ඇත්තටම ගැහැණියකට විඳින්න සිද්ධ වෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ සෙල්ලම් කතන්දරයක් නෙවෙයි. සරලවම කිවුවොත් ගැහැණියකට ගෙදර මිනිහා ගෙන් ගුටිකන්න සිද්ධ වෙන එක සෙල්ලමක් නෙවෙයි. හැබැයි එහෙම කිවුවට, ඒක සිදු නොවී තියෙනවත් නෙවෙයි. අපිට අහන්න ලැබුණනේ පහුගිය ඇඳිරි නීතිය කාලේ එහෙම මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව ක්‍රියා ඉහළ ගිහින්, ගොඩක් ගැහැණු උදවියට හිරිහැර වුනා කියලා. හරි, මේක නීතියෙනුත් වැරදියි. සමාජ සදාචාරය අතින් බැලුවත් වැරදියි. හැබැයි ඉතින් මේක සිද්ධ නොවී තියෙන්නෙත් නෑ. මේක අද සමාජේ සාමාන්‍යකරණය වෙලා තියෙන බවකුත් පේනවා. ඒ විතරක් නෙවෙයි, කාන්තාවන් පවා මේක එදිනෙදා ජීවිතේ කොටසක් විදියට ගණන් ගැනෙන අවස්ථාවනුත් අපි දකිනවා. ආන්න ඒ නිසා තමයි මේ ගැන අපි වැඩිදුර කථා කළ යුත්තේ.
1. මොකද්ද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ?
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කිව්වහම සාමාන්‍යයෙන් ටිකක් පුළුල් කතන්දරයක්. ඒ කියන්නේ කාන්තාවකට සැමියා විසින් සිදුකරන ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, එතනින් එහාට ගෘහාශ්‍රිතව වැඩිහිටි පුද්ගලයින්ට වගේම දරුවන්ටත් සිද්ධ වෙන ප්‍රචණ්ඩ ක්‍රියා මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළ වෙනවා. හැබැයි අපි පහසුව සඳහා මෙතනදී කතා කරන්නේ විවාහක හෝ විවාහක නොවෙන කාන්තාවකට, තමන්ගේ සහකරුවා විසින් සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවන්. සාමාන්‍යයෙන් මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට කායික වගේම මානසික හිරිහැරත් ඇතුළත් වෙනවා. මෙතනදී අපි වඩාත් සෘජු ප්‍රචණ්ඩ ක්‍රියාවක් විදියට කායික පහර දීම් ගන්නවා.
2. පිරිමියෙක්ට අයිතියක් තියෙනවද?
මෙන්න මේක තමයි ප්‍රධාන ගැටළුව. පිරිමියෙක්ට තමන් විවාහ වෙලා ඉන්න හරි එකට ජීවත් වෙන හරි කාන්තාවකට පහර දෙන්න අයිතියක් තියෙනවද? සරලම උත්තරේ නැහැ. කිසිම මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහරින්න අයිතියක් නැහැ, යුද්ධයක් වගේ කරුණකදී නැතිනම් ආත්මාරක්ෂාව සම්බන්ධ කරුණකදී හැරෙන්න.
විශේෂයෙන්ම තමන්ගේ කසාද ගෑණි මෙයා, අන්න ඒ නිසා මෙයාට අත උස්සන්න මට අයිතියක් තියෙනවා කියලා කෙනෙක් අදහස් කරනවා නම්, අන්න ඒ වගේ අදහස් අතිශයින්ම ප්‍රශ්නකාරීයි. එතකොට “මේ ගෑණිගේ කට වැඩියි, කට වහන්න තමයි අත ඉස්සුවේ” වගේ නිදහසට කාරණාත් අතිශයින්ම ප්‍රශ්නකාරීයි. හේතුව මේකයි. දෙන්නෙක් ගත්තහම එකම විදිය නෙවෙයි. දෙන්නටම කේන්ති යනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක්කෙනෙක් රණ්ඩු වෙන්න ගත්තහම නවත්තන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ මොහොතකදී උත්සන්න වෙලා එන හැඟීම් වලට අනුව ක්‍රියා කරන එක බොහොම භයානකයි.
3. මේ ගැහැණුන්ට උරුම දේවල්ද?
මෙන්න මේක ගැහැණු අය විශේෂයෙන්ම කරන බොහොම නරක දෙයක්. ඒ තමයි, දුක් විඳින එක, පිරිමින්ගෙන් ගුටි කන එක ගැහැණුන්ට උරුම දෙයක් විදියට සැළකීම. ඒ විතරක් නෙවෙයි, ඒක අදහසක් විදියට ප්‍රසිද්ධියට පත් කිරීම. ඒකෙන් ඒ අය සමස්ත ගැහැණු සංහතියම පිරිමින්ගෙන් ගුටි කෑවත් කමක් නැහැ කියලා අදහසක් ජනගත කරනවා. සමහර ගැහැණු අය මේක පව් පින්, කර්මය එක්කත් අදාළ කරගෙන, පෙර කරපු පව් නිසා තමයි මේ ආත්මේ මිනිහාගෙන් ගුටිකන්න වෙලා තියෙන්නේ වගේ කතන්දර කියනවා. කොහොමද එහෙම කියන්නේ? වැරදි දේ වැරදියි. අන්න ඒ නිසා මතක තියාගන්න, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන පිරිමි විතරක් නෙවෙයි, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වට උඩගෙඩි දෙන ගැහැණුන්ටත් අපි විරුද්ධ වෙන්න ඕන.
4. දෙපාරක්, තුන්පාරක් ඉවසන්න ඕනද?
මෙන්න මේකත් විශේෂයෙන්ම ගැහැණු අරගෙන එන වැරදි කතාවක්. ඒ තමයි, තමන්ට අත උස්සන මනුස්සයෙක්ට ආදරේ නාමයෙන් එක පාරක්, දෙපාරක් හෝ තුන්පාරක් සමාව දෙන්න කියන එක. ඒ කියන්නේ අම්මලාගේ ගෙදර යන්න ඕන හතර වෙනි පාරටත් තඩි බෑවොත් විතරයි. මේ කතන්දරේ තියෙන ප්‍රධානතම ගැටළුව මේකයි. එක පාරක් අත ඉස්සුවහම ‘ආදරේ නිසානේ’, ‘ආදරේට හදාගන්න වෙන්නැතිනේ’, ‘මමත් කට ගහගෙන ගියපු නිසා වෙන්නැතිනේ’ වගේ කතන්දර හදාගෙන සමාව දීලා ඉන්නවනේ. හැබැයි දෙවෙනි පාර අත ඉස්සුවහම අම්මලගේ ගෙදර එන්න වෙන්නේ පෙට්ටියෙන් වෙන්න පුළුවන්. මොකද අපි ඕන තරම් අහලා දැකලා තියෙනවා, කේන්ති ගිහින් වයිෆ්ට ගහලා, වයිෆ් කැරකිලා ගිහිල්ලා ඇඳ විට්ටමේ ඔලුව වැදිලා මිය ගියපු කතා එහෙම. කේන්තියෙන් අන්ධ වෙලා ඉන්නකොට කරන්නේ මොනවද කියලා තේරෙන්නෙ නැහැනේ. එතකොට ගහන පාරක් නරක තැනකට වදින්න පුළුවන්. ඒකෙන් මැරෙන්න පුළුවන්. සදාකල් ආබාධිත වෙන්න පුළුවන්. අන්න ඒ නිසා කරුණාකරලා, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ කාරණාවකදී අවදානමක් ගන්න, ආදරේ නිසා එක පාරක් සමාව දෙන්න වගේ තීරණ නොගන්න එක හොඳයි.
5. එළියට එන්නේ කොහොමද?
මෙතනදී මූලිකම කාරණාව වෙන්නේ තමන්ගේ ආරක්ෂාව. අන්න ඒ නිසා තමන්ට තේරෙනවා නම් හැමදාමත් ගුටිකන්න වෙන සීන් එකක් කියලා, වහාම නීතියේ පිහිට පතන එක තමයි හරි ක්‍රමය. කොහොමත් පොලිසියට පැමිණීල්ලක් කරපු ගමන් නඩු දාලා මිනිහව හිරේ දාන සීන් එකක් වෙන්නෙ නැහැනේ. අන්න ඒ නිසා නීතියට දැනුම් දීලා, ඊට පස්සේ දෙන්නට දෙන්නා ඇත්තටම ආදරේ නම් විවාහ සහ මනෝ උපදේශක සේවයකට ගිහින්, දෙන්නා කතාබස් කරලා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇතිවෙන ගැටළුව විසඳගන්නත් පුළුවන් වෙයි. ඒ නැතත්, තමන්ට මනුස්සයා අතක් උස්සනවා නම් වහාම ඒ මනුස්සයා එක්ක ඒ මොහොතට හෝ ඉන්නේ නැතුව පිට වෙන්න කියන එක තමයි අපි කියන්නේ.
6. කුඩා කාලයේදීම ලැබිය යුතු ශික්ෂණය
ඇත්තටම පිරිමියෙක්ට මේ සම්බන්ධ ශික්ෂණය ලැබෙන්න ඕන කරන්නේ තමන්ගේ ගෙදරින්මයි. කවදාවත්, මොනම හේතුවක් නිසාවත් ගැහැණියකට අතක් උස්සන්න එපා කියන අවවාදය මුලින්ම පිරිමියෙක්ට ලැබෙන්න ඕන තමන්ගේ අම්මාගෙන් හෝ තාත්තාගෙන්. ඒ අවවාදය ලැබෙන්නේ ඔක්කොම සිද්ධ වෙලා පොලිසියෙන් නම් අන්න ඒක ලොකු ගැටළුවක්. ඒ නිසා තමන්ගේ දරුවන්ට හෝ මේ නිසි ශික්ෂණය ලබාදෙන්න දෙමාපියෝ වග බලාගන්න ඕන.
ඒ වගේම තමයි, තමන්ගේ පුතා බැඳලා ඉන්න ගෑණිට ගෙදර ඇවිත් ගහනවා, අත උස්සනවා නම්, අම්මලා තාත්තලා දැනගන්න ඕන පුතාව සුද්ද කර කර ඉන්නෙ නැතුව වහාම හරි ක්‍රියාමාර්ගයක් ගන්න.
7. නීතියෙන් මේ සම්බන්ධයෙන් ගැනෙන ක්‍රියාමාර්ග මොනවද?
ඔව්, අපි කලිනුත් කිව්වා වගේ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ නීතියෙන් දඬුවම් ලැබෙන වරදක්. 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත කියලා එකක් පවා ඒ වෙනුවෙන් පනවලා තියෙනවා. මුලින්ම කාන්තාවක් තමන්ට ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට මුහුණ දෙන්න වෙනවා නම්, නීති ආයතනයන්ට යන්න ඕන. ඒ කියන්නේ ප්‍රදේශයේ පොලිසියනේ. ඊට පස්සේ නීතිය ඔස්සේ තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න නඩුමගට යන්න වුනත් පුළුවන්. ඒකට ඉතින් තමන්ට ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන්න වෙනවාය කියන එක තහවුරු කරන්න ඕන. ඒ කියන්නේ නිකම් බොරුවට නඩු දාන්න බෑ. ඒකට මුදල් හදල් නැතිනම් නීති ආධාර කොමිසමෙන් ආධාර ලබාගන්නත් පුළුවන්. එතකොට නඩු විභාගයක් හරියට පැවැත්වුනාට පස්සේ තමන්ගේ ආරක්ෂාව සලසන ආරක්ෂක නියෝගයක් ලබාගන්න සහ එතනින් එහාට යන්න පුළුවන්. හැබැයි නඩු විභාගයට යන්න කලින් වුනත් කාන්තාවට නැවත නැවත හිංසනයට පාත්‍ර වෙන එක නවත්තන්න අතුරු ආරක්ෂක නියෝගයක් වුනත් ලබාගන්න පුළුවන්. ඒකත් පොලිසිය හරහාම කරගන්න පුළුවන්.
දැන් කෙනෙක් අහයි, ඇයි අපි පිරිමින්ට විඳින්න සිද්ධ වෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන කථා නොකරන්නේ කියලා. හේතුව මේකයි. පිරිමින්ටත් කායික සහ මානසික වශයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙන්න සිදුවෙනවා. හැබැයි ගැහැණුන් ඊට සාපේක්ෂව ඉතාම ඉහළ ප්‍රමාණයකින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා. අන්න ඒ නිසා තමයි මුලින් අපි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙන ගැහැණුන් ගැන කථා කලේ. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙන පිරිමි උදවිය ගැන අපි වෙනමම කතා කරනවා.
Leave a Reply