවත් සමහරු එකම පෝස්ට් එක වෙන වෙන විදි වලට සැරින් සැරේ පෝස්ට් කරනවා. මේක ගොඩක් වෙලාවට ඔය විකුණුම් සීන් වලට අදාළ දෙයක් තමයි. ඒ ඇරෙන්න වෙනත් ඕනෑම දේකටත් ස්පෑම්ස් අදාළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොත් බෙදාදීමක්, ලේ දන්දීමක්, පිච්ච මල් පූජාවක් වගේ දෙයක් ගැන කියලා පවා ස්පෑම්ස් එන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ මේකයි. වැඩේ හොඳ දෙයක් වුනත්, නරක දෙයක් වුනත් ස්පෑම්ස් කියන්නේ හැමෝටම කරදරයක්. ඒ නිසා ගෘප් එකකට ජොයින් වුනාට පස්සේ ස්පෑම් කරලා එතන අල කරන්න එපා. කැතයි.
8. යටින් ගේම්
මේක ටීකක් සංකීර්ණ කාරණාවක්. යටින් ගේම් කියන්නේ ඔය සමහරු ගෘප් එකක තමන්ට ඕන දේවල් වෙන්නෙ නැති වුනහම උපක්‍රම පාවිච්චි කරලා ඕන දේ කරගන්න හදන එකට. උදාහරණයක් විදියට කිවුවොත්, අපි කියමු ගෙවල් හදන එක ගැන උපදෙස් හුවමාරු කරගන්න ගෘප් එකක් කියලා. ඒකේ ඇඩ්මින්ලා තහනම් කරනවා ගොඩනැගිලි තැනීම ගැන දිගින් දිගටම ඇඩ්ස් දාන්න. එතකොට ගොඩනැගිලි හදන බුවෙක් ගිහින් හොර එකවුන්ට් එකකින් පෝස්ට් එකක් දානවා, යාලුවනේ මම මේ අහවල් ගොඩනැගිලි හදන තැනින් මෙන්න මෙහෙම ගෙයක් හදාගන්න යන්නේ, මෙයාලව ෂුවර්ද කියලා. ඊට පස්සේ තව යාලුවෙක් දෙන්නෙක් දම්මලා ගොඩනැගිලි හදන බුවා ඒ පෝස්ට් එකේ කමෙන්ට්ස් දම්මනවා “හම්මෝ මේ අය බුදු ෂුවර්”, “අපි හැමදාමත් යන තැන” වගේ හොඳ කියලා. ඕවා යටින් ගේම්ස්.
හැබැයි උඩින් කියලා තියෙන්නේ එක උදාහරණයක් විතරයි. තව ඕන තරම් යටින් ගේම්ස් ක්‍රම ගෘප් වල දකින්න පුළුවන්. එව්වා එපා කියලා තමයි මේ කියන්නේ.
9. අදාළ නෑනේ!
ඇත්තටම මේ අවසාන කාරණය බොහොම සරල, උඩින් කියලා තියෙන ගොඩක් කරුණු වලදිත් කියවෙලා තියෙන දෙයක්. තමන් එකතුවෙන ගෘප් එකේ කතාවෙන, කතාවෙන්න අවසර තියෙන දේවල් වලින් එහාට කිසිම මගුලක් කතා කරන්න එපා කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, පොත් පත් විචාර කතා කරන්න තියෙන ගෘප් එකක ජනාධිපති තාත්තා පොතේ ෆොටෝ එකක් ෂෙයාර් කරලා, මේ කෙනාගේ දේශපාලනයට ඔබ එකඟද වගේ ප්‍රශ්න අහන එක මෝඩයි. අනික් අයටත් කරදරයක්. ඇඩ්මින්ලාටත් හිසරදයක්. එහෙම දෙයක් කතා කරන්න නම් ගිහින් සෙට් වෙන්න දේශපාලන සංසදේකට. එහෙම නැතුව, තමන් ඉන්න ගෘප් එකේ තේමාවට පිටින් අදාළ නැති දේවල් උස්සගෙන ඇවිත් ගෘප් එකේ අත අරින්න එපා. වාතයි.
Leave a Reply