කොල්ලෙක්ට ඕනම තැනකට දාගෙන යන්න සෙට් වෙන කැප්ස් සහ හැට්ස්!

සාමාන්‍යයෙන් කොල්ලෙක් ගත්තොත් කැප් එකක් ජීවිතේට දාලා නැති වෙන්න විදියක් නෑ. සමහර වෙලාවට හැම කොල්ලම හැට් එකක් දාලා නැති වෙන්න පුළුවන්. හැබැයි අතිබහුතරයක් කොල්ලෝ කැප්ස් නම් එක දවසක් හරි දාලා ඇති. හරි. මේ කතාව කැප්ස් සහ හැට් ගැන. නිකම්ම කැප්ස් සහ හැට්ස් නෙවෙයි, ෆැෂන් එකක් විදියට දාන්න පුළුවන් කැප් වර්ග සහ හැට් වර්ග ගැන. විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් කැප් දැම්මත් හැට් එකක් ෆැෂන් එකට දාන්න පොඩ්ඩක් පැකිළෙනවනේ. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ කැප්ස් වර්ග සහ හැට්ස් වර්ග වල ෆැෂන් ටිකක් අපේ කොල්ලන්ට අඳුන්වලා දෙන්න.

 

1. Snapback

මේක සාමාන්‍යයෙන් දාන්නේම අනික් පැත්තට. අපි දැකලා තියෙනවනේ සාමාන්‍ය බේස්බෝල් කැප් වුනත් අනික් පැත්ත හරවලා දාගෙන යනවා. හැබැයි ඒකෙන් ඒ තරම් ලස්සනක් එන්නෙ නෑ. හැබැයි ස්නැප්බැක් කැප් එක හදලා තියෙන්නෙම පිටිපස්සට දාන්න. ඒ නිසා ඒක සාමාන්‍ය කැප් එකකට වඩා ගැඹුරුයි වගේම, ඉස්සරහින් වැහිලා තියෙන්නේ.

 

මේක සාමාන්‍යයෙන් ඕනෑම ෆන්කි ලුක් එකකට මැච් වෙනවා. ඩෙනිමකට ටී ෂර්ට් එකක් දාලා, ඩෙක්ස් දෙකක්, සන්ග්ලාස් දෙකක් දාලා ස්නැප්බැක් එකක් දැම්මහම ගති.

 

2. Dad Hat

මේකත් කැප් එකක් තමයි. හැබැයි බේස්බෝල් කැප් එකකට වඩා වෙනස්. මේකේ ක්ලැසික් ගතියකුත් තියෙනවා. ඇත්තටම ඩැඩ් හැට් කියලා කියන මේ කැප් ජාතිය වින්ටේජ් තමයි. සාමාන්‍යයෙන් කැන්වස් වලින් හරි, කපු මිශ්‍ර ඝන රෙද්දකින් හරි මහලා තියෙන මේ ඩැඩ් හැට්ස් ඕනම සයිස් එකක ඔළුවකට දාන්න පුළුවන් විදියේ ස්ට්‍රැප්බැක් ක්ලෝසර් එකක් එක්ක තමයි එන්නේ.

 

මේකත් කැෂුවල් ඇඳුමකට ගාණට ගැලපෙනවා. හැබැයි එකක්, කැෂුවල් වුනත් නීට් ඇඳුමකට තමයි ඩැඩ් හැට් එකක් ගොඩක් හොඳට යන්නේ. වින්ටේජ් කැෂුවල් කිට් එකක් නම් වඩාත් හොඳයි.

 

3. Baseball Cap

ඇත්තටම ස්නැප්බැක්ස් සහ ඩැඩ් හැට්ස් ඇතුළු ඔය පුංචි පුංචි වෙනස්කම් එක්ක තියෙන කැප් ජාති ඔක්කොම බේස්බෝල් කැප්ස් විදියට තමයි ගොඩක් අය අඳුනගන්නේ. හැබැයි මුලදී බේස්බෝල් ටීම් යුනිෆෝම් වල කොටසක් විදියටම ඇඳපු බේස්බෝල් කැප් වල තාමත් ස්පෝටි සලකුණු තියෙනවා. විශේෂයෙන්ම ඉස්සරහා විවිධ බැජ් ගහලා තියෙනවා හරි මහලා තියෙනවා හරි දකින්න පුළුවන්.

 

බේස්බෝල් කැප් එකක් කැෂුවල් ඇඳුමක් එක්ක වුනත්, ස්මාට් කැෂුවල් ඇඳුමක් එක්ක වුනත් ගාණට සෙට් වෙනවා.

 

4. Fedora

ෆෙඩෝරා හැට් කිව්වහම දැන් කාලේ ගොඩක් අය දන්නෙ නැති වුනාට, එක්දාස් නවසිය විසි ගණන් වල චිකාගෝ වල හිටපු ගැන්ග්ස්ටර්ලා එහෙම දැම්මෙම ෆෙඩෝරා තමයි. ඔය ඒ කාලේ පාතාල නායකයෝ ඉන්න හොලිවුඩ් ෆිල්ම් එකක් බැලුවත් ෆෙඩෝරා දැකගන්න පුළුවන්. හැබැයි මේ ෆෙල්ට් වලින් ටිකක් ගැඹුරු හැට් එක අදටත් එක වගේම ෆැෂන් වලට වටින අංගයක්. හැබැයි ගොඩක් අය ෆෙඩෝරා දාන්නෙ නැති නිසාම දැන් වෙනකොට ඒක ක්ලැසික් එකක්.

 

ඔය වේස්ට් කෝට් එක පවා දාලා, ඝන රෙද්දෙන් කරපු කෝට් එකක් දාලා, ෆුල් කෝට් කිට් එක ගහලා යන තැනකට දාන්න පුළුවන් නියමම අයිටම් එකක් තමයි ෆෙඩෝරා හැට් එක. ඕන නම් ඒ කාලේ විදියට ක්ලැසික් පොයින්ටි ෂූස් දෙකකුත් දැම්ම නම් මරු.

 

5. Trilby

සමහරු මේ ට්‍රිල්බි එක ෆෙඩෝරා එකක් කියලා බැලූ බැල්මට වරදවා වටහා ගන්නව. හැබැයි ඇත්තටම ගත්තොත් ට්‍රිල්බි එක ෆෙඩෝරා එකට වඩා වෙනස්. විශේෂයෙන්ම ෆෙඩෝරා එකේ තරම් ලොකු ගැට්ටක් ට්‍රිල්බි එකේ නෑ. ඒ වගේම ට්‍රිල්බි එකේ ගැට්ට පොඩ්ඩක් පහතට වැටෙන ගතියකුත් තියෙනවා. ඔය සමහර ෆිල්ම් වල එහෙම ට්‍රිල්බි එක ඩොක්ටර් ඩූලිට්ල් හැට් කියලා හඳුන්වන්නේ, 1967 ඩොක්ටර් ඩූලිට්ල් ෆිල්ම් එකේ ඔය හැට් එක දාගෙන හිටපු නිසා තමයි. ඔය ටිම්බර්ලේක් ඇතුළු ගොඩක් 90 දශකයේ බෝයිබෑන්ඩ් වල හාදයොත් ට්‍රිල්බි දැම්මා.

 

මේකට ෆුල් සූට් එකක් ඕන නෑ. ගැලපෙන ස්මාට් කැෂුවල් ලුක් එකකට වුනත් කැෂුවල් ලුක් එකකට වුනත් ට්‍රිල්බි හැට් එක ගාණට කැපෙනවා.

 

6. Panama Hat

මේක බොහොම සාම්ප්‍රදායික විදියේ හැට් එකක්. ඔය මෙක්සිකන් ෆිල්ම් වල ඩ්‍රග් ලෝඩ්ලා එහෙමත් දාගෙන ඉන්නවා පෙන්නන්නේ පැනමා හැට්. මෙහෙත් ගන්න තියෙනවා. මේක ඇත්තටම ඉක්වදෝරයෙන් තමයි ආවා කියන්නේ. හැබැයි දැන් වෙනකොට ලෝකේ පුරාම ප්‍රසිද්ධයි. පැනමා හැට් එක බොහොම ලා පාටවලින් එන්නේ. ඒ වගේම සැහැල්ලුයි,. දාගෙන ඉන්නත් ලේසියි. ඒ නිසාම අපේ වගේ උෂ්ණාධික රටකටත් පැනමා හැට් එක හොඳින්ම ගැලපෙනවා.

 

සුදු පාට ලිනන් කමිසයක් එහෙම තියෙනවද? අන්න එහෙමනම් ඒක තමයි පැනමා හැට් එකට ගාණට ගැලපෙන ඇඳුම. සුදු හෝ ලා පාට ලිනන් කමිසයකුයි, කලිසමකුයි ඇඳලා, හාෆ් ෂූස් දෙකක් දාලා, ඒවියේටර් සන්ග්ලාස් දෙක දාගත්තා නම්, ඒ කිට් එකට තව අඩු පැනමා හැට් එක විතරයි!

 

7. Flat Cap, Newsboy Cap

මේකත් බොහොම ප්‍රසිද්ධ, ලංකාවේ වුනත් බේස්බෝල් කැප් වගේම හැමතැනම ගන්න තියෙන කැප් වර්ගයක්. විශේෂයෙන්ම පිටකොටුවේ එහෙම මේ ෆ්ලැට්කැප් ලේසියෙන්ම හොයාගන්න තියෙනවා. මේකේ විශේෂත්වය තියෙන්නේ කැප් එකක් වගේ දැම්මට, ඉස්සරහා ගැට්ට උඩටම කැප් එකේ ඉහළ කොටස වැටිලා තියෙන එක. මේක වඩාත් ඝනකම මැටීරියල් වලින් වගේම, රෙදි වලිනුත් හදලා තියෙනවා දකින්න පුළුවන්. තව දෙයක්. අද වෙනකොට ෆ්ලැට්කැප් වගේම අර නිව්ස්බෝයි කියන කැප් වර්ගයත් එක වගේ තමයි ගොඩක් දෙනෙක් වටහා ගන්නේ. අන්න ඒ නිසයි අපි ඒ දෙකම එකකට ගත්තේ. ඒත් ඒ දෙක දෙකක්. මේ දෙකේ තියෙන විශේෂම වෙනස තමයි, ෆ්ලැට්කැප් එකට වඩා නිව්ස්බෝයි කැප් එක වඩාත් රවුම් සහ ලොකු ඉඩකින් යුක්ත වීම. ඒ නිසාම නිව්ස්බෝයි කැප් එකක් දැම්මහම ටිකක් බැගී ගතියක් කැප් එකේ තියෙනවා. ෆ්ලැට් කැප් එක ඊට වඩා සිහින් හැඩයකින් යුක්තයි කියන්න පුළුවන්. මේ කැප් ගැන මතක් කරගන්න පුළුවන් සයිමන් නවගත්තේගම හරි ෂර්ලොක් හෝම්ස් හරි මතක් කරගත්තහම

 

ෆ්ලැට් කැප් වුනත්, නිව්ස්බෝයි කැප් වුනත් ක්ලැසික් ෆැෂන් වලට තමයි යන්නේ. ඒ නිසා ෆුල් ෆන්කි, ෆුල් කැෂුවල් කිට් වලට යන්නෙ නෑ. හැබැයි එතනින් එහාට ඩෙනිම් එකේ ඉඳලා බ්ලේසර් එක වෙනකල් ඩීසන්ට්, ස්මාට් කැෂුවල් ක්ලැසික් කිට් වලට මේ දෙක සෙට් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *