කාලයක් ලංකාවේ මාක්ස්වාදයට වැඩි තැනක් හිමිවීම නිසාද මන්දා අපි බොහෝ විට පොහොසත් පුද්ගලයන් කෙරෙහි එතරම් ප්‍රසන්න විදිහකට විදියට බලන්න පුරුදු වෙලා නැහැ. මේ නිසාම අපි ඔවුන්ව දකින්නේ බල්ලෝ මරලා හරි සල්ලි හම්බකරන්න පෙළඹෙන පුද්ගලයන් පිරිසක් විදිහට. හැබැයි අපේ මෑත කාලීන ඉතිහාසය දිහා හොඳට පරීක්ෂාවෙන් බැලුවොත් පැහැදිලි වෙන දේ තමයි, ලංකාවේ බොහෝ ධනවතුන් සල්ලි හම්බ කර ගැනීම වගේම රටට සේවයක් කිරීම ගැනත් ලොකු අවධානයක් යොමු කරලා තියනවා කියන එක. අපි අද මේ සටහන ගෙන එන්නේ අපිට අද වෙනකොට අමතක වෙලා ගිහිල්ලා තියන දානපති චරිත කීපයක් ගැන.
1. චාල්ස් හෙන්රි දියෙස්
වර්තමානයේ පානදුර නගරයේ පිහිටා ඇති කේතුමතී මාතෘ රෝහල පානදුර ජනතාවට වගේම කළුතර දිස්ත්‍රික්කයේ සියලුම දෙනාට සපයන්නේ අතිමහත් සේවයක්. නමුත් මේ රෝහල පිහිටි ගොඩනැගිල්ල ලංකාවේ සුප්‍රකට දානපතියෙකුගේ නිවසක් බව ඔබ දැන සිටියාද? පානදුරේ සුප්‍රකට දියෙස් පවුලේ සාමාජිකයෙකු වූ චාල්ස් හෙන්රි දියෙස් මහතා කාමර අනූ නමයකින් යුතු සුවිශාල මන්දිරයත් තමන්ගේ පරිහරණය සඳහා නිර්මාණය කළ අතර ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ අවසාන ඉල්ලීමට ගරු කරමින් ඔහුගේ බිරිඳ සහ දරුවන් විසින් මෙම නිවස රජයට පරිත්‍යාග කරනු ලැබුවා.
2. ජේ. පී ඔබේසේකර
කාලයක් ලංකාවේ දේශපාලනය තුළ බණ්ඩාරනායක පවුල සමගම කියවෙන තවත් දේශපාලන පවුලක් තිබුණා. ඒ තමයි ඔබේසේකර පවුල. ඔවුන් විවාහ සබඳතා වලින් එකිනෙකා සමඟ සමීපව බැඳුණු පවුල් දෙකක්. වර්තමානයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති ඒ ප්‍රදේශයේ ජනතාවට සේවා සපයන ස්ථාන ආරම්භ කිරීමට මුල් වුණේ මේ පවුල් දෙකේ සාමාජිකයන්. වර්තමානයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සුවිශාල සේවයක් සපයන වතුපිටිවල රෝහල නිර්මාණය කොට එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුව සඳහා පරිත්‍යාග කරන ලද්දේ කොරනේලියා බණ්ඩාරනායක ඔබේසේකර මහත්මිය විසින්. ඒ තමාගේ මිය ගිය ස්වාමිපුරුෂයා වූ ජේ. පී ඔබේසේකර මහතා සිහිපත් කිරීම සඳහා.
3. ඩබ්ලිව්. ඒ. සිල්වා
අද වෙනකොට අපිට අමතක වෙලා ගිය ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ පතාක යෝධයෙක් විදියට ඩබ්ලිව් ඒ සිල්වා මහතාව හඳුන්වන්න පුළුවන්. කාලයක් එතුමා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට විදිහටත් කටයුතු කළා. තමන්ගේ මුළු ජීවිතයම එතුමා කැප කළේ ලංකාවේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා. තමන් ජීවත් වන ශ්‍රාවස්ති මන්දිරය පවා උගසට තබමින් ලබාගත් මුදල් වලින් සමාජ සේවා කටයුතුවල යෙදීම නිසා අවසානයේදී එම මන්දිරය පවා එතුමාට අහිමි වුණා. වර්තමානයේ අනුරාධපුර ආසන්නයේ පිහිටා තිබෙන ශ්‍රාවස්තිපුර ප්‍රදේශය සංවර්ධනය කොට ජනතාව පදිංචි කිරීමට කටයුතු කළේ එතුමා විසින්.
4. අර්නස්ට් ද සිල්වා
අද වෙන කොට අර්නස්ට් ද සිල්වා කියන නම අපිට මතකයේ තියෙන්නේ අන්තර්ජාලයේ හුවමාරුවෙන මුද්දර රජා යැයි සඳහන් වන ලිපි නිසා. ලංකාව තුළ හිටපු විශිෂ්ට ගණයේ මුද්දර එකතු කරන්නෙක් විදිහට එතුමා ගැන සඳහන් වෙනවා. නමුත් එතුමා මුද්දර වලින් කරපු දේවල් ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතුමා සතුව තිබූ වටිනාකමින් ඉතාමත් ඉහළ මුද්දරයක් වෙන්දේසි කිරීමෙන් ලැබුණු මුදලින් කොළඹ තරුණ බෞද්ධ සංගමය උගස්කරයක් නිසා වෙන්දේසි වීමට ආසන්නව තිබියදී බේරා ගැනීමට එතුමා කටයුතු කළා. ඒ වගේම දිවයින පුරා ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදිය පිහිටුවීමටත් එතුමා කටයුතු කළා. තම උපන් බිමේ දිළිඳු දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් රත්ගම දේවපතිරාජ විශ්ව විද්‍යාලය ඉදිකිරීමත් එතුමා අතින් සිදු වුණු විශිෂ්ටතම කාර්යභාරයක්.
5. සැම්සන් රාජපක්ෂ මුදලිතුමා
වර්තමානයේ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය පිහිටා තිබෙන ඉඩම ඒ සඳහා පරිත්‍යාග කරන ලද්දේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමා විසින්. මේ එතුමාගේ පරිත්‍යාගශීලීත්වය ට කොළඹ ප්‍රදේශයෙන් ලැබෙන එක නිදර්ශනයක් පමණයි
එතුමාගේ උපන් ගම වූ බලපිටියේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වූ මුල්ම පාසල ආරම්භ කිරීමට මූලික අඩිතාලම යොදන ලද්දේ එතුමා. දැඩි භක්තිමත් බෞද්ධයකු වූ එතුමා කොත් දූව විහාරය, මහා කප්පින මුදලින්දාරාමය, අහුන්ගල්ල කැකිරිවත්ත විහාරස්ථානය ආදී විහාරස්ථාන ගණනාවක් සඳහා තමන්ගේ දායකත්වය ලබා දුන්නා.
6. ශ්‍රීමත් සිරිල් ද සොයිසා
වර්තමානයේ කළුතර බෝධිය කියන්නේ මුළු ලංකාවෙම බෞද්ධයන්ගේ ගෞරවාදරයට ලක් වන තැනක්. පෘතුගීසීන් විසින් එවකට පැවැති විහාරස්ථානය විනාශ කිරීමෙන් පසුව සියවස් හතරකට ආසන්න කාලයක් වල් වැදී තිබූ එම පූජනීය ස්ථානය නැවතත් බෞද්ධයන්ට වන්දනාමාන කළ හැකි අයුරින් සංවර්ධනය කරන ලද්දේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා විසින්. වර්තමානයේ කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් එම විහාරස්ථානයට ලැබෙන පුද පඬුරු භාවිතා කරමින් සුවිශාල සමාජ සේවාවක් සිදු කරනු ලබමින් පවතිනවා. එතුමා විසින් පසුව ඓතිහාසික කිරිවෙහෙර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහාත් තමාගේ සක්‍රීය දායකත්වයක් ලබා දුන්නා. ඊට අමතරව තරුණ බෞද්ධ සංගමයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් දිවයින පුරා විහාරස්ථාන රැසක් සංවර්ධනය කිරීමට මෙන්ම බෞද්ධයන්ගේ තත්ත්වය ඉහළ නැංවීමටත් එතුමා ක්‍රියා කළා.
7. හඩ්සන් සිල්වා
මෙතුමා මේ ලයිස්තුවට ඇතුළත් කරන්න අපි හිතුවේ මෙතුමා සිද්ධ කරපු ධන පරිත්‍යාගයක් නිසා නම් නෙමෙයි. මෙතුමා අපේ රටේ සෑම මිනිසෙක්ම දානපතියෙක් බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළා. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘවරයා වන්නේ එතුමායි. එතුමා විසින් ආරම්භ කරන ලද මේ සුවිශේෂි කාර්යභාරය නිසා මුළු ලංකාවට වගේම ලෝකයටත් සුවිශාල සේවයක් සිදු වුණා. මෙතුමාගේ මේ අසාමාන්‍ය මෙහෙවරට කෘතගුණ දක්වමින් පාකිස්ථානයේ ඇස් රෝහලක් මෙතුමා නමින් නම් කර තිබෙනවා.
මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන දානපතියන් විශාල ප්‍රමාණයක් ඇති. ඒ අය ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ආටිකල් එක වෙන කෙනෙක්ට බලන්න ෂෙයාර් කරන්න කියන ඉල්ලීමත් මතක් කරන්න කැමතියි.
Leave a Reply