ඔන්ලයින් බිස්නස් එකක් හරියට කරමුද?

මේ වෙනකොට ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය බිස්නස් ක්‍රමයක් තමයි මේ ඔන්ලයින් බිස්නස්. අද අපි කතා කරන්න හිතුවෙ මේ වගේ බිස්නස් හරියටම ආදායම් ලැබෙන ආකාරයට කොහොමද කරන්නෙ කියලා. කරන්නන් වාලේ කරලා නම් ආදායම් ගන්න බෑ. ඒ නිසා ඔයා බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් හරි දැනටමත් බිස්නස් කරන කෙනෙක් හරි නම් මෙන්න මේ කරුණු ඔයාට වැදගත් වෙනවද බලන්න.

 

1. මොනවද මේ ඔන්ලයින් බිස්නස්? 

අද ලංකාවේ වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වෙන බිස්නස් ක්‍රමයක් තමා මේ ඔන්ලයින් බිස්නස්. මූලිකවම අන්තර්ජාලය හරහා තමයි මේ බිස්නස් සිදුවෙන්නෙ. ඒක සමාජ මාධ්‍ය, වෙබ් අඩවි මේ ඕනෑම ආකාරයකට පුළුවන්. මේ වගේ ක්‍රම මේ වෙනකොට බහුල වෙලා තියෙන්නෙ කාර්‍යබහුල අයට ශොපින් කරන්න යන්න වෙලාවක් නැතිකම නිසයි. ඒ වගේම ගෙදර ඉඳන් ආදායමක් උපයගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තමයි මේ. අනික ලොකු ප්‍රාග්ධනයක් නැතුව ආරම්භ කරන්න පුළුවන් වීමත් විශේෂත්වයක්. මොකද වෙනත් බිස්නස් එකක් වගේ නෙමෙයි, මේකට මාකට් ප්ලේස් එකක් අවශ්‍ය නෑ. ගෙදර ඉඳන් කරන්න පුළුවන් කිව්වෙ ඒකයි.

 

2. මොන වගේ දේවල්ද අපිට විකුණන්න පුළුවන්? 

ඔන්ලයින් උනා කියලා අපිට විකුණන්න බැරි දෙයක් නෑ. අද වෙනකොට හාල් තුනපහ ඉඳලා වටිනා ගෘහ භාණ්ඩ වෙනකල් ඔන්ලයින් විකුණනවා. පහුගිය ටිකේ අපිට ඉතින් පොල්තෙල් බෝතලේ පවා ගෙන්නගන්න උනේ ඔන්ලයින් ඕඩර් කරලා කියලා අමතක නෑනේ. ආන් ඒ තැනට අද මේ බිස්නස් පත්වෙලා තියනවා. ඔයා බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්නම් මුලින්ම බලන්න හොඳ මාකට් එකක් තියන බිස්නස් මොනවද කියලා. උදාහරණයක් විදියට පොඩි බබාලගෙ ප්‍රඩක්ට්ස් එහෙම අපිට ගොඩක් සේල් කරගන්න පුළුවන්. මොකද බබාලා ඉන්න අම්මලා ගොඩක් එළියට යැවෙන්නෙ නැති නිසා ඒ අවශ්‍ය දේවල් ගෙදරටම ගෙන්නගන්න කැමති නිසා. දුර බැහැර ප්‍රදේශ වලින් මිලට ගන්න අපහසු දුරකථන උපාංග, තාක්ෂණික මෙවලම්, සෙල්ලම්බඩු, ඇඳුම්, සපත්තු, සාරි වගේ විතරක් නෙමෙයි, ස්වයං රැකියා කරන අයටත් තමන්ගෙ නිෂ්පාදන අලෙවි කරගන්න මේක හොඳම ක්‍රමයක්. ඉස්සෙල්ලම පොඩි වෙළෙඳපොළ සමීක්ෂණයක් කරලා අපිට හොඳටම විකුණන්න පුළුවන් දේවල් අඳුනගත්තනම් වැඩේ ලේසී. ඒ වගේම ඒවා සපයගන්න එක ගැනත් හිතන්න ඕනේ. 

 

3. විකුණන භාණ්ඩය පාරිභෝගිකයින්ට සමීප කිරී​ම

මේ ඔක්කොම අතරෙ ප්‍රඩක්ට් එකේ ගුණාත්මකභාවය ගැන තමා වැඩිපුරම හිතන්න ඕන. බිස්නස් එක අනුව ඉස්සෙල්ලම පොඩි ලෝගෝ එකක් හදලා, ෆේස්බුක් පේජ් එකක් හදලා ඒකේ ඔයාලගෙ ප්‍රඩක්ට්ස් දාන්න පුළුවන්. ෆේස්බුක් පේජ් වල ප්‍රමෝශන් ෆැසිලිටි එකෙන් අපිට යම්කිසි මුදලක් ගෙවලා ෆේස්බුක් එකේ ඕඩියන්ස් එකට ප්‍රමෝට් කරවන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් එකක්, බ්ලොග් එකක් හදලා ඒකෙ ප්‍රඩක්ස් දාගන්න පුළුවන්. අද ගොඩාක් අය අන්තර්ජාලය පරිහරණයට පුරුදු වෙලා නිසා බයක් නැතුව ඔයාගෙ ප්‍රඩක්ට් මිනිස්සු අතරට ගෙනියගන්න ලේසියෙන්ම පුළුවන්. තව ඔයාලට ආවේණික ක්‍රම ටිකක් හදාගෙන ප්‍රඩක්ට් විකුණගන්නත් පුළුවන්. ඒවටත් පුංචි ටිප්ස් ටිකක් දෙන්නම්. ඔයා ඔය ෆේස්බුක් එකේ වැය කරන කාලෙ බිස්නස් එක ප්‍රමෝට් කරගන්න යොදවන්න පුළුවන්. ෆේස්බුක් එකේ ඔය  බිස්නස් කරන ගෲප්ස් ඕන තරම් තියනවා. ඒවට ජොයින් වෙලා, පෝස්ට් දාලා බිස්නස් කරගන්න පුළුවන්. වෙනම අකවුන්ට් එකක් හදලා ඒකෙන් අලෙවි කරලා කස්ටමර්ගෙ විශ්වාසය දිනාගත්තොත් ඔයාට දිගටම ඒ විදියට බඩු විකුණගන්න පුළුවන්. බඩු විකුණන අතරෙ ඔයාගෙ පේජ් එක ප්‍රමෝට් කරගන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව කස්ටමර්ගෙ ෆීඩ්බැක් එක පේජ් එකට අරගන්න ඕනේ.

 

4. පේමන්ට්ස් ගන්න විදිහ 

මේ වෙනකොට ලංකාවේ ඔන්ලයින් බිස්නස් “කෑශ් ඔන් ඩිලිවරි” විදිහට හා “බෑන්ක් පේමන්ට්” යන දෙවිදියටම වෙනවා. සාර්ථකව වගේම කස්ටමර් කැමති විදියට කෑශ් ඔන් ඩිලිවරි ජනප්‍රිය උනත් එතනදි සෙලර් කෙනෙක් විදියට මුහුණපාන්න වෙන ගැටළු ටිකක් තියනවා. ඒ තමයි කෑශ් ඔන් ඩිලිවරි කරන හොඳ කුරියර් සර්විස් එකක් තෝර ගැනීම, ඩිලිවර් කළාට පස්සෙ පාර්සල් එක කස්ටමර් රිජෙක්ට් කිරීම, ඕඩර් එක දාලා ඩිලිවරි පාට් එකට ගියාම කස්ටමර් බ්ලොක් කිරීම, කුරියර් සර්විස් එකෙන් පාර්සල් එක ඩිලිවර් කරන එක ප්‍රමාද වීම වගේ දේවල් අද ගොඩක් ඔන්ලයින් බිස්නස් කරන අයට විඳින්න වෙන කරදර. හැබැයි බෑන්ක් පේමන්ට් වලදි එහෙම නෑ. බෑන්ක් එකට පේමන්ට් එක කළාම තමයි අපි පාර්සල් එක යවන්නෙ. හැබැයි මේ ක්‍රමයෙදි අපි ගැන කස්ටමර්ට විශ්වාසයක් තියෙන්න ඕනෙ වගේම ඒ විශ්වාසය කඩ නොවෙන්න අපි අපේ සේවය දෙන්නත් ඕනේ. දෙපැත්තෙම අවංකභාවයෙන් තමයි වැඩේ වෙන්නෙ.

 

5. ඩිලිවර් කරන විධි 

ප්‍රඩක්ට් එකක් විකුණනකොට අනිවාර්‍යයෙන්ම අපි ඩිලිවරි මෙතඩ් එක කියන්න ඕනෙ කස්ටමර්ට. මූලිකවම බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට තමන්ගෙ ප්‍රඩක්ට් එක අනුව ඩිලිවරි මෙතඩ් එක හදාගන්න පුළුවන්. පාර්සල් පෝස්ට්, කුරියර් සර්විස්, තමන් විසින්ම ඩිලිවර් කිරීම වගේ ක්‍රම යොදාගන්න පුළුවන්. මෙතනින් ලේසිම වැඩේ පාර්සල් පෝස්ට් එක තමයි. හැබැයි පෝස්ට් එකේ යවන්න පුළුවන් බඩු වලට විතරයි ඒ පහසුකම ගන්න පුළුවන්. රෙජිස්ටර් පෝස්ට් එකේ යවනවනම් ග්‍රෑම් ගාණ අනුව රු.45/= ඉඳලා ඉදිරියට තමයි ප්‍රයිස් වෙන්නෙ. ඒ වගේම කුරියර් සර්විස් එකකට දෙනවනම් කිලෝ එකක් රු.300/=ක වගේ මිලකට තමයි අද යන්නෙ. මේ ඩිලිවරි ෆී එක ප්‍රඩක්ට් එකටම අල්ලලා ප්‍රයිස් කරනවද වෙනම ගන්නවද කියලා ඔයා තමයි තීරණය කරන්න ඕනේ.

 

6. ප්‍රඩක්ට් පැක් කරන විධි

ඒ වගේම පැකේජ් එකක් යවනවනම් අපි ඒක හොඳට පාර්සල් කරලා යවන්න ඕනේ. බාහිර බලපෑම් නිසා පැකේජ් එකට හානි නොවෙන්න යවන එක අපේ වගකීම. සෙල්ලම්බඩු, කැඩෙන බිඳෙන දේවල් වගේනම් ස්පොන්ච් දාපු පෙට්‍ටියකට හෝ අපිට පෝස්ට් ඔෆිස් එකෙන් ගන්න පුළුවන් විශේෂ කවර වල දාලා යවන්න පුළුවන්. ලොකු පාර්සල් නම් හොඳට රැප් කරලා යවන්න ඕනේ. මේ පාර්සල් රැපින් පෝස්ට් ඔෆිස් වල ගන්න තියනවා බොහොම අඩු මුදලකට. පෝස්ට් එකේ යවනවනම් අපි පාර්සල් එක රැප් කරන්න කලින් එයාලට පෙන්නන්න ඕනේ පෝස්ට් කරන දේවල්. ඊට පස්සෙ රැප් කරලා, බර අනුව සල්ලි ගෙවලා, කවුන්ටර් එකට බාර දෙන්න පුළුවන්. ඔයා කුරියර් සර්විස් එකක සහය ගන්නවනම් එයාලා කියන පැකින් සිස්ටම් එකකට පැක් කරලා යවන්න. මේවා පැක් කරනකොට හැමවෙලේම ඔයාගෙ බිස්නස් එක ප්‍රමෝට් වෙන විදියට බිස්නස් කාඩ් එකක්, ස්ටිකර් එකක් වගේ යවන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට වාසිදායක වෙන විදියට ප්‍රයිස් රේන්ජ් එකකින් එහාට මිලට ගැණුම් වලදි පොඩි ගිෆ්ට් එකක් වගේ යැව්වොත් ඒ කස්ටමර් ඔයාව නැවත කන්ටැක්ට් කරනවා නොඅනුමානයි.

 

ඉතින් අපි හිතනවා මේ ටිප්ස් ඔයාලගෙ බිස්නස් එකට ගොඩාක් වැදගත් වෙයි කියලා. සුබ පැතුම්…