දිළිඳු රටවල් සුපිරි රටවල් බවට පත් කරපු නායකයින්

අපේ රටේ කාලෙන් කාලෙට කතා වෙන දෙයක් තමයි 48 ලංකාව නිදහස ලබා ගනිද්දී ආසියාවේ දෙවෙනි විශිෂ්ටතම ආර්ථිකය තිබ්බේ අපිට කියන එක සහ අපි දෙවැනි වුණේ ජපානයට කියන එක. ඒ වගේම සිංගප්පූරුවේ ලී ක්වාන් යූ තමන්ගෙ රට සංවර්ධනය කරන්න ආදර්ශය විදිහට බැලුවෙ ලංකාව දිහා කියන එකත් ප්‍රසිද්ධ රහසක්. කොහොම වුණත් මේ කතාවලින් පැහැදිලි වෙන දේ තමයි අපේ රටට ගැලපෙන නිවැරදි නායකත්වයක් ලැබුණේ නැහැ කියන එක. අපි අද කථා කරන්න යන්නේ දිළිඳු රටවල් සුපිරි රටවල් බවට පත් කරන්න මැදිහත් වුණු, පුරෝගාමී වුණු නායකයෝ කීපදෙනෙක් ගැන. හැබැයි මේ ලැයිස්තුවට අපි තෝරගත්තේ අප්‍රිකානු රටවල නායකයන් විතරයි 

 

1. නෙල්සන් මැන්ඩෙලා 

නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ පළවෙනි කළු ජාතික ජනාධිපතිවරයා විදිහට වගේම දකුණු අප්‍රිකාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන්න සමත් වෙච්ච නායකයෙක් විදිහට ලෝකය පුරා ගෞරවාදරයට පත් වෙනවා. ඒ වෙනකොටත් දකුණු අප්‍රිකාව කියන්නේ සංවර්ධිත රටක්. හැබැයි ප්‍රශ්නේ තිබ්බේ රටේ බහුතරයක් වුණු කළු ජාතිකයින් අන්ත දිළිඳුව ඉද්දි සුදු ජාතික සුළුතරයක් රටේ සම්පත් සූරා කෑම. මැන්ඩෙලා මේ ක්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්න සමත් වෙනවා. බොහොමයක් කළු ජාතිකයන් මේ නිසා මැන්ඩෙලාව දේවත්වයෙන් අදහනවා. එතෙක් කලක් සුදු ජාතිකයන්ට පමණක් සීමා වෙච්ච බොහෝ රැකියා අවස්ථාවන් සෑම දෙනාටම විවෘත වුණේ නෙල්සන් මැන්ඩෙලාගේ මේ මැදිහත් වීම නිසා.

 

2. හේලී සෙලාසී

හේලී සෙලාසි ඉපදුනේ ලෝකයේ අති පැරණි රාජ වංශයක වගේම අති පැරණි රටක. ඒ රට තමයි ඉතියෝපියාව. බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු නොවෙච්ච එකම අප්‍රිකානු රට විදිහට ඉතියෝපියාව සඳහන් කරන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධය සමයේදී නම් වසර කීපයකට ඉතියෝපියාවට ඉතාලියට යටත් වීමට සිදු වුණා. නමුත් මේ සියල්ල අවසානයේ දී ඉතියෝපියාව වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑමට එවකට එරට අධිරාජයා වුණු හේලී සෙලාසී කටයුතු කළා. අද වෙනකොට ඉහළම අධ්‍යාපන මට්ටමක් සහිත රටක් වන ඉතියෝපියාවේ පාසල් පද්ධතිය පළමුවරට වැඩිදියුණු කරන්න පටන් ගත්තේ ඔහු විසින්.

 

3. ක්වමේ නකමුරා 

මේ වන කොට ඝානාවේ වැසියන් ගේ එකම බලාපොරොත්තුව වෙලා තියෙන්නෙ තව වසර නමයක් ඇතුළත ඒ කියන්නේ 2030 වෙන්න කලින් ඝානාව පළමු සංවර්ධිත අප්‍රිකානු රටවල් අතරින් එකක් බවට පත්කර ගැනීම. ඒ වෙනුවෙන් ඔවුන් විශාල ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවතිනවා. නමුත් මේ ඉලක්කය ඝානාවට ලබා දීමට පසුබිම සකස් වෙන්නේ 1957 සිටයි. ඒ ඝානාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමට පුරෝගාමී වුණු ක්වමේ නකමුරාගේ මග පෙන්වීම යටතේ. වසර ගණනාවක් පුරා ඝානාවට වැඩි වශයෙන් බලපෑ ප්‍රශ්න වන දිළිඳුකම සහ කුසගින්නට තිත තැබීමට ඔහු විසින් දැවැන්ත ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කරනු ලැබුවා.

 

4. තෝමස් සංකාරා

මාක්ස් වාදය විශ්වාස කළ විප්ලවවාදී තෝමස් සංකාරා, 1983 දී බුර්කිනා ෆාසෝහි ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඇතැම් අය ඔහුව අප්‍රිකාවේ චේ ගුවේරා ලෙසද හඳුන්වනු ලබනවා. යුද භටයකු ලෙස මැඩගස්කරයේ සේවය කරද්දී මැඩගස්කර තරුණයන් එරට රජය පෙරළා දැමීමට කටයුතු කළ ආකාරය පිළිබඳව ලැබුණු අත්දැකීම් මත නැවතත් 1980 දී තමන්ගේ උපන් බිම වූ අපර් වොල්ටා (රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසු ඔහු රටේ නම බුර්කිනා ෆාසෝ ලෙස වෙනස් කරනවා) වෙත ඔහු පැමිණියා. එතැන් පටන් ඔහුගේ එකම අරමුණ වුණේ තමන්ගේ මව්බිමේ ඉරණම වෙනස් කිරීමයි. 1984 දී ඔහුව ඝාතනයට ලක් වුණත් ඔහු විසින් ඇති කරනු ලැබූ සමාජ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ බුර්කිනා පාසෝවේ දියුණුවට පදනම දමා තිබුණා.

 

5. කෙනත් කවුන්ඩා

කෙනත් කවුන්ඩා 1964දී සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා බවට පත් වුණා. එතැන් පටන් 1991 දී ඔහුව බලයෙන් පහ කරනතෙක් ජනාධිපති ධුරය දරනු ලැබුවා. ඇතැම් අය ඔහුගේ පාලන සමය විවේචනය කරද්දි බහුතරයක් සැම්බියානු ජනතාව සඳහන් කරන්නේ ඔහුගේ  පාලන කාලයේදී රට තුළ පැහැදිලි වෙනසක් ඇතිකරනු ලැබූ බවයි. එතෙක් කාලයක් රටේ බහුතරයක් සම්පත්, විශේෂයෙන්ම තෙල් සම්පත කළමනාකරණය කරනු ලැබුවේ විදේශික සමාගම් මගින්. නමුත් කෙනත් කවුන්ඩා විචක්ෂණශීලීව මෙම සමාගම් වල බහුතර කොටස් ප්‍රමාණයක් තම රට වෙත ලබා ගැනීමට කටයුතු කළා. නමුත් මේ නිසාම කවුන්ඩාට විවිධ බලපෑම් වලටත් ලක්වෙන්න සිදුවුණා. මෙහි ප්‍රතිඵලයක් විදිහට ඔහුගේ ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති සාර්ථක වුණේ නැහැ.

 

6. එලන් ජොන්සන් 

පළමුවරට අප්‍රිකානු රටක ජනාධිපතිවරියක් බවට පත්වුණේ ඇයයි. ඒ 2006 සිට 2018 දක්වා ලයිබීරියාවේ ජනාධිපතිවරිය ලෙස කටයුතු කිරීමෙන් . ඇතැම් අය අප්‍රිකාවේ යකඩ කාන්තාව විදිහටත් ඇයව හඳුන්වනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන ඇය සිය රටෙහි දූෂිත ආණ්ඩු ක්‍රමයට එරෙහිව සිරබත් කමින් ද පිටුවහල් වෙමින් ද සටන් කරනු ලැබුවා. අවසානයේ දී ඇගේ දේශපාලන ගමන තුළ තම රටේ ඉහළම නායකත්වයට පත් වීමත් සමඟ රට තුළ සාමය ආරක්ෂා කර ගැනීමට මෙන්ම රටෙහි ආර්ථික වර්ධනය කෙරෙහිත් විශේෂ අවධානයක් ඇය විසින් යොමු කරනු ලැබුවා.

 

7. සෙට්සේ කාමා

සෙට්සේ කාමා, බොස්ට්වානාවේ ජනාධිපතිවරයා බවට පත්වන විට එය ලොව තුන්වෙනි දුප්පත් රටයි. මුළු රටටම උපාධිධාරීන් සිටියේ විසි දෙකක් පමණයි. කාමා ඉදිරියේ විශාල අභියෝගයක් තිබුණු අතර එම අභියෝගය කෙසේ හෝ ජය ගැනීමට ඔහු කටයුතු කළා. ඔහුගේ සමකාලීන අප්‍රිකානු නායකයන් මාක්ස්වාදය කෙරෙහි වැඩි ආකර්ෂණයක් දක්වද්දී කාමා නිදහස් ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි දැඩි විශ්වාසයක් තැබුවා. ඒ වගේම බොස්ට්වානාව තුළ මානව හිමිකම් සඳහා විශාල ඉඩකඩක් ලබා දෙනවා. රටේ පවතින තඹ සහ දියමන්ති වැනි සම්පත් මගින් ලැබූ ආදායම් රටේ යටිතල පහසුකම් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට ඔහු ආයෝජනය කරනු ලැබුවා.1986 දී ඔහු මිය යන විට ඔහු බොට්ස්වානාව අප්‍රිකාවේ දියුණුම රටවල් කීපය අතරින් එකක් බවට පත් කර තිබුණා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *