ලෝකේ හැමදාම වෙනස් වෙනවා. අද තිබුණා වගේ නෙමෙයි හෙට. ඒ අතරෙදි ලෝකේ ලොකු සයිස් එකෙන් වෙනස් කරන අමුතු දේවල් සිද්ද වෙනවා. 2004 සුනාමිය කොපමණ බිහිසුණු වුනත් ඒක බලපෑවේ රටවල් කීපයකට විතරයි. ඒත් 2020 ආරම්භයේදි ආපු කොරෝනා වසංගතය ලෝකයම සලිත කළා. ලෝකේ මේ කොරෝනා බලපෑම නොදැනුන මනුස්ස වාසයක් නැති තරම්. ශක්තිමත් කියලා හිතන් උන්න බටහිර රටවල් අනෙක් රටවලටත් වඩා කලින්ම බොහොම අසරණ තත්ත්වයන්ට මුහුණ පෑවා. ලෝකේ මිනිස්සු වැඩිපුරම හානියට පත් වෙන විපත් විදිහට මීට කලින් හඳුනාගෙන තිබුණ යුද්ධ කලකෝලාහල, දරුණු ස්වාභාවික විපත් වලට වඩා වෙනස්ම ආකාරයේ විදිහකින් තමයි කොරෝනා මිනිස් සමාජය වෙලා ගත්තේ.
1. බටහිර රටවලට බලපෑම් වැඩි වීම
කොහොමත් ලෝකේ අප්‍රිකානු සහ ආසියානු රටවල මිනිසුන් සුළුතරයක් සාගත තත්ත්වය නිසා මිය යනවා. ඒ දුප්පත් රටවල දුප්පත් ජනතාව මිය පරලොව යෑම සාමාන්‍ය දෙයක් නොවුනත් ලෝකයට ඒවා ඉවසන්නට වුණා. ඒත් යුරෝපයේ හදවත බඳු ඉතාලියේ, ස්පාඤ්ඤයේ සහ ලෝකේම ලොක්කා වුණු ඇමරිකාවේ දවසකට මරණ 600-700 කොරෝනා වලින් සිදු වෙන්න ගත්තා. ඇමරිකානු චිත්‍රපටිවල එන සුපිරි වීරයෝ චිත්‍රපටි චරිත පමණයි කියලා තවත් වතාවක් ඔප්පු වුණා. දියුණු ලෝකයේ ඇති තාක්ෂණික දියුණුවේ තවත් සීමාවන් ගොඩක් තියෙන්නට හැකි බවත් මේ සමග ලෝකයා වටහාගත්තා. ලෙඩක් කීවම බෙහෙතක් සාමාන්‍යයෙන් අපිට මනසට එනවා. ඒත් කොරෝනා වලට බෙහෙත් හරිහැටි එන්න තව කාලාන්තරයක් බලන් ඉන්න වේවි කියලා තමයි ආරංචි වලින් කියවෙන්නේ.
2. නව සාමාන්‍ය තත්ත්වයකට හුරු වීමට සිදුවීම
කොරෝනා වලින් ගැලවෙන්න ගොඩක් රටවල් ආරක්‍ෂාකාරී පියවර අනුගමනය කළා. ඉන්දියාව ලංකාව වගේ රටවල ඇඳිරි නීතිය ආවා. බටහිර රටවල ආවේ ලොක්ඩවුන් නීති. ඒ මොක වුණත් මිනිසුන්ට ගෙදරට වෙලා ඉන්නට බල කෙරුණා. එළියට යෑම නීති විරෝධී වුණා. ගමනාගමන ප්‍රවාහන කටයුතු මුළුමනින්ම අඩාල වුණා. ඉතින් මේ තත්ත්වය එක්ක ගෙදර නැවතිලා ආයේ වැඩට යද්දි අපිට කොරෝනා වලට කලියෙන් තිබුණ නිදහස් තත්ත්වයට ආයේ එන්න බැහැ. අලුතින් ඩිස්ටන්ස් තියාගන්න ඕනි. පරතරය වැඩි කරගන්න ඕනි. හැමතිස්සෙම අත් හෝදන්න ඕනි. තනියම කරන දේවල් වැඩිකරගන්නට ඕනි. සෙට්වීම් අඩු කරගන්න ඕනි. කොටින්ම ඉස්සරහට අපි වැඩට ගියත් ඒ වැඩට යන්නේ පැරණි කාලේ තිබුණු විදිහට නෙමෙයි, ඒක අලුත් සාමාන්‍ය තත්ත්වයක්.
3. අවුරුදු සහ වෙසක්
ලංකාවේ අවුරුදු කියන්නේ මිනිස්සු නොඉවසිල්ලෙන් උදාවෙනකන් බලා ඉන්න අවස්ථාවක්. මීට කලින් 2020 පෙබරවාරි මාසයේ චීනයේ අවුරුදු සැමරීම ඔවුන්ට කොරෝනා නිසා අහිමි වුනා. අපිටත් මේ පාර අවුරුද්ද නැති වුනා. වෙනදාට රූපවාහිනියේ තොරතෝංචියක් නැතිව ඇහෙන කොහා නාදය, ඔන්චිලි වාරම්, අවුරුදු උත්සව, අවුරුදු වෙළඳ දැන්වීම් මේ පාර තිබුනෙ නැහැ. අවුරුද්දට කිරි උතුරුවන්න මුට්ටි කෑල්ලක් හොයාගන්නත් මේ අවුරුද්දේ අවස්ථාවක් ලැබුනෙ නැහැ. වෙසක් එකත් ඒ විදිහයි. ගිය වසරේ පාස්කුවෙන් හේදිලා ගිය වෙසක් සිරිය මේ වතාවේ කෝවිඩ් වලින් හේදිලා ගියා. කොළඹ, ගම්පහ පැතිවල තද නීති නිසා වෙසක් සැරසිලි ආදිය මිලදී ගන්නත් බෞද්ධ බැතිමතුන්ට බැරි වුණා.
4. දීර්ඝතම නිවාඩුව
වැඩට යද්දි, බිසී වෙද්දි ඉන්ටනෙට් නැති මහා කැලෑවකට ගිහින් සතියක් දෙකක් ගතකරන්න අපි හීන මැව්වා. ඒත් කොරෝනා වලදි අපිට පැවරුණු ලොකු වැඩක් නැතුවම ගෙදරට වෙලා ඉන්න වුණා. ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් අංශ කීපයක් හැර ලෝකයේ බොහෝ දෙනෙක් අප්‍රේල් මාසේ අනපේක්ෂිත ලෙස ගෙදර හිටියා. බොහෝ අයට මේ තරම් දිග නිවාඩුවක් කිසිම කාලයක ලැබිලා තිබුණේ නැහැ. ඒ එක්ක සමහර නිවෙස් වල රණ්ඩු දබර තත්ත්වයන් ඇතිවෙලත් තිබුණා. දිග නිවාඩුවක් කියද්දි අපේ හිතට එන සුන්දර හැඟීම් නැතිවෙලා ගිහින් මාසයක් දෙකක් ගෙදර ඉද්දි එපාවෙන කම්මැලිකමක් හිතට එන්නට ගත්තා. අලුත් දිග නිවාඩුව හැමෝටම එක විදිහට නැතිව ඇති. සමහර අය වගාකටයුතු එහෙම පටන් ගත්තා. ඒත් කිසිම දෙයක් කරගන්න අවස්ථාවක් නැතිව ගෙදරට කොටුවීම අපි හැමෝටම දරාගන්න අමාරු දෙයක්.
5. කෙළවරක් නැති වීම
ස්වාභාවික විපතක් නම් ඒක වෙලා ඉවර වෙනවා. ගංවතුර ගලලා ඉවර වෙනවා. නාය ගිහින් ඉවර වෙනවා. සුනාමි වුනත් එකක් දෙකක් ඇවිත් ඉවර වෙනවා. ඒත් කොරෝනා එහෙම ඉවර වෙයිද? ජනවාරි පෙබරවාරි වල චීනේදි මේක වෙද්දි අපිට තිබුනේ ටීවි එක ඉස්සරහා ඉඳගෙන චීන රටේ වෙන දේවල් බලා ඉන්න විතරයි. ඒත් පස්සේ අපිටත් බය වෙන්න වුණා. යුද්ධයකට වුනත් අපිට විසඳුමක් නැතිනම් විසඳුමක් හදාගන්න හරි උත්සාහ ගන්න පුළුවන්. ඒත් කොරෝනා විසඳුමක් නැති, කෙළවරක් තවමත් නොපෙනන ගැටළුවක් වෙලා හමාරයි. අපිට යාන්තම් සැනසීමක් ගේන්න එන්නතක් ගැන කතාබහ ඇතිවෙනවා. ඒත් ඒවා වුනත් ආරංචි එන වේගෙන්ම යටපත් වෙලා යනවා. එන්ඩ්ලස් ටනල් එකක්, ඒ කිව්වේ කෙළවරක් නොපෙනෙන උමගක සිරවුණු කාණ්ඩයක් වගේ තමයි ලෝකෙම ජනතාව පත් වෙලා තියෙන්නේ. කෙළවරක් පේනවනම් අපි හැමෝම ආසයි.
6. ඈත්වෙන්නට බල කිරීම
අපේ වැඩිහිටි පරම්පරාව කොරෝනා වලට කලින් දරුවන්ට කිව්වේ “ඔය ඩිජිටල් ස්ක්‍රීන් වලින් අයින් වෙන්න දරුවෝ. ටිකක් මිනිස්සු එක්ක කතා බහ කරන්න. අනෙක් අය එක්ක ගැවසෙන්න” කියලා. ඒත් කොරෝනා වලින් මිනිස් සම්බන්ධතා අපිට අකමැත්තෙන් වුනත් හකුලාගන්නට බල කළා. දැන් කටවහගෙන කෝච්චියේ බස් එකේ යන කෙනෙක් වුනත් ඉස්සර වගේ කතාබහ කරන්නෙ නැහැ. මුල් දවස්වල මාස්ක් දාන් පාරේ යද්දි අනෙක් හැමෝම අඳුනනවා වගේ මූණු මූණු බලාගෙන යනවා. හිනාවෙනවාද රවනවාද කියලා කටක් නහයක් පේන්නෙ නැහැ ඒවා වැහිලා. මේ එක්ක අපි මිනිස්සු විදිහට එකට එකතු වෙලා අපිට කාලය ගතකරන්නට තිබුණ ආසාව වළලා ගන්නට සිදු වුණා. මළ ගෙදරකට මඟුල් ගෙදරකට හෝ උත්සවයකට, ඉවෙන්ට් එකකට එකතු වෙලා වෙනදා වගේ සද්දෙන් හිනාවෙලා, කතා කරලා, නටලා කරලා ඉන්න හැකි වෙන්න අපිට තව මාස කිහිපයක් වත් බලාගෙන ඉන්නට වේවි.
7. ඉතිහාසේ අමුතුම අත්දැකීමක සාක්කිකරුවන් වීම
“පුතාල දන්නෙ නැහැ ඒ කාලේ ගංවතුර. මගෙ අම්බේ… ගඟ ගලලා අපේ මේ හැම දෙයක්ම යට වුණා.” ඒ කාලේ සිද්ද වුණු ගං වතුරක් ගැන අපේ පරණ අය කියන්නේ එහෙමයි. 2004 සුට්ටෝ වෙලා හිටි උදවියට සුනාමි ගැන කියන්නෙත් අපි එහෙම. දැන් කොරෝනා කියන්නේ අපි දන්න කියන දැනෙන ඉතිහාසයේ මුහුණ දුන්නේ නැති අත්දැකීමක්. 1919 සහ 1300 ගණන් වල ලෝකේ මිනිස්සු බුරුතු පිටින් මැරෙන භයානක ලෙඩ තිබුණා. ඒවා බෝවුනා. ඒත් ඒ හැම අවස්ථාවකම ලෝකේ බිලියන 3ක් වත් ජනගහණයක් හිටියේ නැහැ. දැන් බිලියන අටක් මිනිස්සු එක්ක සැමන් පැක් වෙලා ඉන්න ලෝකෙට අලුත්ම වෛරස් එකක් ආවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි කියලා දැනට තියෙන මරණ සංඛ්‍යාලේඛණ වලින්ම පේනවා. අපි මේ කාලේ ජීවත්වීම හොඳක් ද නරකක්ද කියන්න කාටවත් බැහැ. ඒත් වෙනස් වෙන්න අකමැති කැමති හැමෝටම අමාරුවෙන් හරි වෙනස් වෙන්න බලකරන මහ බලගතු සිදුවීමක් බවට කොරෝනා පත්වුනා.
8. ඉතිං අපි දැන් බයවෙන්න ඕනිද?
මුල්ම ලාංකික රෝගියා වාර්තා වෙලා කාලයක් ගිහින් දැන් ඒක දාහේ සීමාවට ඇවිත්. අපිට දැන් රෝගීන් 10ක් 20ක් වාර්තාවීම කියන්නේ ගාණක් නැති තත්ත්වෙට ඇවිත්. ඉතාලියේ ඉන්න අපේ යාලුවෝ ඇමරිකාවේ ඉන්න යාලුවෝ කියන විදිහට ඒ රටවල මිනිස්සු පන්සීයක් මැරෙන එකත් මිනිස්සුන්ට සාමාන්‍ය තරමින් ඉවසන්නයි සිද්ද වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට තියෙන අසිරිමත් ගතියක් තමයි ඕනිම වෙනසකට ඉක්මන්ටම හුරුවෙන්නට හැකි වීම. දැන් ඇත්තටම කිව්වොත් අපෙන් බය ටිකෙන් ටික ඈත්වෙනවා. මේකට අපිට ටිකෙන් ටික හුරුවෙන්නට ඕනා වෙනවා. සමහර විට මාස දෙකතුනක දේවල් වුනත් නැවත නැවත මතක් වීම ඔලුවට අවුලක් වෙන්න පුළුවන්. ඒත් මේ මාස තුන හතරට ලෝකේ කොච්චර වෙනස් වුනාද? අපේ සමාජය කොච්චර වෙනස් වුනාද? අපිට කොච්චර වෙනස් වෙන්න වුනාද? කල්පනා කරලා බලන එක වටිනවා නේද?
Leave a Reply