තමන්ගේ පළවෙනි ජාත්‍යන්තර තරඟයෙන්ම කඩුළු ත්‍රිත්වයක් (Hat Trick) ලබාගත් පන්දු යවන්නෝ

හැට්ට්‍රික් එකක් කිවුවම ඉතින් ක්‍රිකට් ​​ලෝලීන්ට අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැහැනේ. හැට්ට්‍රික් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙමෙයි, වෙනත් ක්‍රීඩාවලටත් අදාළ වෙන දෙයක්. ​ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වෙන පාපන්දුවලත් හැට්ට්‍රික් දක්ෂකම ගැන කතා කෙරෙනවා. ක්‍රිකට් ගත්තම ටෙස්ට් වේවා, එක්දින වේවා, විස්සයි විස්ස හෝ පළමු පෙළ තරඟ වේවා පිට පිට පන්දු තුනකින් කඩුළු තුනක් දවාගන්නවා කියන්නේ ඉතාම අසීරු වැඩක්. අන්න ඒ නිසයි ක්‍රීඩකයෙක් හැට්ට්‍රික් එකක් වාර්තා කළා කිවුවම අදටත් ක්‍රිකට් ලෝකේ ඉහළින්ම ඒ ගැන කතා වෙන්නේ.

අද අපි කතා කරන්නේ හැට්ට්‍රික් ලබා ගත්ත පන්දු යවන්නන් අතරිනුත් සුවිශේෂී හත් දෙනෙක් ගැනයි. මේ අය සුවිශේෂී වෙන්​නෙ ඔවුන් හැට්ට්‍රික් ලබාගෙන තියෙන්නේ තමන්ගේ පළමුවෙන ජාත්‍යන්තර තරඟයේදීම වීම නි​සයි. ලාංකික ක්‍රීඩකයොත් දෙන්නෙක්ම මේ ලැයිස්තුවට ඇතුළත් වෙලා තියනවා කියල අපි ආඩම්බරයෙන් සඳහන් කරන්නත් කැමතියි.

 

1. මොරිස් ඇලොම් (Maurice Allom)

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තමන්ගේ මංගල තරඟයේදිම කඩුළු ත්‍රිත්වයක් දවාගත්ත පළමු පන්දු යවන්නා හැටියට ඉතිහාසගත වෙන්නේ එංගලන්​ත මද වේග පන්දු යවන්නෙක් වුණු මොරිස් ඇලොම් ක්‍රීඩකයායි. 1929/ 1930 අවුරුදු වලදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ ටෙස්ට් ප්‍රචලිත කරන්නට ඒ වෙද්දි ක්‍රිකට් ක්‍රීඩා කරපු රටවල් කිහිපයකම සංචාර දියත් කළා (ලංකාවටත් ඔවුන් ආවා). ඒ අතරතුරදී ඔවුන් නවසීලන්තයට එරෙහිවත් ටෙස්ට් තරඟ 4ක් ක්‍රීඩා කළා. මේ ටෙස්ට් තරඟාවලිය​ට තමයි නවසීලන්තය ක්‍රීඩා කරපු මංගල ටෙස්ට් තරඟ​යත් ඇතුළත් වුණේ. මේ තරඟයේදී තමන්ගේ 8 වැනි පන්දුවාරයේදී තමයි මොරිස් ඇලොම් කඩුළු ත්‍රිත්වයක් දවාගන්නේ. එම පන්දු ඕවරයේ 4,5,6 වැනි පන්දු තුනේදී කඩුළු තුනක් දවාගැනීමට අමතරව දෙවැනි පන්දුවෙනුත් මොරිස් ඇ​ලොම් කඩුල්ලක් දවා ගන්නවා. ඒ නිසා, ටෙස්ට් ඉතිහාස​යේ පන්දු 5ක් තුළදී කඩුළු 4ක් දවාගත්ත පළමු ක්‍රීඩකයා​ වෙන්නත් මොරිස් ඇලොම්ට හැකියාව ලැබෙනවා. මේ ඉනිමේදී කඩුළු 5ක් දවාගෙන එංගලන්ත ජයග්‍රහණයට උපරි​ම දායකත්වයක් දෙන්න මොරිස් ඇලොම්ට හැකියාව ලැබෙනවා.

 

2. පීටර් පෙතරික් (Peter Petherick)

පීටර් පෙතරික් කියන්නේ නවසීලන්ත පළමු පෙළ තරඟවලදී ඉහළින්ම දස්කම් දක්වපු පිට දඟපන්දු යවන්නෙක්. 1976 වසරේදී පාකිස්ථානයේදී සිදුකරපු නවසීලන්ත සංචාරයට පීටර් පෙතරික්ව තෝරාගන්නවා. එහිදී ලාහෝරයේදී පවත්වපු පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායමටත් පෙතරික්ව ඇතුළත් වෙනවා. මේ තරඟේ මුලින්ම පන්දුවට පහරදෙන පාකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 55ක් වගේ අඩු ගණනකට දැවී යන්නේ රිචඩ් හැඩ්ලිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේයි. ඒත් ඒ තරඟයේදී තමන්ගේ මංගල ටෙස්ට් ඉනි​ම ක්‍රීඩා කරපු ජාවෙඩ් මියන්ඩාඩ්, අසීෆ් ඉක්බාල් එක්ක එකතු වෙලා 5 වෙනි කඩුල්ල වෙනුවෙන් දැවැන්ත සම්බන්ධතාවයක් පවත්වනවා. ලකුණු 336ට කඩුලු 4ක් හැටියට පාකිස්ථාන ලකුණු පුවරුව සටහන් වෙද්දී පීටර් පෙතරික්ව පන්දු යැවීමට කැඳවනවා. ඒ වෙද්දි ඔහු එකම කඩුල්ලක්වත් නැති​ව ලකුණු 96ක් ලබා දීලායි ඉන්නේ. මේ පන්දු වාරයේදී අති සාර්ථකව කඩුල්ලේ රැඳී හිටපු ජාවෙඩ් මියන්ඩාඩ්ව ලකුණු 163දී දවා ගන්​න පෙතරික්ට හැකි වෙනවා. ඊළඟ පන්දු දෙකේදී ඉන්ටිකාබ් ආලාම්ව සහ වසීම් රාජාව ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යවන්න පෙතරික්ට හැකි වෙනවා. 

නවසීලන්තය වෙනුවෙන් කඩුළු ත්‍රිත්වයක් ලබාගත් පළමු පන්දු යවන්නා වුණත් පෙතරික්ගේ ටෙස්ට් දිවිය නම් ඒ හැටි සාර්ථක වෙන්නේ නැහැ. ඔහුට ක්‍රීඩා කරන්නට හැකි වෙන්නේ ටෙස්ට් තරඟ 6කට පමණයි.

 

3. ඩේමියන් ෆ්ලෙමින්ග් (Damien Fleming)

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කාලයක් ක්‍රීඩා කරපු දක්ෂතම වේග පන්දු යවන්නෙක් වන ඩේමියන් ෆ්ලෙමින්ග් තමන්ගේ පළවෙනි ටෙස්ට් තරඟයෙන්ම ක්‍රිකට් ලෝකය හොල්ලන්න සමත් වෙනවා. 1994 අවුරුද්දේදී පාකිස්ථානයට එරෙහිව රාවල්පිණ්ඩි හි පවත්වපු මේ ටෙස්ට් තරඟයේ තමන්ගේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථානු කණ්ඩායමේ සලීම් මලික් සහ ආමර් මලික් ඉතාම දක්ෂ විදිහට තමන්ගේ පිත්ත හසුරුවමින් ඉන්න අවස්ථාවකදීයි ඩේමියන් ෆ්ලෙමින්ග් තමන්ගේ 23 වැනි ඕවර​ය දැමීම අරඹන්​නේ. මේ ඕවරයේ 5 වැනි පන්දුවෙදී ලකුණු පුවරුව 469ට කඩුලු 3ක්ව තිබියදී ලකුණු 65ක් ලබාගෙන සිටි ආමර් මලික්ව දවාගන්න ෆ්ලෙමින්ග් සමත් වෙනවා. ඉන් පස්සේ පිටියට පිවිසෙන ඉන්සමාම් උල් හක්ව පළමු පන්දුවෙන්ම දවාගන්නත් ෆ්ලෙමින්ග් සමත් වෙනවා. ඉන් පස්සේ තමන්ගේ ඊළ​ඟ පන්දුවාරයේ පළමු පන්දුවෙන්​ම ලකුණු 237ක් ලබාගෙන සිටි සලීම් මලික්ගේ කඩුල්ල දවාගෙන ෆ්ලෙමින්ග් තමන්ගේ කඩුළු ත්‍රිත්වය සම්පූර්ණ කරනවා.

 

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තමන්ගේ මංගල ටෙස්ට් තරඟයේදීම කඩුළු ත්‍රිත්වයක් වාර්තා කරන්න සමත් වෙලා තියන අවසන් ක්‍රීඩකයා වෙන්නෙත් ඩේමියන් ෆ්ලෙමින්ග් තමයි. 1994න් පස්සේ මේ වනතුරු කිසිම ක්‍රීඩකයෙක්ට මංගල ටෙස්ට් තරඟයකදී මේ දස්කම දක්වන්න බැරි වෙලා තියනවා.

 

 

4. ටයිජුල් ඉස්ලාම් (Taijul Islam)

ලෝක ටෙස්ට් වංශකතාවේ මංගල ටෙස්ට් තරඟයේදීම කඩුළු ත්‍රිත්වයක් දවාගෙන කියෙන්නේ අපි ඉහතින් කියපු ක්‍රීඩකයන් තුන් දෙනා විතරයි. දැන් අපි එන්නේ එක්දින තරඟ දිහාවට… 

 

බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී සිදු කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමි කම් කියන්නෙ ටයිජුල් ඉස්ලාම් ක්‍රීඩකයායි. ​ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 39කට කඩුළු 8ක් දවාගනිමින්. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තමන්ගේ මංගල තරඟයේදීම කඩුළු ත්‍රිත්වයක් දවාගැනීමේ දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා බවට පත් වෙන්නෙත් මේ වමත් දඟපන්දු යවන්නා තමයි. 2014 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිඩ ඩකා හීදී පැවැත්වූ 5 වෙනි එක්දින තරඟයේදී එක්දින වරම් ලබාගන්න ටයිජුල් තමන්ගේ 5 වෙනි පන්දු වාරයේ අවසන් පන්දු දෙකෙන් චටාරා සහ න්‍යම්බු යන දෙදෙනාගේ කඩුළුත්, ඊළඟ පන්දුවාරයේ පළමු පන්දුවෙන් ටිනාශි පන්යන්ගාරාගේ කඩුල්ලත් දවාගෙන මේ දස්කම දක්වනවා. තවමත් බංග්ලාදේශ කණ්ඩායමේ රැඳී ඉන්න ක්‍රීඩකයෙක් වුණත් තමන්ගේ ටෙස්ට් සහ එක්දින තරඟ ​ආරම්භයේ ලබාගත් සාර්ථකත්වය දිගටම පවත්වාගෙන යන්න නම් ටයිජුල්ට නොහැකි වෙලා තියනවා. 

 

 

5. කගීසෝ රබාඩා (Kagiso Rabada)

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තමන්ගේ මංගල තරඟයේදීම කඩුළු ත්‍රිත්වයක් ලබා ගත් දෙවැනි ක්‍රීඩකයා වනවා. ඒ විතරක් නෙමෙයි, මංගල එක්දින තරගයකදී ක්‍රීඩකයෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීම වන ලකුණු 18ට කඩුලු 6ක් දවාගැනීමේ වාර්තාවත් රබාඩා ​ඒ තරඟයේදී පිහිටවනු ලබනවා. 

බංග්ලාදේශයට එරෙහිව 2015 වසරේදී පවත්වපු මේ තරඟයේදී තමන් යවපු දෙවැනි පන්දු වාරයෙදි තමයි රබාඩා මේ සුවිශේෂී දක්ෂකම දක්වන්නේ. ඒ ඕවරයේ හතරවෙනි පන්දුවේදී ඔහු ටමීම් ඉක්බාල්ව තමන්ගේ මංගල ගොදුර කරගන්නවා. ඉන් පස්සේ යවන පන්දු දෙකේදී ලිටන් දාස් සහ මහමදුල්ලාව දවාගන්න රබාඩාට හැකි වෙනවා. මේ පිතිකරුවන් තුන් දෙනාම ලකුණු නොලබා දැවී යාම විශේෂයි. ඒ තරඟයේ තමන්ගේ පන්දු යැවීමේ බලපෑම එතනින් නොනවත්වා තවත් බංග්ලාදේශ කඩුළු 3ක්ම අඩු ලකුණු ප්‍රමාණයකට දවා ගන්න රබාඩා සමත් වෙනවා. මේ ආධුනික ක්‍රීඩකයා​ගේ විශිෂ්ට පන්දු යැවීම හමු​වේ බංග්ලාදේශ ඉනිම ලකුණු 160කට සීමා වෙන්නේ දකුණු අප්‍රිකා​වට පහසු ජයක් ලබන්නට ඉඩ සලසමින්.

 

6. වනිඳු හසරං​ග

මේ වෙද්දී නම් වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවට පත්වෙලා. වනිඳු තමන්ගේ පන්දු යැවී​මේ දක්ෂතාවයන් මුලින්ම පෙන්නුවේ තමන්ගේ මංගල තරඟයේදීමයි. ඒත් ඉන් පස්සේ ටික කාලයක් යනකන් වනිඳුට තමන්ගේ උපරිම දක්ෂකම් අතර රැඳෙන්න නොහැකි වුණ නිසා කාලයක් යනකන් කණ්ඩායමේ ස්ථීර තැනක් හිමිකරගන්න නොහැකි වුණා.

2017 අවුරුද්දේ සිම්බාබ්වේ පිළ සමග පවත්වපු එක්දින තරඟාවලියේදී තමන්ගේ මුල්ම එක්දින තරඟයට වරම් ලබන වනිඳු හසරං​ග පන්දු යැවීමට පිවිසෙන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු අනෙක් දඟපන්දු යවන්නා වුණු ලක්ෂාන් සඳකැන් සිම්බාබ්වේ ඉනිම දරුණු විදිහට බිඳ දමලා කඩුළු 4ක් ලබාගෙනයි හිටියේ. සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 151කට කඩුළු 7ක් තිබියදී තමන්ගේ තුන් වෙනි පන්දුවාරය අරඹපු වනිඳු, ඒ පන්දුවාරයේ 2,3 සහ 4 වෙනි පන්දු වලින් වොලර්, ටිරිපානෝ සහ චටාරාගේ කඩුළු දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිම නිමාව කරා ගෙන යන්න සමත් වෙනවා. චමින්ද වාස්, ලසිත් මාලිංග, ෆර්වීස් මහරූෆ් සහ තිසර පෙරේරාගෙන් පස්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුළු ත්‍රිත්වයක් දවාගත් ඊළඟ ක්‍රීඩකයා හැටියට වනිඳුගේ නම වාර්තා පොත් අතරට යනවා.

 

 

7. ෂෙහාන් මධුෂංක

මේ වෙද්දී නම් ෂෙහාන් මධුෂංක කියලා ක්‍රීඩකයෙක් කඩුළු ත්‍රිත්වයක් ලබා ගත්තාද කියලත් සමහර ක්‍රිකට් ලෝලීන්ට අමතකයි. කොහොම වුණත් ෂෙහාන් මේ දක්ෂතාවය දක්වන්නේ 2018 අවුරුද්දේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. පුදුමයට කාරණය වෙන්නේ ෂෙහාන් ක්‍රීඩා කරපු එකම එක්දින තරඟයත් එය පමණක් වීමයි. 

ඒ අවුරුද්දේ බංග්ලාදේශයත් එක්ක පවත්වපු එක්දින තරඟාවලියේ අවසාන තරඟයේදී තමයි දකුණතින් වේග පන්දු යව​න ෂෙහාන් එක්දින වරම් ලබාගන්නේ. එහිදී තමන්ගේ 5 වැනි ඕවරයේ අන්තිම පන්දු දෙකෙන් සහ 6 වෙනි ඕවරයේ පළමු පන්දුවෙන් මෂ්රෆේ මොර්ටාසා, රූබල් හුසේන් සහ මහමදුල්ලාගේ කඩුළු දවාගනිමින් ෂෙහාන් මේ සුවිශේෂී දක්ෂකම සම්පූර්ණ කරනවා. නමුත් මේ තරඟයෙන් පස්සේ නොයෙකුත් ආබාධවලට ලක්වීම නිසා ෂෙහාන් මධුෂංකට නැවත එක්දින තරඟයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තවම හිමිවෙලා නැහැ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *