Envelope Budgeting System ගැන ඉගෙන ගමු!

මේක අපි කාට උනත් එක වගේ වැදගත් කතාවක්. කවුරුත් උනන්දුයිනෙ තමන්ගෙ අදායම ගෙදරදොර වියදම් අතරෙ හරියට බෙදලා අමාරුවේ නොවැටී ඉන්න. මේ එහෙම උවමනාවක් තියෙන හැමෝටම වැදගත්වෙන Envelope Budgeting System එක ගැනයි. තේරෙන සිංහලෙන් කිව්වොත් ලියුම් කවර ක්‍රමය, එහෙමත් නැත්තම් ලියුම් කවර අයවැය ක්‍රමය වගේ නමක් එන තේරුමක් තමයි තියෙන්නෙ. කලිනුත් කිව්ව වගේ මේක ගෙදරදොරේ වියහියදම් හොඳ පාලනයක් ඇතුව කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලෝකයේම පිළිගත්ත ක්‍රමයක්. මූල්‍ය විනය මදි කියල හිතෙන, වියදම් පාලනය කරන්න නොතේරෙන අයට එහෙමත් සෑහෙන්න ඵලදායී ක්‍රමයක් මේක. ඉතින් හුඟක් දෙනෙක් පාවිච්චි කරල හොඳයි කියල අනුමත කරන නිසාම අපි හිතුව මේ Envelope ක්‍රමය ගැන කියල දෙන්න. 

 

 

1. මොකක්ද මේ Envelope ක්‍රමය?

මුලින්ම කියමුකො මේකෙ අගමුල. මේ ක්‍රමය හොයාගෙන තියෙන්නෙ ඇමරිකාවේ ඩේව් රැම්සේ කියන පුද්ගලයා. හොඳම වැඩේ කියන්නෙ මේ පුද්ගලයා ආර්ථික විශේෂඥයෙක්වත් ඒ ක්ෂේත්‍රයේ මහා ලොකු තැනක් තියෙන කෙනෙක්වත් නෙමෙයි. මුල්‍ය අංශයට සම්බන්ධ උපාධියක් තියෙන ව්‍යාපාරිකයෙක්. ඒ  වගේම මුදල් පාලනය සම්බන්ධ පොත් ලියන්නෙක් සහ ප්‍රසිද්ධ රේඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කරන්නෙක්. ඉතින් මේ ඩේව් හොයාගත්ත ලියුම් කවර ක්‍රමය තමයි මෙන්න මේක.

මේ ක්‍රමයෙන් වෙන්නෙ මාසිකව ඔයාට ලැබෙන ආදායමෙන් එක එක ප්‍රභේදයන්ට ඒ කිව්වෙ ගෙදර විවිධ වියදම්, ගෙවල් කුලී, ආහාර, බිල්පත් වගේ ඒවට වෙන වෙනම අවශ්‍ය කොච්චර මුදල් ප්‍රමාණයක්ද කියන එක තීරණය කරලා ඒ මුදල් ලියුම් කවර වලට වෙන් කරල දාගෙන වියදම් කරන එක. මේ ක්‍රමයෙන් මූලිකවම සිදුවෙන්නෙ හිතුමනාපෙට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරන අනවශ්‍ය වියදම් පාලනය වෙන එක. 

 

 

2. Envelope ක්‍රමය ක්‍රියාත්මක වෙන හැටි

මාසෙ මුදල් වියදම් කරනකොට අපේ අතින් වෙන මේ සීමාවක් නැතුව කෙරෙන වියදම් වලට ලොකුම හේතුව තමයි මෙන්න මේ දේට වියදම් කළා දැන් ඇතියි කියල කියන්න කිසිම මිණුම් දණ්ඩක් නැතිකම. අන්න එතැනදී තමයි මේ ක්‍රමය අපිට වැදගත් වෙන්නෙ. බලමුකො කොහොමද මේ කියන අමුතුපහේ සිස්ටම් එක වැඩ කරන්නෙ කියල.

 

 

  • බජට් ප්ලෑන් එක

 

මුලින්ම කරන්න ඕන පෑනක්, කොළයක් හරි එහෙමත් නැත්තම් එක්සෙල් ෂීට් එකක් හරි අරගෙන තමන්ගෙ මාසික ආදායමයි ඒකෙන් කරන්න තියෙන වියදම් ටිකයි වෙන් කරලා හඳුනාගන්න එක. ඊළඟට අදායම අනුව ඒ ඒ කැටගරි එකට කොච්චර මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන්ද කියල ලියාගන්න. උදාහරණයක් කිව්වොත් මෙන්න මෙහෙමයි. ගෙවල් කුලිය රු. 25,000 / පාසල් ගාස්තු රු. 12,000 / ආහාර වියදම් රු. 10,000 වගේ. ඒ වගේම ඒ මාසෙට එන්න තියෙන උපන්දින පාර්ටි, මඟුල් ගෙවල්, බණ ගෙවල් වගේ ඔක්කොම අතිරේක වියදම් ටිකත් කලින්ම ප්ලෑන් කරල ගාණක් වෙන්කරල තියාගන්න.

 

 

  • Envelope පිරවීම

 

දැන් ඊළගට තියෙන්නෙ ලියුම් කවර පිරවීම. මේක හරිම ආස හිතෙන වැඩක්. මෙතැනදි මේ ලියුම් කවර කියන්නෙ අමුතු කවර ජාතියක් නෙමෙයි. අපි ලියුම් යවන්න පාවිච්චි කරන සාමාන්‍ය කවර. තමන්ට කැමති, පහසුයි කියල හිතෙන සයිස් එකකින් ලියුම් කවර ගන්න. අර කලින් ලියාගත්ත කැටගරීස් ප්‍රමාණයට ටිකක් වැඩියෙන් කවර ගන්න. 

ඒ වගේම තමයි මේ ක්‍රමය ඔන්ලයින් වියහියදම් කරන්න හරියන්නෙ නැහැ. මොකද ඔන්ලයින් වියදම් කෙරෙද්දී පාලනය බොහොම අඩුයි. මේක ඊට වඩා සෑහෙන්න මුදල් පාලනය වෙන ක්‍රමයක්. ඒ නිසා මාසය ඇතුළත වියදම් කරන සල්ලි ඔක්කොම බැංකුවෙන් අරගෙන තමයි වැඩේට බහින්න ඕන.

දැන් පැත්තකින් ඉඳගෙන අර කියපු කැටගරීස් ටික අදාළ බජට් එකත් එක්ක ලියුම් කවර වල ලිය ලිය කවර පුරවන්නයි තියෙන්නෙ. සල්ලි මාරු කරගෙනම වැඩේට බැස්සොත් වැඩියම ලේසියි. මෙන්න මෙහෙමයි. ගෙවල් කුලී කියල කවරයක් ලියල ඒකෙම ලියනවා රු. 25,000 කියල. 25,000ක් ගණන් කරල ඒකට දානවා. ඒ වගේ ඔක්කොම කවර ටික ගාණට පුරවගන්න. 

 

 

  • වියදම් කීරීම

 

ඊළඟට තියෙන්නෙ ඉතින් අපේ ආසම වැඩේ. වියදම් කිරිල්ල. හැබැයි මතකම තියාගන්න ඕන දේ තමයි ඒ වැඩේට වියදම් කරන්න තියෙන්නෙ ඒ කවරේ තියෙන ප්‍රමාණය විතරයි. මේකට ඉතින් පොඩි පහේ විනයක් තියෙන්න ඕන. අනික් කවර වලින් සල්ලි අදින්න බැහැ. මේ කවරෙ ඉවරයිනම් ඉවරයි තමා. එදාට කඩෙන් මොනවහරි කන්න හිතුනොත් හෙමීට ගිහින් ෆ්‍රිජ් එක ඇරල බලල තියෙන දෙයක් එහෙට මෙහෙට කරගෙන ශේප් වෙන්න තමයි තියෙන්නෙ. 

 

 

3. මේ ක්‍රමයේ වාසි

කලිනුත් කිව්ව වගේ මේ ක්‍රමයෙ ලොකුම වාසිය තමයි මුදල් නිකරුණේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වියදම් කිරීම වැළකෙන එක.  ඒ වගේම කාලයක් මේ ක්‍රමය පාවිච්චි කරනකොට ඔයාගේ මූල්‍ය විනය කියන එක සුපිරියටම හැදෙනවා. ඊට පස්සේ ඉතින් කවරෙ සල්ලි ඉතුරු උනත් අනවශ්‍ය වියදමක් කියල හිතෙනවනම් නොකර ඉන්න මට්ටමට හිතෙන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙකම ප්‍රධාන වියදම්, අනු ප්‍රධාන වියදම්, අතුරු වියදම් වගේ දේවල් සහ ඒ ඒ ඒවට අවශ්‍ය ප්‍රමුඛත්වය දීලා වියදම් කරන ඒකෙන් හැම මාසෙම නියම ට්‍රැක් එකක  අයවැය අරගෙන යන්නත් ඔයාට පුළුවන් වෙනවා. 

 

 

4.  ඔන්ලයින් කෙරෙන වියදම්

මේකත් අපි කලින් සඳහන් කළා. මේ ක්‍රමයේදී ඉතින් ඔන්ලයින් වියදම් බැහැ. බැහැම නෙමෙයි. කළොත් වැඩේ සාර්ථක නැහැ. මොකද වියදම් පාලනය කරන්න අමාරුයිනේ. ඒකටත් මෙහෙම වැඩක් කරන්න පුළුවන් හැබැයි. ඔයා ඔන්ලයින් වියදම් කරන්න හදන අදාළ කැටගරි එකට ඒ කිව්වේ බිල් පේමන්ට්ස් එහෙම නැත්තම් ඇඳුම් මිලදී ගන්න වගේ ඒ වියදමට අදාළවත් වෙනම කවරයක් වෙන් කරල වියදම් කරන්න හිතන මුදල ඒකෙ ලියන්න. සල්ලි දාන්නෙ නැහැ. මොකද ඔන්ලයින්නෙ ගෙවන්න යන්නෙ අපි. හැබැයි කාර්ඩ් එකෙන් හෝ ඔන්ලයින් බෑන්කින් වලින් ගෙව්වත් වියදම් කරන්නෙ අර ලියපු ගණන හෝ ඊට අඩුවෙන් විතරයි. ඊට වඩා බැහැ. 

 

 

5. එන්විලොප් එක හිස් වුණහම?

ඔන්න දැන් ලොකුම ප්‍රශ්නෙ. මොකද කරන්නෙ ඒ වියදමට අදාළ එන්විලොප් එකේ සල්ලි කලින්ම ඉවර උනහම? මෙන්න ලොකුම නීතිය. “වෙන envelope වලින් සල්ලි ගන්නම බැහැ”. මේ ක්‍රමය පටන් ගත්ත මුල්කාලෙ නම් “ඔන්න ඔහේ වෙන කවරෙකින් ගන්නවා” කියල හිතෙන්නම පුළුවන්. හොඳට මතක තියාගන්න. මේ ක්‍රමයේ මූලිකම අරමුණ තමයි වැඩි වියදම් පාලනය කරලා ඔයාව හරි ට්‍රැක් එකේ තියාගන්න එක. 

ඉතින් එහෙම කවරයක් ඉවර උණ වෙලාවට ස්වයං පාලනයක් ඇතුව ඒ අවස්ථාව කොහොමහරි පාලනය කරගන්න වෙනව. ඒ කිව්වෙ ඇඳුම් ගන්න සල්ලි ඉවරනම් ආසම ඇඳුමක් තිබ්බත් වැඩේ ඊළඟ මාසෙට කල්දාන්න ඕන. පෙට්‍රල් සල්ලි ඉවරනම් අනවශ්‍ය ගමන් බිමන් ටිකක් නවත්තල ඉන්න ඕන.   

 

 

6. හදිසි අවස්ථා

එහෙම පාලනය කරගන්න බැරි හදිස්සිම අවස්ථාවක් ආවොත්? ඔව් අනිවාර්යෙන්ම එහෙම අවස්ථා අපි කාගෙත් ජීවිතවලට එන්න පුළුවන්නෙ. ඒත් හැබැයි හිතුමතේට වෙන කවරෙකින් සල්ලි ඇදලා ක්ෂණිකව වියදම් කරන්නනම් බැහැ හොඳේ. අර මුලින්ම අපි හදපු බජට් එක ආපහු අතට අරගෙන සල්ලි ගන්න පුළුවන්, ලේසිම සහ වඩාත්ම ගැටළු අඩු කැටගරි එක තෝරාගෙන ඒකෙන් තමයි සල්ලි ගන්න ඕන. බජට් එකත් ආපහු වෙනස් කරලා ඒ කවරෙන් මුදල් අරන් හදිසි අවස්ථාව පාලනය කරගන්න.   

එහෙමත් නැත්තම් පුළුවන්කමක් තියෙනවනම් කරන්න තවත් වැඩක් තියෙනවා. මාසෙ මුලදිම හදිසි අවශ්‍යතා වලට වෙනම කවරයක් වෙන් කරල ඒකටත් පොඩි මුදලක් දාල තියාගන්න. එතකොට බජට් එක හිටිගමන් අවුල් යන්නෙත් නැහැ. හැබැයි මේකෙන් සල්ලි ගන්නෙ අර වගේ වියදම් නොකරම බැරි හදිස්සිම වෙලාවක් අවොත් විතරයි කියන එකත් හොඳටම මතක තියාගන්න ඕන. 

 

 

 

7. මාසෙ අන්තිමට ඉතුරු

මේක තමයි මේ වැඩේ ලස්සනම කොටස. මාසෙ අන්තිමට කවර වල ඉතුරු සල්ලි! දැන් මේක කියවද්දි නම් ඔයාල අනිවාර්යෙන්ම හිනාවෙයි. මාසෙ වියදම් කරන්නත් මදි අපිට මොන ඉතුරු සල්ලිද කියල. අපි කියනවට විශ්වාස කරන්නකෝ. මේ envelop system එක පටන් අරන් ඒකට හුරු උනහම ඔයා නොහිතන විදිහට කවර වලින් පුංචි පුංචි ගණන් ඉතුරු වෙයි. ඒ වගේම මේ ක්‍රමයට ඇබ්බැහි උනහම පාරේ තොටේ යන එන ගමන් අපි කරන කඩචෝරු, එක එක සුකුරුත්තම් ගන්න වියදම් එහෙමත් නොදැනුවත්වම අඩුවෙනව. මාසෙ අන්තිමට කලින් නොතිබුණ විදිහට එහෙම ගාණක් ඉතුරු උනහම දැනෙන සතුටනම් මිල කරන්න බැරිවෙයි. 

ඒ වගේම අපි කලින් කියපු හදිසි අවස්ථා කවරෙත් එහෙම හදිසි අවස්ථාවකට වියදම් නොවුනොත් මේ ඉතුරු ගොඩට දාගන්න පුළුවන්. නිතර යන්නෙ නැති වෙනම බැංකුවක ගිණුමක් ඇරල හැම මාසෙම මේ ඉතුරු වෙන සල්ලි ඒ පොතට දාගන්න පුළුවන්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *