රස්සාවට ගිය පළවෙනි දවසේ පුළුවනි නම් මෙහෙම ඉන්න

රස්සාවක් හොයාගන්න එක ලේසි නෑ. හැබැයි එහෙම තැනකට හැඩ ගැහෙන එක රස්සාව හොයාගත්තටත් වඩා අමාරු දෙයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් ම ඔයා ලැජ්ජාශීලි කෙනෙක් නම් මේ ලිපිය ඔයාටමයි. කොරෝනා කතන්දර එක්ක රැකියා ස්ථානවල මාරුවීම්, ඉන්ටර්විව් පාස් වෙලත් ජොබ් එකට යාගන්න බැරි වුණ උදවිය හැමෝම නමෝවිත්තියෙන් කියවන්න එහෙනම්.



1. සිනහව


ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් මැටර්ස් කිව්වලු. දැන් ගොඩක් පෞද්ගලික ආයතන ඇඳුමටත් වඩා බලන්නේ මනුස්සයෙකු විදියට පුද්ගලයගේ තියන කොලිටිය. එහෙමයි කියලා ගෝනි පඩංගුවක් ඇඳගෙන යන්න එපා ඉතින්. නමුත් මතක් කරලා ඇඳගෙන යන්න ඕනි දෙයක් තමයි මූණේ තියන හිනාව. වැඩ කරන තැන යාළුවෝ හදාගන්න ඕනි. ආරක්ෂාවට ඉන්න, කැන්ටිමේ ඉන්න, අතුපතු ගාන සහ එකට වැඩ කරන හැමෝ එක්ක ම යාළු වෙන්න ඕනි. ඒකට ලේසිම විදිය තමයි හිනාව. බුම්මට්ටා වගේ හිටියොතින් ඔයා සීරියස් පොරක් කියලා හිතාන කතා කරන්න ලෑස්ති මිනිස්සු පවා ඈත් වෙන්න පුළුවන්. 



2. හැකි තරම් අය සමඟ කතා කරන්න


තැනක් දුවන විදිය දැනගන්න නම් දුවන කට්ටියගෙන් ම අහන්න ඕනි. කවුරුත් ඔයාට බුලත් දීලා කතා කරන්න ඉන්නකන් නම් හිටියොත් ඔයා පරාදයි. එයාලත් ඔයා ගැන දැනගන්න ආසාවෙන් ඉන්නවා ඇත්තේ. ඔයා ආශ්‍රය කරන්න පුළුවන් හරි විනෝදකාමී මිත්‍රශීලි කෙනෙක් කියලා අඟවන්න පුළුවන් මේ කතාවෙන්. ඒක දිගුකාලීන ව වගේ ම කෙටිකාලීන ව තැනට හුරු වෙන්නත් හොඳයි.



3. ඇහුම්කන් දෙන්නා වීම


පළවෙනි දවසේ නෙවෙයි පළවෙනි මාසෙම මේ විදියට ඉන්න පුළුවනි නම් මරු. මේක කලින් කියපු දෙවෙනි පොයින්ට් එක එක්ක පටලවාගන්න එපා. ඒකෙදි එකිනෙකාගේ සුහදතාවය වර්ධනය කරගන්නවා. මෙතැන දි වැඩ සහ ආයතනය සම්බන්ධයෙන් තමයි ඇහුම්කන් දෙන්න ඕනි. ඒ විදියෙන් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔයා දේවල් ඉගෙනගන්න ආසා කරන හොඳ කෙනෙක් කියලත් අයිඩියා එකක් එනවා. සමහර අය අළුතින් ජොබට ගිහින් ලයින් එකක් දානවා. ඒ කෙනා නම් වෙන්න එපා.



4. වැඩියෙන් සමීප විය යුතු අය හොයාගන්න


පළවෙනි දවසෙ ම අල්ලන්න ඕනි නිල අල්ලාගන්න ඕනි. කොම්පැණිය මහා විශාලයි. සෑහෙන පිරිසක් සේවය කරනවා. ඔක්කොම එක්ක සාමෙන් හිටියත් එතනින් කුඩා පිරිසක් එක්ක තමයි ඔයාට නිතර කතා කරලා ඉන්න වෙන්නේ. අන්න ඒ කුඩා පිරිස වැඩියෙන් යාළු කරගන්න බලන්න. වැඩක් නැති වුණත් බොරු ප්‍රශ්නයක් අහන්න. එයාගේ වෘත්තීය ප්‍රගතිය අහන්න. සමීපතමයන් කරගන්න.



5. කෑමට, කෝපි කෝප්පයට හා කියන්න


මේ සංස්කෘතිය මෑතක ඉඳන් තමයි ඇති වුණේ. පළවෙනි දවසේ රැකියාවට එක් වුණා ම එයාට බොසා හෝ වැඩ කරන අනෙක් අය දවල් කෑමට ආරාධනා කරනවා. නැති නම් හවස් ජාමේ තේ කෝප්පෙකට යන්න සෙට් වෙන්න එන්න කියනවා. මේවට නම් නෑ බෑ කියන්න එපා පුතෝ. එක අතකින් කෑමක් ලැබෙනවා. ඊටත් වඩා හොඳ දේ තමයි එයාලට දැනෙන්න අරින එක ඔයා ඒ සංස්කෘතියට අනුගතයි කියන එක.

 


6. අගය කිරීම


මේ වැඩේට ඔයාට පෙර සූදානමක් අවශ්‍ය වෙනවා. LinkedIn වගේ එකකින් හොයාගන්න පුළුවනි කලින් ම මෙතන වැඩ කරන අයගේ විස්තර සහ ඔවුන්ගේ ජයග්‍රහණ. ඉතින් කලින් ම එහෙම නෝට් කරගෙන ගිහින් මුහුණට මුහුණ හමු වුණාම ඒ ගැන කතා කරන්න. කවුරුත් ආසයි අගය කරන්නන්ට.

 



7. සෙල්ෆිය


වැඩ ඉවර වෙන්න ඔන්න මෙන්න තියා කට්ටියට කියන්න පළමු දවස මතකයේ රැඳෙන්න සැල්පියක් ඕනි කියලා. සමහරවිට ඔයාට ඒක ඕනෙත් නැතුව ඇති. නමුත් ඒ වගේ දෙයක් කරන එක දිගුකාලීන සම්බන්ධයකට ලොකු ආයෝජනයක්. ඔයාගේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එක අනෙක් අයට ඕනෑ වෙයි. වට්ස්ඇප් කරන්න නම්බර් ෂෙයාර් වෙයි. ෆේස්බුක් මිතුරුකම් ඇති වෙයි. පුංචි සෙල්ෆියකට සෑහෙන දේවල් කරන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published.