ඔයා ආශ්‍රය කරන යාළු මිත්‍රාදීන් අතර ඉන්නවා ඇති හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක්. සමහරවිට ඒ ඔයා වෙන්නත් ඇති. එහෙම අයට ම අනන්‍ය වුණ සුවිශේෂ ගුණාංග කීපයක් තියනවා. ස්වාභාවිකව ම ඔය ගුණය පිහිටලා තියන අය නම් හරිම වාසනාවන්තයි. එකින් එක මේ දේවල් මතකේ තියාගන්න ඕනි නෑනේ. නමුත් එහෙම නැති කෙනෙක්ට සමාජ ක්‍රමයක පවතින්න නම් මෙතනින් එකක් දෙකක් හරි ඕනෑ වෙයි.
1. අනෙකා ගැන කතා කරමු
හිතන්න අලුතින් රැකියා ස්ථානයකට ගියා කියලා. ඔන්න ඉතින් පොඩ්ඩක් කාත් එක්ක හරි මිතුරුකමක් දළු ලා ගෙන එනවා. ඒක කොහොමද දිගටම අරගෙන යන්නේ? මිනිස්සු ආසයි තමන්ගේ දේවල් ගැන කියන්න. පවුලේ උදවිය, බලන චිත්‍රපටි, ආසා කරන වාහන මොඩෙල් වගේ දේවල් ගැන එයාට කතා කරන්න ඉඩ දෙන්න. තවකෙකුගේ හොඳ ඇහුම්කන්දෙන්නෙක් වෙන්න. එතනින් ඔයාව හොඳ යාළුවෙක් බවට පත් කරවනවා. ඒ තියන මනුස්ස ගුණාංගය එතනින් ඔයා ගැන තව කෙනෙක්ට කියන කතාවක් බවට පත් වනවා. කතා අහන් ඉන්න වුණාට හොඳ ඇහුම්කන්දෙන්නෙකු වීමෙන් හැමෝම කැමති කෙනෙකු බවට පත් වෙනවා.
2. අනෙකාව අගයන්න
මූණේ කොණ්ඩේ තියෙන ලස්සනේ ඉඳලා මිනිස්සු මහන්සි වෙලා කරන වැඩ දක්වා හැම දෙයක් ම අගය කරන්න පුරුදු වෙන්න. නිකන් මූනිච්චාවට හරි ලස්සනයි කියනවට වඩා එයාට දැනෙන්න දෙයක් කියන්න. මෙච්චර වචන ගොඩක් නිර්මාණය වෙලා තියෙන්නේ උපරිම ප්‍රයෝජනයක් ගන්නයි. තමන් කියන දේවල් හදවතින්ම එන දෙයක් විදියට අඟවන්න වචන ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එකකට මහන්සි වෙලා වැඩ කරපු යාළුවට ටෙක්ස්ට් මැසේජ් එකක් දාන්න. වටිනාකමක් දෙන්න.
3. විහිළුකාරයා වෙන්න
මානසික විජ්ජා නම් මේවා තමයි. කවුරුත් කැමතියි හිනා වෙලා ඉන්න. ඒ දේ කරන්න පුළුවන් නම් ඉතින් ඉබේම ඒ පුද්ගලයාට කැමති වෙනවා අහන්න දෙයක් නෑ. අංගචලන, භාව ප්‍රකාශනවලින් පවා මේක පෙන්වන්න පුළුවන්. හැබැයි විහිළු කරනවා කියලා ඇස් රතු වෙන විහිළු කරොත් වෙන්නේ තනිකර අනික් පැත්ත. කවදාවත් ඒ දේ කරන්න එපා. කාටත් කරදරයක් නැති අහිංසක විහිළුවලට කවුරුත් කැමතියි.
4. අනෙකාගේ විහිළුවලට සිනාසෙන්න
ජෝකරයෙක් වෙනවා වගේ ම වටිනා තවත් වැඩක් තමයි තව කෙනෙක්ගෙ තියන ප්‍රහසන හැකියාව විඳින එක. යාළුවෙක් ඔයාට හිනා යන දෙයක් කියලා ඔයා ඒක ගොන් ජෝක් එකක් විදියට නැති නම් හිනායන්න දෙයක් ඇත්තෙම නැති දෙයක් විදියට දැක්කොත් ඒක නිකන් අරයව ගණන් ගත්තේ නෑ වගේ වැඩක් වෙනවා. එහෙම වෙන්න දෙන්න එපා. එයත් හදන්නේ වටිනාකමක් තියන හැමෝම කැමති කෙනෙක් වෙන්න. ඔයාගේ හිනාවෙන් එයාගේ කැමැත්ත ඔයාට ලැබෙනවා.
5. අනෙකාව පුදුම කරන්නෙකු වන්න
හිතපු නැති වෙලාවක සිද්ධ වෙන දේවල්වලින් සෑහෙන ලොකු බලපෑමක් වෙනවනේ. සෑහෙන ලොකු බඩගින්නක ඉඳලත් කෑම එකක් ගැන හිතන්නවත් බැරි තරම් ඔපීසියේ වැඩ කන්දරාවක් ගොඩ ගැහිලා. ඉතින් මේක දැකපු කෙනෙක් පොඩ්ඩක් එළියට ගිහින් ෆයිල් අස්සේ හිර වෙලා ඉන්න කෙනාටත් එක්ක බේකරි අයිටම් එකක් ගෙනාවොත් නැත්නම් පිට්සා එකක් වගේ ඕඩර් කරොත් ඒක අදහන්න වටිනා වැඩක් වෙනවනේ. මූ නම් සිරා පොරක් ය කියන තැනට ඉබේ ම පත් වෙනවා ඔය වගේ වැඩවලින්.
6. යහළුවන්ගෙන් යහළුවා වන උතුම් යහළුවා
ඔයයි යාළුවයි ඉන්නවා. ඒ යාළුවටත් වෙන ම යාළුවෝ ඉන්නවනේ ඔයා දන්නෙවත් නැති. අන්න ඒ උදවිය එක්ක යාළුකම් හදාගෙන පවත්වාගෙන යන එක සල්ලි විසි කරලා තමන් වෙනුවෙන් මාකටින් පාරක් දානවට වඩා වාසියි. මේකෙන් ගොඩක් දෙනෙක් ඔයා ගැන දැනගන්නවා. ඒ වගේ ම ඔයාගේ අර මුලින් ම කියපු යාළුවටත් ඔයා ගැන ආඩම්බරයක් වගේ එකක් දැනෙනවා.
7. ෆස්ට් ඉම්ප්‍රෙෂන්
ඒ කිව්වේ අර ඉස්සෙල්ලම දකිනකොට එන හැඟීම. මේක හැම දේට ම වැදගත්. කෑම පිඟානක් වුණත් පිරියට තිබ්බම කන්න ආසයි. ඉස්සෙල්ලම ඔයාව දකිනකොට ඔයා හැසිරෙන්න ඕනි කොහොමද? හිනාව විතරක් ඇති ද? පිටට තට්ටුවක් දැම්මොත් කොහොම වෙයි ද? මෝඩ පහේ ජෝක් එකක් කිව්වොත් තව ටිකක් හරි යාවි. මේ දන්න තරමක් දහංගැට දාලා වැඩේ කරගන්න. ඔයා ගැන මතක හිටින චිත්‍රයක් ඇති කරවන්න.
Leave a Reply