Social Media එහෙමත් නැත්තම් සමාජ මාධ්‍ය කියන්නෙ අද වෙද්දි අපි හැමෝම දන්න, හැමෝම කතාබහ කරන මාතෘකාවක්. අළුත් තාක්ෂණයෙන් අපි කාලාන්තරයක් සමාජ සම්බන්ධතා පවත්වපු ආකාරය වෙනස් කරපු අවස්ථාවක්. ඒකෙන් සමාජයට වෙච්ච හොඳ නරක දෙකම නිතර නිතර කතාබහට ලක්වෙනව. ඒක වෙනමම කතා කරන්න ඕන ලොකු මාතෘකාවක්.
මේ කියන්නෙ සමාජ මාධ්‍ය භාවිතය teenagersලට ඒ කිව්වෙ නව යෞවන අවධියේ ඉන්න අපේ දරුවන්ට ඇති කරන බලපෑම් ගැනයි. දෙමව්පියෝ හුඟක් හිතන කාරණයක් තමයි තාක්ෂණය, තාක්ෂණික මෙවලම් භාවිතය පුංචි දරුවන්ට බලපෑම් කරන ප්‍රමාණය. අපි නිතරම කියනවනෙ “පුංචි බබාලට ෆෝන්ස් දෙන්න එපා, එයාලගෙ බුද්ධි වර්ධනයට හොඳ නෑ” කියල එහෙම. හැබැයි අපි ඇත්තටම ඒ තරම්ම අවධානය දෙනවද මේ තාක්ෂණික මෙවලම් සහ සමාජ මාධ්‍ය භාවිතය අවුරුදු 13ත් 19ත් අතරේ අපේ නව යොවුන් දරුවන්ට බලපාන හැටි ගැන? සමාජ මාධ්‍ය කියන්නෙ අද කාලෙ දරුවෝ අතර ජනප්‍රිය ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ්, වට්සැප් වගේ හැම එකක්ම. ගණනය කිරීම් වලට අනුව නව යොවුන් දරුවන්ගෙන් 97%ක්ම මේ සමාජ මාධ්‍ය භාවිතා කරනවා. අපි වැඩිය නොහිතුවට නව යොවුන් අවධිය කියන්නෙත් දරුවෙකුගේ වර්ධනයේ වැදගත්ම අවධියක්. ඉතින් අපි බලමු අනවශ්‍ය සමාජ මාධ්‍ය භාවිතය මේ teenagersලට බලපාන හැටි ගැන.
1. සමාජ සම්බන්ධතා පිළිබඳ ගැටළු
සමාජ මාධ්‍ය භාවිතය කියන්නෙ එක්තරා ඇබ්බැහි වීමක් කියල ඒවා භාවිතා කරන අපි කවුරුත් දන්නවනෙ. විශේෂයෙන්ම මේවා භාවිතා කරන තරුණ දරුවො ඉස්කෝලෙ ඇරිලා ආපු වෙලාවේ ඉඳන් නින්දට යනකන්ම, පාඩම් කරද්දි, TV බලද්දි, කෑම කද්දි පවා ෆෝන් වල, ටැබ් වල ඔළුව ඔබාගෙන මේ social media හරහා චැට් කරන එක, පෝස්ට්ස් දාන එක, ෂෙයාර් කරන එක තමයි කරන්නේ. හැබැයි ඉස්සර තරුණ උදවිය පුරුදු වෙලා හිටියේ එළියට ගිහිල්ල යාළුවො එක්ක එකතුවෙලා කතා බහ කරන්න. දැන් ඒක මුළුමනින්ම වෙනස් වෙලා. යාළුකම් ඇතිවෙන්නෙ, කතා කරන්නෙ, තරහ වෙන්නෙ ඔක්කොම ඔන්ලයින්. මේක දරුවන්ට අනාගතේ සමාජය එක්ක ගැටෙන්න අවශ්‍ය සමාජ කුසලතා හදාගන්න තියෙන අවස්ථාවට ලොකු බාධාවක්. ඒ කිව්වෙ මුහුණට මුහුණ හමුවෙලා ආගන්තුකයෙක් එක්ක කතාකරන හැටි, සම්බන්ධතාවයක් ගොඩනගාගන්න හැටි, facial expression ඒ කිව්වෙ කතාබහ කරද්දි මුහුණෙන් කෙරෙන භාව ප්‍රකාශනයන් පාලනය කෙරෙන හැටි, ශරීර භාෂාව ඒ කිව්වෙ body language කියන දේවල් එහෙම මේ සමාජ මාධ්‍ය හරහා කෙරෙන කතා බහේදී පුරුදු වෙන්නෙම නැති තරම්. සමාජ මාධ්‍ය හරහා එක ක්ලික් එකකින් බ්ලොක් කරලා දානවා මිසක් සමාජයේ හැසිරෙද්දි ගැටළු ඇතිවුනාම විසඳ ගන්න හැටි එහෙමත් දරුවන්ට මඟහැරෙන පාඩම්.
2. නින්ද අඩුවීම
ඊළඟ දේ තමයි මහා රෑ වෙනකම්ම ෆෝන් එකට ඔලුව ඔබාගෙන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යන එක වගේම පාන්දරට ඇහැරිලත් මේ ෆෝන්ස් බලන එක. ඒකෙන් වෙන්නෙ මේ දරුවන්ට අවශ්‍ය ගුණාත්මක නින්ද අහිමිවෙන එක. නින්ද අහිමිවීම නිසාම දවස පුරාම හරිම වෙහෙසකාරී ගතියක්, නිතර කේන්ති යාම, අධ්‍යාපන වැඩ වලට බාධා වගේම ඊට එහා ගියපු මානසික සෞඛ්‍ය ගැටළු පවා ඇතිවෙන්න පුළුවන්.
3. අනිත් අයගේ ජීවිත ගැන වැරදි අවබෝධයක්
අපි හැමෝම දන්න දෙයක් තමයි මිනිස්සු තමන්ට තියෙන දේ හරිම උජාරුවෙන් පිටට පෙන්නන්න හරිම ආස බව. මේක ලොකුවටම සිද්ධ වෙන තැනක් තමයි මේ සමාජ මාධ්‍ය. හැබෑ ජීවිතේදි සමාජයේ එකට ජීවත් වෙනකොට මිනිස්සුන්ට ඇති නැති තැන්, වරදින තැන් ඔක්කොම අපි දැක්කට ෆේස්බුක් වගේ සමාජ ජාලවල අපි හුඟක් වෙලාවට පෝස්ට් කරන්නෙ ලස්සන, සුභවාදී දේවල්ම විතරයි. ඉතින් මේ දේවල් දකින දරුවන්ට ජීවිතේට එන ප්‍රශ්න, අසීරු අවස්ථා ගැන එහෙම දකින්න, දැනගන්න තියෙන අවස්ථාව මඟහැරෙනවා. ඒ දේවල් වලින් ඉගෙන ගන්න තියෙන පාඩම් එහෙමත් මඟ හැරෙනවා.
4. ඊර්ෂ්‍යාව
කලින් කියපු කාරණාවත් එක්කම ඇතිවෙන්න පුළුවන් දෙයක් සමාජය කෙරෙහි ඇතිවෙන මේ ඊර්ෂ්‍යාව. හැමෝම ලොකු ලොකු දේවල් පෝස්ට් කරද්දි ඒ දේවල් නොලැබෙන දරුවෙක් අනිත් අය ගැන ඊර්ෂ්‍යාවක්, තරහක් ඇති කරගන්න පෙළඹෙන්න පුළුවන්. මොකද, නැත්තෙ තමන්ට විතරයි කියන වැරදි මතයනේ මේ සමාජ මාධ්‍ය හරහා ඔලුවට යන්නෙ.
5. විශාදය, කාංසාව සහ ආත්ම අභිමානය ගැන ගැටළු
අපි කලින් කියපු කාරණා ඔක්කොම, සමාජ සම්බන්ධතා, අහිමිවෙන නින්ද, ඊර්ෂ්‍යාව කියන මේ හැමදේම නිසා දිගු කාලීනව දරුවන්ට විශාදය වගේ මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම අනික් අයට වඩා හොඳ පෝස්ට්, පින්තූර සමාජ මාධ්‍ය වල පල කරන්න නිතර ඔවුන් එක්ක කරට කර ඉන්න ඇතිවෙන අවශ්‍යතාවය සාමාන්‍ය සමාජයේ ඇතිවෙන තරඟයටත් වඩා ලොකු තරඟයක්. මෙන්න මෙහෙම කළ යුතුයි කියලා ලියවුන නීතිරීති සමාජ මාධ්‍ය භාවිතයේ නැති වුනාට නොලියවුන නීති පද්ධතියක් එක්ක බැඳිලා ඒවා අනුගමනය කරන එක දරුවන්ට ලොකු පීඩනයක්.
6. අධ්‍යාපන ගැටළු
මේකනම් හරිම සරල කාරණයක්. සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වීමෙන් සරලවම අධ්‍යාපන කටයුතු වලට වෙන් කරන්න තියෙන කාලය අහිමිවෙනවා. ඒ ගැන තියෙන උනන්දුව අහිමි වෙනවා. ඒ වගේම කලින් කියපු මානසික ගැටළු ඇතිවීම මඟින් කොහොමත්ම අධ්‍යාපනයට, මතක ශක්තියට, අවධානය යොමු කිරීමේ හැකියාවට වගේම අනාගත ජීවිතේටත් බාධා ඇතිවෙනවා.
7. Cyberbullying
මේක සෘජුවම සම්බන්ධයි අපි මුලින්ම කියපු සමාජ සම්බන්ධතා පිළිබඳ කාරණේට. අපි කිව්වනෙ ඔන්ලයින් ගනුදෙනු කරන්න පුරුදු උණාම මුහුණට මුහුණ හමුවෙලා කතා කරන්න තියෙන කුසලතාවය දරුවන් වර්ධනය කරගන්නෙ නැහැ කියලා. ඒ වගේම තමයි කෙනෙකුට මුහුණට හමුවෙලා කිසිසේත්ම කියන්න බැරි දේවල් පවා සමාජ මාධ්‍ය හරහා චැට් මඟින් කියන්න, රිද්දන්න ඔවුන්ට පුළුවන් වෙනවා අනික් කෙනාගෙ facial expressions දකින්න වෙන්නෙ නැති නිසාම. ඒ කිව්වෙ මේ සමාජ මාධ්‍ය හරහා දරුණු වෙන්නත් ලේසියි. තව කෙනෙකුගේ හැඟීම් අඳුරගෙන ඔවුන්ගේ වැරදි අඩුපාඩු ඉවසගෙන ජීවත් වෙන්න ඕන කියන එක සමාජෙන් ඉගෙන ගන්න ලැබෙන ලොකු පාඩමක්. ඒත් සමාජ ජාල වලින් ලැබෙන්නෙ හිත රිදුන ගමන් බ්ලොක් කරලා ඒ සම්බන්ධය එතනින් ඉවරම කරලා දාන පුරුද්දක්.
Leave a Reply