කාන්තාවකට කරන්න පුළුවන් දරුණුම අපහාස වලින් එකක් තමයි ඇයව ගණිකාවක් විදිහට හැඳින්වීම. නමුත් මේ අපහාස විඳගෙනම තමන්ගෙ ජීවිතය ගැට ගහගන්න මේ වෘත්තියේ යෙදෙන අනන්තවත් ගෑනු අපිට සමාජයේ මුණගැහෙනවා. මේ ගෑනුන්ගේ කතාව කලා නිර්මාණ වලට නැගෙද්දී ඒ චරිත නිරූපණය කරනවා කියන එකත් එක්තරා විදිහකට අභියෝගයක්. අද Lifie අපේ මේ සටහන මේ අභියෝගයට බය නැතුව මුහුණ දුන් අපේ රටේ නිළියෝ කීපදෙනෙක් ගැන.
1. ස්වර්ණා මල්ලවආරච්චි
ලංකාවේ විශිෂ්ට ගණයේ රංග ශිල්පිනියක් වන ස්වර්ණා මල්ලවආරච්චි අපිට ගණිකාවගේ චරිතයෙන් චිත්‍රපටි දෙකකදී මුණගැහෙනවා. පළවෙනි චිත්‍රපටය තමයි පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කරපු “අයෝමා” චිත්‍රපටය. මේ චිත්‍රපටය ඇත්ත කතාවක් ආශ්‍රය කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක්. චිත්‍රපටය දිව යන්නේ පුවත්පත් කලාවේදියෙක් මේ ගණිකාවගේ ජීවිත කතාව පත්තරේට ලියන විදිහට. අවසානයේ දී මේ පුවත්පත් කලාවේදියා විසින් සමාජ රෝගයක් වැළඳීම නිසා මේ තැනැත්තිය මිය ගියා කියලා සඳහන් කරනවා. නමුත් චිත්‍රපටිය අවසාන වෙන්නේ මේ කාන්තාව “ඇයි මහත්තයෝ මාව මැරුවේ?” කියලා පුවත්පත් කලාවේදීයාගෙන් අහන දර්ශනයෙන්.
ස්වර්ණා විසින් “අනන්ත රාත්‍රිය” චිත්‍රපටය තුළත් මෙවැනිම ආකාරයේ චරිත නිරූපණයක යෙදුණා.
2. සනෝජා බිබිලේ
තමන්ගේ කුලුඳුල් සිනමා නිර්මාණයේ දී ම ගණිකාවගේ චරිතය නිරූපණය කරන්න නිළියකට කොයි තරම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනද. සනෝජා බිබිලේ මේ අභියෝගය බාර ගත්තා. ඒ එච්.ඩී ප්‍රේමරත්න නිර්මාණය කරපු මංගල තෑග්ග චිත්‍රපටයේදී. පසුදින විවාහ වීමට නියමිතව සිටින මිතුරෙකුට තවත් මිතුරන් තිදෙනෙකු විසින් ගණිකාවක් සැපයීමත්, අනපේක්ෂිත ආකාරයෙන් ඇය මිය යෑමත් පාදක කරගෙන මේ චිත්‍රපටය දිව ගියා. පසුව ඇය එච්. ඩී ප්‍රේමරත්න මහතාම අධ්‍යක්ෂණය කරපු “කිණිහිරියා මල්” චිත්‍රපටියෙත් ඒ හා සමාන චරිතයක් නිරූපණය කළා.
3. අයිරාංගනී සේරසිංහ
මේ චරිතය නිරූපණය කිරීම නිසා ඇයට ප්රේක්ෂකයන්ගෙන් බැනුම් කන්දක් අහන්න සිද්ධ වුණා. ඒ “කිණිහිරියා මල්” චිත්‍රපටයේදී ඇය විසින් සිදු කළ රඟපෑම නිසා. හැබැයි මේ චිත්‍රපටය තුළ දී ඇය සෘජුවම ගණිකාවකගේ චරිතය නිරූපණය කළේ නැහැ. ඇය නිරූපණය කළේ ඒ ගණිකා නිවාසය පවත්වාගෙන යන තැනැත්තියගේ චරිතය. ඉහළ පෙළේ පිරිස් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යමින් තමන් යටතේ සේවය කරන තරුණියන් දෙස යම් දුරකට මානුෂිකව බලන්න චරිතයක් ලෙස එම චිත්‍රපටිය ඇතුළේ ඇයව අපිට මුණ ගැහුණා.
4. මාලිනී ෆොන්සේකා
ගණිකාවක් විදිහට මාලිනී ෆොන්සේකාගේ සුපිරිතම රංගනය ඇතුළත් වෙන්නේ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටියේ. ප්රේමාක්කා නම් වුණු එම චරිතය රඟපෑම සඳහා ඇය විසින් ධර්මසේන පතිරාජ මහතාගේ උපදෙස් යටතේ ගණිකාවන්ගේ ජීවිතය අධ්‍යයනය කළ බව කියවෙනවා. එසේ ම සුනිල් ආරියරත්න විසින් නිර්මාණය කරන ලද “බඹර ගීතය” චිත්‍රපටයේදීත් ඇය ගණිකාවගේ චරිතය නිරූපණය කළා. එම චිත්‍රපට කතාවේදී රවීන්ද්‍ර රන්දෙණිය විසින් ඇගේ එම ජීවිතය වෙනස් කළත්, ඇතිවන විවිධ ප්‍රශ්න හේතුවෙන් ඇයට නැවතත් එම වෘත්තියට ම යෑමට සිදු වෙනවා.
5. අනුලා කරුණාතිලක
ඇය විසින් “ගොළු හදවතේ” දම්මි ගේ චරිතය නිරූපණය කළ ආකාරයේ විශිෂ්ටත්වය නිසාද මන්දා සිනමාවේ ඇගේ අනෙකුත් චරිත නිරූපණයන් ගැන නිසි ඇගයීමක් ලැබුණේ නැහැ. පියසිරි ගුණරත්න විසින් නිර්මාණය කළ “මොකද වුණේ” චිත්‍රපටයේදී ඇය නිරූපණය කළේ ගණිකාවකගේ චරිතයක්. එක් ආකාරයකට එම චරිතය මෙතෙක් ඇය ගොඩනඟාගෙන සිටි ප්‍රතිරූපයට අභියෝගයක් වුණා. නමුත් එම අභියෝගයට ඇය අති සාර්ථක ආකාරයට මුහුණ දුන්නා.
6. දේවිකා කරුණාරත්න
දේවිකා කරුණාරත්න කියන්නේ අපිට හිටපු විශිෂ්ට නිළියක්. මේ වෙනකොට ඇය කලා ලෝකයෙන් ඈත් වෙලා විදේශ රටක ජීවත් වෙනවා. ඇය “හද්දින්නත් තරු” චිත්‍රපටයේදී නිවසක සේවිකාවක් ලෙස කටයුතු කරමින් සිටියදී සිය හාම්පුතා විසින් අපහරණයට ලක් වීම නිසා දරුවෙක් සමග පාරට වැටීමෙන් අනතුරුව ගණිකා වෘත්තියට යොමුවෙන තරුණියකගෙ ඛේදාන්තය නිරූපණය කළා. අවසානයේදී ඇය තමන් මේ තත්ත්වයට ඇද දැමූ පුද්ගලයාට (විජය කුමාරතුංගට) ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනවා.
7. වීණා ජයකොඩි
වසන්ත ඔබේසේකරගේ නිර්මාණයක් වන “මාරුතය” චිත්‍රපටය තුළ ගණිකාවන් තුන් දෙනෙකුගේ චරිත ඇතුළත් වුණා. දේශපාලනඥයකගේ බිරිඳ වූ වීණා ජයකොඩි සහ ඇගේ දරුවන් දෙදෙනා වූ සංගීතා වීරරත්න සහ යශෝධා විමලධර්ම ඔහුගේ මරණයෙන් පසුව ඇති වන ආර්ථික දුෂ්කරතා නිසා අවසානයේදී ගණිකාවන් බවට පත් වීමේ කතා පුවතක් මෙම චිත්‍රපටය සඳහා ඇතුළත් වුණ.
මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තවත් චරිත තිබ්බත් ආටිකල් එකේ ස්වභාවය නිසා මේ ලැයිස්තුව සීමා කරන්න සිද්ධ වුණා. මේ චරිත නිරූපණ ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply