වයසින් වැඩි ගැහැණු කෙනෙක් තමන්ට ගොඩක් වයසින් බාල පිරිමියෙක්ට ආදරේ කළහම මොකද වෙන්නේ?

හරි, හෙඩින් එක දැකපු ගමන් දන්නවනේ අපි මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා. ආදරේට කොහෙද වයසින් බාධා කියලා සාමාන්‍යයෙන් කිව්වට, ආදරේ කරන දෙන්නා අතරේ ලොකු වයස් පරතරයක් ආපු ගමන් පොඩ්ඩක් අහල පහල හෙල්ලිලා යනවා. වෙන එකක් ඕන නෑ, මතකනේ වික්ටර් රත්නායකගේ විවාහයට මිනිස්සු කියපු කතා. ඒ වගේම තමයි පහුගිය දවස් වල සමිතා තමන්ට වඩා බාල තරුණයෙක් එක්ක හාද වෙලාය කියලා ඇත්ත හෝ බොරු හෝ කරලියට ආපු ආරංචියටත් ඔය විදියටම සමාජ මාධ්‍ය එහෙම හෙල්ලිලා ගියා. හැමෝම ඒ ගැන කතාවෙන්න පටන් ගත්තා.

 

කොහොම හරි අපි මේ හොයාබලන්න උත්සාහ කරන්නේ එක එක්කෙනාගේ ජීවිත වල මොනවද වෙන්නේ කියන එක නෙවෙයි. ඒක අපිට අදාළ දෙයක් නෙවෙයිනේ. අපි හොයාබලන්න හදන්නේ වයසින් බාල පිරිමියෙක් එක්ක වයසින් වැඩුමහල් ගැහැණියකට ආදරය කරන්න, හාද වෙන්න, දීග කන්න බැරි ඇයි කියන එක ගැනයි. ඒ වගේ සම්බන්ධයකදී සමාජේ බහුතරයක් කඩු පොලු උස්සගෙන එන්නේ ඇයි කියන එක ගැනයි.

 

මේකේ අනික් පැත්ත, ඒ කියන්නේ වැඩිමහල් පිරිමියා සහ බාල ගැහැණීය ගැන සීන් එක අපි කලින් කියලා තියෙනවා.

 

1. වෙන්න පුළුවන්ද?

මේ සම්බන්ධයෙන් ඇහෙන ප්‍රශ්නයක් තමයි, ඇත්තටම වයසින් වැඩිමහලු කාන්තාවක් එක්ක වයසින් බාල කෙනෙක් සම්බන්ධයක් ඇතිකරගන්න පුළුවන්ද, ඇයි වයසින් බාල කෙනෙක් තමන්ගේ සම වයසේ හරි තමන්ට වඩා බාල හරි කෙල්ලෙක්ට ආකර්ෂණය නොවෙන්නේ කියන එක. හේතුව සරලයි. එක එක මනුස්සයා තවත් මනුස්සයෙක්ට ආකර්ෂණය වෙන්නේ එක එක හේතු මත. ඒකට ලෝක නීතියක් කියලා දෙයක් නෑ. සමහරු බුද්ධිමත් කමට ආකර්ෂණය වෙනවා. සමහරු රාගාන්විත බවට ආකර්ෂණය වෙනවා. සමහරු ආදරයට ආකර්ෂණය වෙනවා. සමහරු ධනයට හෝ බලයට ආකර්ෂණය වෙනවා. ඉතින් ඔය මොන කාරණාව නිසා වුනත්, වයසින් වැඩිමහළු ගැහැණු කෙනෙක්ට ඊට වඩා ගොඩක් බාල කෙනෙක් ආකර්ෂණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආදරේට නම් වයස් බේද නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

 

2. සෙක්ස්?

ඇත්තටම ලිංගික ආකර්ෂණය නිසා වුනත් මේ වගේ සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒකට දෙන්නගේ වයස් පරතරයක් බලපාන්නේ නෑ. බලපාන එකම දේ තමයි, දෙන්නට දෙන්නා ලිංගිකව කොයි තරම් සමපාත වෙනවද, දෙන්නගේ ලිංගික ආශාවන් ගැලපෙනවද, වයසින් බාල තරුණයා ලිංගිකව එක්වෙන්න පුළුවන් වයසක ඉන්නවාද කියන එක විතරයි. එතනින් එහාට මොනවද වෙන්නේ කියන එක අපිටවත් ඔබටවත් අදාළ නැහැ. මොකද දෙන්නෙක්ගේ නිදන කාමරයේ එකිනෙකාගේ කැමැත්ත සහිතව, නීත්‍යානුකූලව සිද්ධ වෙන දේවල් එතනින් පිට ලෝකෙට අදාළ නොවෙන නිසා.

 

වයසින් වැඩි ගැහැණියක් එක්ක වයසින් බාල පිරිමියෙක්ට සෙක්ස් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ වුනත් එන්න ඕන ඒ දෙන්නට තමයි. ඒකට අපි උත්තරයක් දෙනවා නම්, බැරි කමක් නැහැ. තමන්ට ලිංගික හැඟීම් තියෙනවා නම්, ලිංගිකව තමන් සක්‍රිය නම්, මනා ශරීර සෞඛ්‍යයෙන් යුතු නම් කිසිම ප්‍රශ්නයක් නෑ.

 

3. රවට්ටගෙන වෙන්න බැරිද?

වැඩිමහළු ගැහැණියක් සහ වයසින් ගොඩක් බාල තරුණයෙක් අතරේ ආදර සම්බන්ධතාවයක් ගැන අහපු ගමන් තවත් කොටසක් කියන්නේ මෙන්න මේක. ගෑණි කොල්ලව රවට්ටගෙන කියන එක. හැබැයි ප්‍රශ්නේ මේකයි. බාලවයස්කාරයෙක් නම් එහෙම රවට්ටගෙන කියන්න පුළුවන්. ඒක කොහොමත් නීතිය අනුවත් වැරදියිනේ. හැබැයි අවුරුදු 18 ට වැඩි වුණු, නීත්‍යානුකූලව තමන්ගේ ඡන්දය පවා පාවිච්චි කරන්න පුළුවන් පුරවැසියෙක් විදියට ගැනෙන මනුස්සයෙක් එහෙම රවට්ටන්න තරම් බබෙක් කියලා ලෝකයා හිතනවා නම් ඒක ප්‍රශ්නයක්. තමන් ආදර ජීවිතය සම්බන්ධයෙන් ගන්න තීන්දු තීරණ වරදින්න පුළුවන්. හැබැයි ඒකට රවට්ටගෙන කියලා සරලව කියන්න බැහැ කියන එකයි අපේ මතය. 

 

4. දැන් කසාදයක් බඳිනවද?

ඊලඟට මේ වගේ කතාවක් සම්බන්ධයෙන් අහන්න ලැබෙන්නේ දෙන්න කසාද බඳීද කියන එක. ඔව්, දෙන්නටම විවාහ වෙන්න නීත්‍යානුකූල බාධාවක් නැති නම්, කොල්ලා බාලවයස්කාරයෙකුත් නෙවෙයි නම්, දෙන්නගේම කැමැත්තත් තියෙනවා නම් විවාහ වෙන්න කිසිම බාධාවක් නැහැ. එතනදී ගොඩක් අය හිතන විදියට හොරෙන් බඳින්න ඕන කියලා දෙයක්වත්, වෙන රටකට ගිහින් ජීවත් වුනොත් හොඳයි කියලා දෙයක්වත් නෑ. තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදියට ජීවත් වෙන්න කාගෙන්වත් අවසර මොකටද? 

 

අනික් කතාව, බඳින්නම ඕන කියලා දේකුත් නැහැ හැබැයි. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය නම්, එකට ජීවත් වෙන්න වුනත් පුළුවන්. අපේ පොයින්ට් එක මේකයි. තමන් යම් දෙයක් කරන්න නීත්‍යානුකූලව හැකි තැනක ඉන්නවා නම්, තමන්ට ඒ දේ කරන්නත් ඕන නම් ඒකට වෙන ප්‍රශ්න අදාළ නැහැයි කියන එක.

 

5. පුතාත් කොල්ලට වඩා වැඩිමහල්

ඔව්, ප්‍රායෝගික ප්‍රශ්න එන්න පුළුවන් තමයි. උදාහරණයක් විදියට කිවුවොත් තම තමන්ගේ පවුල් ඇතුළේ මේ වගේ තත්වයක් එක්ක නිර්මාණය වෙන සංකීර්ණ තත්වයන් විසඳාගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. හැබැයි එකක්, හැමදෙයක්ම හොඳ සන්නිවේදනයකින් විසඳා ගන්න පුලුවන් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට, තමන්ගේ කලින් විවාහයේ දරුවා, තමන් දැන් ප්‍රේමයෙන් බැඳිලා ඉන්න තරුණයාට වඩා වැඩිමහල් වෙන්න පුළුවන්. ඒක සංකීර්ණ තත්වයක් වුනාට, බාධාවක් නෙවෙයි. තමන් හොඳ චේතනාවකින් නම් මේ දේ කරන්නේ, තමන්ගේ යුතුකම් සහ වගකීම් හරියාකාරව ඉෂ්ට කරලා තියෙනවා නම් අපේ කතාවේ ඉන්න වැඩිමහලු ගැහැණියට පුළුවන් ඒක තමන්ට කරන්න වුවමනා දෙයක් විදියට පවුලේ අය එක්ක කතාබහ කරගන්න.

 

වයස් පරතරයත් එක්ක එන වෙනත් ප්‍රායෝගික ගැටළු ගැන වුනත් දෙන්නට දෙන්නා කලින් හිතලා නම් තියෙන්නේ ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ, වයස් අවුරුදු 45 ක ගැහැණියක් වයස අවුරුදු 25 ක පිරිමියෙක් එක්ක විවාහ වෙනවා නම්, දෙන්නම මතක තියාගන්න ඕන ගැහැණියට වයස අවුරුදු 65 ක් වෙනකොටත් පිරිමියාට වයස අවුරුදු 45 යි කියලා. එතනදී එන ශාරීරික සහ මානසික අභියෝගයන්ට දෙන්නටම මුහුණ දෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් ඇත්තෙම නෑ.

 

6. සමාජේ මොනවා කියාවිද?

ඇත්තටම ගොඩක් අයට ඇතිවෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේක. සමාජය මේ වගේ සම්බන්ධතාවයකට මොනවා කියාවිද කියන එක. ඇත්තටම අතීතේ ඉඳලා නිකම් සම්මතයක් වගේ එකක් සමාජේ හැදිලා තියෙනවා, සාමාන්‍යයෙන් විවාහයකදී පිරිමියාට වඩා ගැහැණිය බාල වෙන්න ඕන කියලා. සමහරු කියන්නේ, ඉස්සර එහෙම එකක් හැදුනේ පිරිමියා වයසට ගියත් ලිංගිකව සක්‍රිය නිසාත්, ගැහැණිය ඉක්මනට ලිංගිකව පවා වයස්ගත වෙන නිසත් කියලා. ඒක ඇත්ත වුනත් බොරු වුනත්, දැන් කාලේ ඔය කතා වෙනස් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. උදාහරණයක් විදියට ගත්තොත්, හොඳට එක්සයිස් කරලා, කෙල්ලෝ වගේ ඉන්න සෑහෙන්න වැඩිමහලු ගැහැණු අපිට කොතෙකුත් මුණගැහෙනවා.

 

අනික මේ වගේ දෙයක් නිසා සංස්කෘතිය හෝ සදාචාරය විනාස වෙනවාය කියන අයගෙන් අහන්න සිද්ධ වෙන්නේ එක දෙයයි. කොහොමද සංස්කෘතිය හරි සදාචාරය හරි මේ නිසා විනාස වෙන්නේ? වයසින් වැඩි ගැහැණියකගේ සහ වයසින් අඩු පිරිමියෙක්ගේ ජීවිතය සදාචාරයට අහු වෙන්නේ කොතනින්ද?

 

7. බෝයි ටෝයි කෙනෙක්ද?

මෙන්න මේකත් වැඩිමහළු ගැහැණියක් තමන්ට වඩා ලාබාල පිරිමියෙක් එක්ක හාද වෙනකොට සමාජයෙන් ඇහෙන කතාවක්. ඒ තමයි කොල්ලව තියාගෙනද ඉන්නේ කියන එක. මෙහෙමයි. සාමාන්‍යයෙන් වයසින් වැඩිමහළු ගැහැණියක් යම් කිසි වෘත්තියක හිටියා නම්, මේ වයස වෙනකොට සමාජ තත්වයෙන්, වෘත්තියෙන් සහ සමහර වෙලාවට මූල්‍යමය ශක්තියෙන් ඉස්සරහින් ඉන්න පුළුවන්. ඊට සාපේක්ෂව ලාබාල තරුණයෙක් තමන්ගේ වෘත්තිය හෝ සමාජ ජීවිතය පටන් ගත්තු ගමන් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක ගොඩක් දෙනෙක් සැක හිතනවා මේ කොල්ලව බෝයි ටෝයි කෙනෙක් විදියටද පාවිච්චි වෙන්නේ කියලා.

 

ඒකටත් අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. නීතියෙන් ප්‍රශ්නයක් නැති නම්, කොල්ලගෙත් ප්‍රශ්නයක් නැති නම් ඒ වගේ දෙයක් අපිට අදාළ කරගන්න බැහැනේ.

 

දැන් එතකොට මේ කතාවේ සාරාංශය මොකද්ද? සරලයි. මේ වගේ කාරණයක් රටේ පවතින නීතියටත් ප්‍රශ්නයක් නැති නම්, ඒ අදාළ දෙන්නටත් ප්‍රශ්නයක් නෙවෙයි නම් අහක ඉන්න අපි මොකටද ඒක අදාළ කරගන්නේ?  මේකට අදාළ වෙන්නේ අපි ආස කරන යම් කිසි තරුවක් හෝ කලා ශිල්පියෙක් වුනත් එච්චරයි. ඒ අයගේ පුද්ගලික ජීවිතේ අපිට අදාළ නෑනේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *