ලෝක ප්‍රකට ඉන්දීය දාර්ශනිකයෝ

අපේ ලංකාව ආසන්නයේ ම සුවිශාල ලෝකයක් පිහිටා තියෙනවා. ඒ ලෝකයට තමයි ඉන්දියාව කියලා කියන්නේ. හිම මිදෙන හිමාල කඳු වැටිය වගේම ගිනි ගහන කාන්තාරත් ඉන්දියාවේ දකින්න ලැබෙනවා. භාෂා, උප භාෂා දස දහස් ගණනක් කතා කරන විවිධ ජන වර්ග වලට අයිති මිනිස්සු කෝටි ගණනකට නිවහන ඉන්දියාව. ඒ වගේම ඒ මිනිසුන් තමන්ටම ආවේණික ආගම් අදහනවා. අපේ රටේ ඉතිහාසය වගේම වර්තමානය හැඩ ගහන්න ඉන්දියාව බලපෑවා කියන එක රහසක් නෙමෙයි. අපි අද කථා කරන්න යන්නේ ඉන්දියාවේ නම ශාස්ත්‍රීය ලෝකය තුළ බබළවන්න සමත් වුණු දාර්ශනිකයන් කීප දෙනෙක් ගැන.

 

1. ස්වාමි විවේකානන්ද 

බටහිර ලෝකය තුළ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු පළමු ඉන්දීය දාර්ශනිකයා විදිහට ස්වාමි විවේකානන්ද තුමාව හඳුන්වන්න පුළුවන්. වේදාන්ත දර්ශනය සහ යෝග පිළිබඳ ව මුල් වරට බටහිර ලෝකයට හඳුන්වා දුන්නේ එතුමා විසින්. බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධ ව ගෙන යන සටනේදී හින්දු ආගමේ පුනර්ජීවනය ඇති කිරීම අත්‍යවශ්‍ය සාධකයක් විදිහට එතුමා දැක්කා. බෙංගාලයේ ක්ෂත්‍රිය පවුලක උපත ලැබූ එතුමා කුඩා කාලයේ සිටම ආධ්‍යාත්මික ජීවිතයක් සඳහා නැඹුරු වුණා. ඒ සඳහා එතුමාගේ ගුරුවරයා වූ රාම ක්‍රිෂ්ණතුමාගෙන් ස්වාමි විවේකානන්දහට ලැබුණු මගපෙන්වීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

 

2. ශ්‍රී රාම ක්‍රිෂ්ණ පරමහංස තුමා 

ස්වාමි විවේකානන්ද තුමාගේ ගුරුවරයා වූ එතුමාව බොහෝ දෙනෙක් සලකන්නේ දෙවියෙකුගේ අවතාරයක් විදිහට. කාලි දෙවඟන කෙරෙහි දැඩි භක්තියකින් යුතුව කටයුතු කරපු එතුමා ගැඹුරු ඥානයක් එතුමියගේ ආශිර්වාදයෙන් ලබා ගත් බව පැවසෙනවා. කල්කටාවේ දුප්පත් බ්‍රාහ්මණ පවුලක උපත ලැබූ එතුමා කුඩා කාලයේ පටන්  වැඩි වශයෙන් ප්‍රිය කළේ ආධ්‍යාත්මික ගවේෂණ කටයුතු සඳහා. තමන් විසින් දේවාශිර්වාදයෙන් ලබා ගත් තම ඥානය තමන්ගේ ශිෂ්‍යයන් වෙත බෙදා හැරීම එතුමා සිදු කළා. මෙතුමා ගේ ජීවිතය සබැඳිව විවිධ අද්භූත කතා ද සඳහන් වෙනවා. එසේම එතුමා දැඩි ලෙස වෘත සමාදන් වීමට ප්‍රිය කළා .

 

3. රාජ්නීස් භගවාන්

ඕෂෝ නමින් ප්‍රකට වූ එතුමා තරම් බටහිර ලෝකය කෙරෙහි වැඩි වශයෙන් බලපෑ වෙනත් ඉන්දීය දාර්ශනිකයෙක් නැතුව ඇති කියන්නත් පුළුවන්. ඒ වගේම ඇමරිකාවේ එක්සත් ජනපදයේ තමන්ගේ ආරාම පද්ධතියක් නිර්මාණය කිරීමට යෑමේදී ඇතිවුණු ගැටුම් නිසා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටුවහල් වීම නිසාත් එතුමා ඉතා ආන්දෝලනාත්මක චරිතයක් බවට  පත් වුණා. කෙසේ වෙතත් එතුමාගේ ඉගැන්වීම් අදටත් ලෝකය පුරා බලපෑම් කරමින් සිටිනවා. එතුමාගේ ඉගැන්වීම්වල ඇතැම් අවස්ථාවල තුලනාත්මකව ආගම් අධ්‍යයනය කිරීමේ වැදගත්කම පැහැදිලි කරනවා.

 

4. ජේ. ක්‍රිෂ්ණමූර්ති 

පරම විඥානාර්ථ සමාගම විසින් මෙතුමාව කුඩා කාලයේ පටන් අධ්‍යාපනය ලබාදී පෝෂණය කරනු ලබන්නේ අනාගත ලෝකයට පහළ වෙන ආධ්‍යාත්මික නායකයා මෙතුමා බව පවසමින්. නමුත් සියල්ලන්ම පුදුමයට පත් කරවමින් එතුමා තමන්ට එවැනි චරිතයක් නිරූපණය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. නමුත් එතැන් පටන් එතුමා මුළු ජීවිත කාලය පුරාවටම විවිධ රටවල සංචාරය කරමින් ආධ්‍යාත්මීය පණිවිඩය ලොව පුරා ගෙන ගියා. ජාතීන් සහ ආගම් වශයෙන් මිනිසා මිනිසාට එරෙහිව ගැටුම් ඇතිකර ගැනීමේ නිශ්ඵලතාවය පිළිබඳව එතුමා කතා කළා.

 

5. චානක්‍යය

ඉන්දීය ජාතිකයන් චානක්‍යව හඳුන්වන්නේ ලෞකික දාර්ශනිකයෙක් විදිහට. එතුමා විසින් ලියන ලද අර්ථශාස්ත්‍ර කෘතිය සැලකෙන්නේ දේශපාලන විද්‍යාවේ සහ ආර්ථිකය පිළිබඳව ලෝකයේම මුල්කාලීන කෘතියක් විදියට. ඒ වගේම එම කෘතිය මගින් පළ කරන දර්ශනය අදටත් ගලපා ගත හැකි මට්ටමේ පවතිනවා. සිංහලට හඬ කවන ලද හින්දු මාලා නාටක නිසා චානක්‍යය පඬිතුමාගේ කතාව අපේ රටේ ජනතාවට ඉතා සමීපයි. එතුමා විසින් නන්ද රාජවංශය පරාජය කරමින් මෞර්‍ය රාජවංශය ස්ථාපනය කළා පමණක් නොව නව දර්ශනයක් හා නව චින්තනයක් ඉන්දියාවට ලබා දුන්නා.

 

6. වත්ස්‍යාන 

 

Lifie අපි දැන් මාස ගණනාවක ඉඳන් කාම සූත්‍රය කෘතිය කොටස් වශයෙන් පළ කරමින් ඉන්නවා

 මේ කොටස් සාවධානව කියෙව්වොත් ඔබට පැහැදිලි වෙයි කාම සූත්‍රය කියන්නේ හුදෙක් ලිංගික ආශ්වාදය ගැන පමණක් අවධානය යොමු කරන කෘතියක් නෙවෙයි කියන එක. වඩාත් පැහැදිලිව කියනවා නම් එහෙම කාම සූත්‍රය කියන්නේ දාර්ශනික වශයෙන් ඉතා ඉහළ මට්ටමේ සැලකිය හැකි කෘතියක්. මේ කෘතිය රචනා කරල තියෙන්නෙ වත්ස්‍යාන පඬිතුමා. මෙතුමාගේ චරිතාපදානය පිළිබඳ ව වැඩි තොරතුරක් කාම සූත්‍රයෙන් හෝ සම කාලීන කෘති වලින් හොයාගන්න බැහැ. ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ පළමු සහ හය වැනි සියවස අතර කාලයක වත්ස්‍යාන පඬිතුමා  ජීවත් වුණා කියලා.

 

7. ශංකරාචාර්ය 

වර්තමාන ඉන්දියාවට වැඩි වශයෙන්ම බලපාපු දාර්ශනිකයා විදිහට මෙතුමාව හඳුන්වන්න පුළුවන්. පැරණි වේදය ඇසුරෙන් නව හින්දු ආගම බිහිකිරීම සඳහා සුවිශාල දායකත්වයක් දැක් වූයේ මෙතුමායි. දැඩි ලෙස වාද විවාද කිරීමට රුචිකත්වයක් දැක්වූ මෙතුමා අතින් බොහෝ බෞද්ධ සහ ජෛන භික්ෂූන් වහන්සේලා පරාජයට පත් වුණා. බුද්ධාගම ඉන්දියාව තුළ අහෝසි වී යෑමට එක හේතුවක් වූයේ මෙතුමා දියත් කළ මේ මෙහෙයුමයි. වෛදික ආගමේ සංකල්පයක් වූ ආත්මන් සහ නිර්ගුණ බ්‍රාහ්මන් සංකල්ප වල එකතුවක් පිළිබඳව තම දාර්ශනික විග්‍රහයක් මෙතුමා විසින් ඉදිරිපත් කළා.

 

මේ ආටිකල් එක සඳහා දාර්ශනිකයන් පිරිස තෝරාගනිද්දී අපි යම් අමාරුවක වැටුනා. මොකද ඉන්දීය ඉතිහාසය තුළ දාර්ශනිකයන් දස දහස් ගණනක් ඉන්න නිසා. ඔබේ ආටිකල් එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරියේදී අපි බෞද්ධ දාර්ශනිකයෝ ගැන වගේ ම කාන්තා දාර්ශනිකයෝ, සෘෂිවරු ගැනත් ආටිකල් කීපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස් කමෙන්ට් එකකින් කියන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *