එකම පක්ෂයේ අය අතර ඇති වුණු දේශපාලන ගැටළු

ලංකාවේ දේශපාලන ලෝකයේ සහ කලා ලෝකයේ එක සමාන කමක් තියෙනවා. ඒ තමයි අපිට ඩ්‍රාමා ගොඩක් බලාගන්න පුළුවන් හැකියාව ලැබීම. සමහර වෙලාවට අඹ යාළුවෝ වගේ ඉන්න මිනිස්සු තරහ වෙනවා. තරහ වුණු  මිනිස්සු අඹ යාලුවෝ බවට පත් වෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ වගේ ලංකා දේශපාලනය තුළ බොහෝම නාටකීය අවස්ථා කීපයක් ගැන. මේ සමහර නාටක ඉස්සරහට කොහොම කෙළවර වෙයිද කියන එක අනාගතයේ දී තමයි අපිට බලාගන්න වෙන්නේ

 

1. කාවින්ද ජයවර්ධන හරීන් ප්‍රනාන්දු

කොරෝනා ප්‍රශ්න අස්සේ ගොසිප් සයිට් වල වගේ වට්ස්ඇප් ගෘප්වලත් සංසරණය වුණු වීඩියෝ පටයක් තිබ්බා. මේ වීඩියෝ පටය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාගේ බවට ඇතැම් අය කතා පැතිරවීමත් සමග මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු විසින් රහස් පොලීසියට පැමිණිල්ලක් කරලා තිබ්බා. එහිදී එම වීඩියෝව ශෙයා කළ බවට මල්ෂා කුමාරතුංගට චෝදනාවක් එල්ල වූ අතර ඇය එම වීඩියෝව හරීන් ප්‍රනාන්දු හරහා ලැබුණු බවට ප්‍රකාශ කළ බව කියවෙනවා. මේ ගැටළුව නිසා මේ වන විට කාවින්ද ජයවර්ධන සහ හරීන් ප්‍රනාන්දු එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමට පටන් ගෙන තිබෙනවා.

 

2. රවි කරුණානායක සහ සජිත් ප්‍රේමදාස 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරය දැරූ සජිත් ප්‍රේමදාස සහ කොළඹ දිස්ත්‍රික් ප්‍රබලයකු වූ රවි කරුණානායක අතර නොනවතින ගැටුමක් තිබුණා. එක්සත් ජාතික පක්ෂ රජය සමයේ දී මේ දෙදෙනා එකිනෙකාට එරෙහිව කියා ගන්න කයි කතන්දර වලට ප්‍රවෘත්ති විකාශන හරහා වැඩි ඉඩකඩක් ලැබුණා. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ඉල්ලා සිටිය දී ඊට රවි කරුණානායක තමන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කළත් අපේක්ෂකත්වය ලැබුණු පසුව සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට කටයුතු කළා. ඒ කෙසේ වෙතත් මේ වන විට සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය හරහාත් රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂය හරහාත් නාමයෝජනා ලබාදී තිබෙනවා.

 

3. එස්.එම් රන්ජිත් සහ බර්ටි ප්‍රේමලාල් දිසානායක 

දීර්ඝ කාලයක් උතුරු මැද පළාත් මහ ඇමැති ධුරය දැරූ  බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට එම ධූරය ලබා නොදී  ඒ වෙනුවට අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ සහෝදරයා වූ එස්.එම් රන්ජිත් පත් කිරීම පසු කලෙක දේශපාලන පෙරළියක් දක්වා දුර ගියා. ඒ බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ පුත්‍රයා වූ දුමින්ද දිසානායක මහින්ද රාජපක්ෂ රජය පරාජය කර මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට ක්‍රියා කරවීමත් සමඟයි. ඉන් අනතුරුව එස්.එම් රන්ජිත්ව එම ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට පේෂල ජයරත්නව එම ධූරය සඳහා පත් කිරීම සිදු වුණා.

 

4. පාලිත තෙවරප්පෙරුම සහ රනිල් වික්‍රමසිංහ

 

වතාවක් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල තුළ දී තම ඉනේ සඟවා සිටි කිණිස්සකින් රනිල් වික්‍රමසිංහ මහතාට ඇනීමට එක්තරා මන්ත්‍රීවරයෙක් උත්සාහ දරා තිබුණා. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේදී  ඔහුව මෙල්ල කරගත් බව කියවෙනවා. මේ මන්ත්‍රීවරයා වන්නේ පාලිත තෙවරප්පෙරුමයි. නාමයෝජනා සම්බන්ධ ගැටළුවක් මීට හේතු වූ බව කියවෙනවා. ඒ කෙසේ වෙතත් පාලිත තෙවරප්පෙරුම මේ දක්වා එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් එහිම රැඳී සිටිනවා.

 

5. අජිත් ප්‍රසන්න සහ  ගීතා කුමාරසිංහ 

ගීතා කුමාරසිංහ ඇල්පිටිය ප්‍රදේශය ට පැරශුට් එකකින් දේශපාලනයට පැමිණි බව කියමින්  ඇයට එරෙහිව බොහෝ දෙනෙක් අවි අමෝරාගෙන නැගී සිටියා. අජිත් ප්‍රසන්නත් ඒ අතරින් එක් අයෙක්. එක්තරා අවස්ථාවක ඔවුන් දෙදෙනාගේ ගැටුම කොයි තරම් දුර දිග අතට ගියාද කියතොත් අසභ්‍ය වචන වලින් පවා ඔවුන් දෙදෙනා බැන ගන්නා ආකාරය දැක්වෙන රූපරාමු ප්‍රවෘත්ති මගින් මුළු රටටම දැකගන්න ලැබුණා.

 

6. අනුර කුමාර දිසානායක සහ සෝමවංශ අමරසිංහ 

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයෙකු වූ සෝමවංශ අමරසිංහ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය දැඩිව විවේචනය කොට තමන් එම පක්ෂයෙන් ඉවත් වූ බව දැනුම් දෙනු ලැබුවේ මුළු රටම පුදුමයට පත් කරමින්. එම මාධ්‍ය සාකච්ඡාව සඳහා විජිත හේරත් ප්‍රේක්ෂකයෙකු ලෙස සහභාගි වී සිටියත් ඔහු අදහස් දැක්වීමෙන් වැළකී සිටියා. පසු ව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩ සටහනකට එක් වූ සෝමවංශ අමරසිංහ විසින් අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් ලෙස හඳුන්වා දී තිබුණා.

 

7. පාඨලී චම්පික රණවක සහ අතුරලියේ රතන හිමි 

දීර්ඝ කාලයක් තිස්සේ සමීප දේශපාලන සගයන් විදිහට කටයුතු කරපු මේ දෙදෙනාගේ මිත්‍රත්වය විශ්වවිද්‍යාල සමය දක්වා දිව යනවා. ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය නිර්මාණය කිරීම, සිහල උරුමය සහ ඉන්පසුව ජාතික හෙළ උරුමය දක්වා මේ දෙදෙනාගේ දේශපාලනය වෙනස් වුණා. මහින්ද රාජපක්ෂව බලයට ගෙන ඒමට මෙන්ම බලයෙන් පෙරළා දැමීමටත් ඔවුන් දෙදෙනා එක්ව කටයුතු කළා. පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විවේචනය කරමින් අතුරලිය රතන හිමියන් කටයුතු කළත් පාඨලී චම්පික දිගටම එහි රැඳී සිටිමින් එම පක්ෂය  ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා. පසුගිය ජනාධිපතිවරණයේදී පාඨලී චම්පික රණවක සජිත් ප්‍රේමදාසට සිය සහයෝගය පළ කරද්දී අතුරලිය රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවට ගොඩවෙනවා.

 

එහෙම නම් මේ ආටිකල් එක් ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ශෙයා කරන්න අමතක කරන්න එපා.