අලුත් බබෙක් ගේන දෙමව්පියන්ට ඇතිවෙන්න පුළුවන් ගැටළු

පවුලකට අලුත් බබෙක් එකතුවෙන එක ගැන ගොඩක් දේවල් අපි කලිනුත් කතාබහ කළා. මේ කතාව පුංචි බබෙක් ගෙදරට ගෙනාපු අලුතම අම්මටයි තාත්තටයි ඇතිවෙන්න පුළුවන් පොදු ගැටළු මොනවද කියන එක ගැනයි. අපි මේ ගැන කතා කරන්නෙ ඔන්න අලුතෙන්ම අම්මල තාත්තල වෙන්න ඉන්න හැමෝටම කියවල අදහසක් ගන්න. මේ පොඩි පොඩි ගැටළු වලින් ඔලුව අවුල් කරගන්නෙ නැතුව අළුත් සතුට උපරිමේටම විඳින්න පසුබිම හදාගන්න. 

 

 

1. පුංචි බබා ආවට පස්සේ එන වැඩ කන්දරාව

ගෙදරක අලුත් අම්මයි තාත්තයි ඇරුනහම තව කීපදෙනෙක්ම හිටියත් පුංචි බබෙක් එක්ක වැඩ කරගන්න එක වෙලාවකට යුද්ධයක් වගේ. ඉතින් බබයි, අම්මයි, තාත්තයි විතරක් ඉන්න ගෙදරක්නම් තවත් ලොකු යුද්ධයක්. බය කරන්නනම් නෙමෙයි ඔන්න කියන්නෙ. වැඩ ටික කළමනාකරණය කරගන්න. දෙන්නත් එක්ක සහයෝගයෙන් වැඩ කරගන්න. බබාගෙ නැපි මාරු කරන, නාවන එකේ ඉඳලා ටික ටික ලොකු වෙද්දි කවන පොවන වැඩ, එයාගෙ පස්සෙන් ඉඳගෙන බබාව බලාගන්න එක වගේ හැමදේම කරගන්න දවසේ පැය විසි හතරමත් මදි කියල හිතෙන වෙලාවලුත් තියෙයි. කලින් තිබ්බ නිදහස නැතිවෙලා වැඩ ගොඩ ගැහෙනකොට එපාවෙන වෙලාවලුත් තියෙයි. එත් කොහොමහරි කරගන්න එපැයි. ඒ නිසා සහයෝගයෙන්, හරියට දවස ප්ලෑන් කරලා වැඩ ටික කරගන්න එක හරිම වැදගත්.  

 

 

2. බබා එක්ක අහිමිවෙන නින්ද

දවල්ට වැඩ කරලා මහන්සියට රෑට නිදාගත්ත කාලෙ ඉවරයි ඔන්න. රෑටත් පොඩි යුද්ධයක් තමා පුංචිම බබෙක් ඉන්නවා කියන්නෙ. බබා බඩගින්නට, සීතලට, නිදිමතට රෑ මැද්දේ නැගිටලා අඬනකොට එක දිගට නින්දක් කියන්නෙ අම්මට තාත්තට හීනයක්. දෙන්නම කතාවෙලා ශිෆ්ට් එකට නිදිමරන්න පුළුවන්නම් ඔන්න පොඩි හරි සහනයක්. ඒ නිසා තමයි කලිනුත් කිව්වා වගේම දෙන්නම වැඩ බෙදාගෙන කරන එක වැදගත්. 

 

 

3. මුල් මාස තුනේ ඇතිවෙන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රශ්න

පොඩි බබාලට මුල් මාස තුනේ වැඩිපුර එක එක සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න පුළුවන්.  අලුත උපන් බබෙකුට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග ගැන අපි මීට කලින් කතා කළා. ඒත් හුඟක් වෙලාවට අලුත්ම අම්මෙකුයි තාත්තෙකුයි නම් මේ දේවල් ගැන හුඟක්ම දැනුවත් නැහැනෙ. ඉතින් බබා අඬනකොට හේතුව හිතාගන්න බැරුව කලබල වෙලා දෙන්නත් එක්ක රණ්ඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා මුල ඉඳන්ම අලුත් බබෙක්ට හැදෙන්න පුළුවන් ලෙඩ එයාලගෙ අපහසුතා ගැන දෙන්නම කියවලා දැනුවත් වෙලා ඉන්න ඕන. 

 

 

4. වැඩිහිටියන්ගේ අනවශ්‍ය උපදෙස්

අපි කලින් කිව්වනෙ දෙන්නත් එක්ක තනියම වැඩ කරගන්න එක පුංචි යුද්ධයක් කියල. මේ ප්‍රශ්නෙ නැහැ ගෙදර ආච්චිලා, සීයලා ඔක්කොම ඉන්න පවුල් වලටනම්. හැබැයි එයාලට තියෙන්නෙ වෙන වෙන ප්‍රශ්න. උදව් පදව් තිබුනට පරණ අදහස් තියෙන ආච්චිලා සීයලා එක්ක දැන් කාලෙ ළමයි හදන එක ඔක්කොටම වඩා අමාරුයි. “අපිනම් කළේ මෙහෙමයි” කියල දාහක් උපදෙස් දෙයි. ඒවගෙනුත් හොඳ දේවල් පිළිඅරගෙන නරක දේවල් බැහැර කරන වගකීමත් තියෙන්නේ මේ අලුත් අම්ම තාත්තගෙ පිටම තමයි. දෙන්නම කතා කරලා සහයෝගෙන් නොකළොත් එතනත් ඔන්න හිත්රිදවීමකට මගක් තමයි හැදෙන්නෙ.  

 

 

5. බබාගේ වැඩීමේ එක එක අවධි

බබාගෙ එක එක milestones තියෙනවා. ඒ කියන්නෙ වර්ධනයේ අවධි. හැබැයි මේවා එක බබෙකුගෙන් තව බබෙකුට සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. “අහවලාගේ බබා මාස තුනෙන් පෙරලුනානේ, අනේ අපේ බබා තාම නෑනේ” කියන්නේ අළුත් දෙමව්පියෝ යුවළකට ඇතිවෙන්න පුළුවන් තවත් ප්‍රශ්නයක්. ඒ නිසා තමන්ගේ දරුවව අනිත් බබාල එක්ක සංසන්දනය කරන්නනම් එපා. බබාගේ වැඩීම, ඒ ඒ කාලෙට කරන්න ඕන ක්‍රියාකාරකම් හරිද කියන එක තීරණය කරන්න ඕන බබාගෙ ක්ලිනික් පොත, මිඩ්වයිෆ් සහ වෛද්‍යවරයෙක් ලබාදෙන උපදෙස් මතම විතරයි. නිකන් හිත රිදවා නොගෙන බබාට නිදහසේ ලොකු වෙන්න දෙන්න. එයාගෙම කාලෙට එයා හැමදෙයක්ම කරයි. 

 

 

6. ගෙදර මුල්‍ය තත්ත්වය

අලුතෙන් පුංචි බබෙක් පවුලකට එකතු වෙනව කියන්නෙ වියදමුත් මහ ගොඩක් එකතු වෙනව කියන එකයි. මුල ඉඳලම බබාගෙ ඇඳුම් පැලඳුම්, බේත්, එන්නත් එහෙම පිටින් ගන්නවනම් ඒ වියදම්, ටික ටික ලොකු වෙද්දි සෙල්ලම් බඩු වගේ කොච්චරක්නම් වියදම්ද. ඒ නිසා දෙන්න දෙමහල්ලෝ එකතුවෙලා හොඳින් කතාබහ කරලා ගෙදර වියදම හරියට පාලනය කර නොගත්තොත් ඉස්සරහට වැටෙන්නෙ ලොකු අමාරුවකයි. බබා නැති කාලෙ වියපැහැදම් කරපු විදිහයි දැන් බබා එක්ක කරන්න ඕන විදිහයි දෙකක් කියලා මුල ඉඳන්ම තේරුම් අරගෙන වියදම් ප්ලෑන් කරනවනම් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.  

 

 

7. බබා එක්ක ගමන් බිමන්

කලින් වගේ බැහැ ඉතින්. දෙන්නට හිතුන හිතුන වෙලාවට පාරට බැහැල ගමන් ගිය කාලෙ ඉවරයි. චූටි බබෙක් එක්ක ගමනක් යනවා කියන්නෙ ඒකත් තවත් යුද්ධයක් තමා. බබාට ඕන නැපි, ඩයපර්, කිරි බෝතල් ඔක්කොම පැක් කරගෙන බබාවත් වෙලාවට අන්දගෙන එයාගෙ කිරි වෙලාවල් මඟ හැරලා ගමනක් යන්න සෑහෙන්න පෙරුම් පුරන්න ඕන. ඒ නිසා අනික් හැමදෙයක්ම වගේම ගමනුත් කලින්ම ප්ලෑන් කරන්න ඕන. මුල්ම කාලෙනම් ගමන් බිමන් හීනයක්. ඒත් නිතර ඇවිදින අම්මෙකුයි තාත්තෙකුයි නම් බබා ටික ටික ලොකු වෙද්දි එයාවත් එක්කගෙනම යනකොට බබත් ගමන් බිමන් වලට හුරුවෙයි. 

 

 

8. අලුත් අම්මගෙයි තාත්තගෙයි සම්බන්ධතාවය

ඔන්න කලින් කියපු ඔක්කොමත් එක්ක වැදගත්ම දෙයක් තමයි මේකත්. ඔය උඩින් කියපු ඔක්කොම ප්‍රශ්න එද්දී, ඒවා ගැන සාකච්ඡා කරද්දී අලුත් අම්මයි තාත්තයි අතරේ මතභේද ඇතිවෙන්න පුළුවන්. පුංචි පුංචි ප්‍රශ්න වලට රණ්ඩුවෙලා, දුර දිග ගිහින් තරහ වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා බබා ගැන වගේම ඉස්සර වගේ ආදරෙන් ඉන්න තමන්ගේ සම්බන්ධතාවය රැකගන්න එකත් අලුත් අම්මටයි තාත්තයි පැවරෙන ලොකුම ලොකු වැඩක්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *