එකම රැකියාවට කාන්තාවන්ට අඩු පඩි ඇයි?

කාන්තාව කාන්තා දිනයේදී, මව්වරුන්ගේ දිනයේදී වඩාත් ඉස්මතු වෙනවා. ඒ වගේම කාන්තාවන් ආරක්ෂා කරන්න විවිධ නීති රෙගුලාසිත් විවිධ විදිහට එකතු වෙනවා. ලංකාව ලෝකේ ප්‍රථම අගමැතිනිය බිහිකරපු රට. ලංකාවේ ජනාධිපතිනිය විදිහටත් කාන්තාවක් හිටියා. ඒත් ලංකාවේ කාන්තාවන්ට රැකියා අවස්ථාවලදී ලැබෙන තැන එහෙමට ලොකු වෙනසක් වෙලා නැහැ. රැකියාවේදි කාන්තාවන්ට අඩු පඩි, අඩු වරප්‍රසාද ලැබීම දියුණු රටවලත් තියෙනවා. ඒත් ඒක එහෙම විය යුතු නැහැ කියන එක තමයි වැඩිදෙනෙක්ගේ විශ්වාසය වෙන්නේ.

 

1. කොහොමද ඒක කියන්නේ? 

විශ්ව විද්‍යාලයකින් ඉවත් වුනාම බො​හෝ දෙනෙක් කරන්නේ රැකියාවක් සොයාගන්න එක. විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙලා අවුරුදු 15-20ක් ගිය තැන කාන්තාවන් සහ පිරිමි උපාධි ලාභියෝ ගන්න වැටුප් ගත්තාම ඒවායේ වෙනසක් තිබෙන බව සොයාගෙන තියෙනවා. මෙය ඇමරිකාවෙදි වසර කිහිපයකට පෙර පිරිමින් ඩොලරයක් උපයන විට කාන්තාවන් ශත 81ක් උපයන බව සොයාගෙන තිබුණා. ඒත් දැන් ඇමරිකාව එම වෙනස අඩුකරගෙන තිබෙනවා. වයස විසි ගණන් වල පසුවෙන රැකියා කරන අය අතර ගැහැණු පිරිමි වැටුප් පරතරය අඩුයි. නමුත් තිස් ගණන් වලට එද්දි මේ ගැහැණු පිරිමි වැටුප් අතර පරතරය වැඩිවෙන්න ගන්නවා. බොහෝවිට වයස තිස් ගණන් වලදි කාන්තාවන්ට දරුවන් රැකබලාගැනීම ඇතුළු ගෙදර දොර වැඩකටයුතු වල වැඩි වගකීමක් පැවරෙනවා. ඒ එක්ක රැකියාව ගැන සහ ඇගේ වෘත්තීයමය තත්ත්වය වැඩිදියුණු කරගන්න වැඩි අවධානයක් දෙන්න බැරි වෙනවා. ඒ නිසා එකම මට්ටමේ සිටින කාන්තාවන් අභිබවා පිරිමින් ඉස්සරහට එනවා.

 

2. මොන ක්ෂේත්‍ර වලද වැඩි? 

කාන්තාවන්ට විශේෂිත වූ රැකියාවන් තියෙනවා. ලොව පුරා හෙද වෘත්තියේ වැඩි දෙනෙක් කාන්තාවන්. ඒ වගේම ෆාමසි වල වැඩ කරන අයගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් කියලා සොයාගෙන තියෙනවා. ගැහැණු පිරිමි පඩි වෙනස වැඩියෙන්ම තියෙන ක්ෂේත්‍ර විදිහට රෑ දාවල් නොමැතිව මහන්සි විය යුතු ක්ෂේත්‍ර දැක්වෙනවා. ව්‍යාපාරික කටයුතු, බ්‍රෝකර් වැඩ ආදියේදී කාන්තාවන්ට ලැබෙන තැන අඩුයි. මන්ද ඒ ව්‍යාපාරික කටයුතු ආදියෙදි කාන්තාවන්ට රාත්‍රී සාද, හමුවීම්, මත්පැන් අවස්ථා ආදී සමාජමය ගැටීම් වලට යොමුවෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ එක්ක සමාජීය මුසුවීම් වැඩිපුර තියෙන රැකියාවලදී කාන්තාවන්ට යම් අඩු තැනක් ලැබෙනවා. ඒත් සාමාන්‍ය දෛනික රාජකාරි තිබෙන බොහෝ තැන්වල කාන්තාවන් සහ පිරිමින් එකම ආකාරයට සේවය සපයනවා. ලංකාවෙත් ගුරු වෘත්තිය, සෞඛ්‍ය සේවාවන්, හෙද වෘත්තිය වගේ තැන්වලදි බොහෝවිට පිරිමින්ට සමාන වැටුපක් කාන්තාවන්ට ලැබෙනවා.

 

3. කාන්තාවන්ගේ රැකියා විසිරීම

ඇමරිකා එක්සත් ජනපදයේදි කළමනාකරුවන්, භෞත චිකිත්සකයින්, දන්ත වෛද්‍යවරුන්, ගුවන් නියමුවන්, සැලසුම් කරුවන් ආදී රැකියාවන් වල අය වැඩිපුර මුදල් උපයනවා. ඒත් ඒ රැකියාවල නිරතවෙන කාන්තාවන් ප්‍රමාණය අඩුයි. අනෙක් අතින් දරුවන් වැඩිහිටියන් රැකබලාගැනීම, රෙදි සෝදන ස්ථාන, ආහාර සැකසීම, පිරිසිදු කිරීම, මුදල් අයකැමි වගේ අඩුවෙන් ගෙවන රැකියාවල කාන්තාවන් වැඩි වශයෙන් ඉන්නවා. අපේ රට, බංග්ලාදේශය වගේ රටවල ගත්තත් ගාමන්ට් ෆැක්ටරි, පිරිසිදු කිරීමේ සේවාවන් ආදි අඩු වැටුප් ලබන රැකියාවලට කාන්තාවන් වැඩිපුර නැඹුරුවෙලා තියෙන බවක් පේනවා.

 

4. එයින් ඇතිවන බලපෑම

විවාහ වූ කාන්තාවකට පවුලේ වගකීම් වැඩියි. දික්කසාද වලදී දරුවන්ගේ වගකීම් බොහෝවිට වැඩි වශයෙන් කාන්තාවන් වෙත බැර වෙනවා. එවැනි අවස්ථාවලදී නීතිමය අතින් සැමියාගෙන් යම් වන්දි මුදලක් ලැබුනත් කාන්තාවන්ට නිසි ආකාර වැටුප් සමානතාවක් තිබෙනවා නම් කාන්තාවන්ට සිය පවුලේ කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. හිලරි ක්ලින්ටන් වරක් පැවසූ පරිදි රැකියාවලදී කාන්තාවන්ට අඩු සැලකීම් ලැබුණා කියලා සුපිරි වෙළඳසැලට ගියාම කාන්තාවන්ට කියලා කොහෙවත් වෙනම ඩිස්කවුන්ට් දාලා නැහැ. ඒ එක්ක අඩුවෙන් ඉපයීම් කළත් ඇතැම්විට පවුලේ දරුවන්ගේ බර නිවසේ වැඩකටයුතු බර එක්ක බොහෝ වියදම් කාන්තාවන්ට දරන්නට වෙනවා.

 

5. දරුවන්ගේ වගකීම හුවමාරු කරගැනීම

ඇතැම් ස්කැන්ඩිනේවියානු රටවල දරුවකු ඉපදුන පසුව කාන්තාවට වගේම පිරිමියාටත් නිවාඩු ලබාගැනීමේ හැකියාව තියෙනවා. ඒ එක්ක දරුවාගේ මවට වගේම පියාටත් කුඩා කල සිට දරුවා රැකබලාගැනීමේ වැඩි වගකීමක් පැවරෙනවා. රැකියා අවශ්‍යතාවයන් සඳහා නික්ම යෑමට අවශ්‍ය වූ විට දරුවාගේ වගකීම් සැමියාට පවරා ඒවා සඳහා යන්න කාන්තාවන්ට ඒ නිසා හැකියාව ලැබිලා තියෙනවා. මේ අදහස බොහොම ජනප්‍රිය වූ අදහසක්. කාන්තාවන්ට දරුවන් ලැබීම එක්ක රැකියාවේ ඉහළට යෑම අවහිර වීම වළක්වගන්නට මේ ක්‍රමය භාවිතා කරන්නට හැකියි. ඒ හරහා ගෙදර දොර පවුලේ කටයුතු වල ඇති වැඩි බර කාන්තාවගෙන් ඉවත් වී සැමියාටද හුවමාරු වීම තුළින් වඩාත් සෙනෙහෙබර පවුලක් නිර්මාණය කරගන්නට හැකි බව මෙම නිවාඩු ලබාගැනීම ක්‍රියාත්මක ස්කැන්ඩිනේවියානු රටවල් වලින් උදාහරණ සපයනවා.

 

6. කාන්තාවන්ට රැකියා අවස්ථා වැඩි කිරීම

ගෘහ සේවිකාවන්, මැෂින් ක්‍රියාකරවන්නියන් ආදී අඩුවෙන් ගෙවීම් ලැබෙන ක්ෂේත්‍ර වලට කාන්තාවන් වැඩිපුර යොමුවන්නට එක් හේතුවක් ලෙස කාන්තාවන්ට රැකියා සොයාගැනීමට අපහසුවීම දක්වන්නට හැකියි. ජර්මනිය වැනි රටවලදි මෙයට කදිම විසඳුමක් හඳුන්වා දීලා තියෙනවා. ඒ රටවලදි කාන්තා රැකියා සහ පිරිමි රැකියා කියා හඳුන්වන සීමාවන් අඩු කරලා තියෙනවා. පෙදරේරු, වඩු කාර්මික, විදුලි කාර්මික, හැකියාවන් සහිත කම්කරු ආදී රැකියාවලත් කාන්තාවන්ට පිවිසෙන්නට ඇති ඉඩකඩ වැඩි කරලා තියෙනවා. කාර්මික අධ්‍යාපනයේදී කාන්තාවන්ටත් පිරිමින්ට හා සමාන අවස්ථාවන් ලබාදීමෙන් කාර්මික අංශයේ රැකියාවලට කාන්තා සහභාගීත්වය වැඩි වෙනවා. ඒ තුළින් හැකියාව සහිත කාන්තා ශ්‍රමිකයින් වැඩිවුනාට පස්සේ අඩු මට්ටමේ රැකියාවලට කාන්තාවන් යොමුවීම කාලෙත් එක්ක අඩුවෙනවා.

 

7. කාන්තාවගේ හැඩය වෙනස් වීම

කාන්තාවන්ගේ හැඩය වෙනස් වීම කියන්නේ කාන්තාවන්ගේ සිරුරේ හැඩය කොකාකෝලා බෝතලය හැඩය ගැන්වීම පමණක්ම නෙමෙයි. ආසියානු සමාජයේ කාන්තාවක් කොපමණ ඉහළ රැකියාවක් කළත් ඇයට ගෙදර දොර පිරිසිදු කිරීම, නිවසේ ඉවුම් පිහුම් කටයුතු, දරුවන්ගේ වැඩකටයුතු ආදී කාන්තා වැඩ කොටසක් වෙනමම පැවරෙනවා. අපේ රටවලදි කාන්තාවන් පිරිසක් ඒ සියළු කටයුතු එක්ක රැකියාවේ කටයුතුත් සාර්ථකව කරලා ඉදිරියට එනවා. ඒත් ඇතැම් අය ගෙදර සහ වැඩකරන තැන රැකියා  කටයුතු එක්ක ගැටුමින් ගෙදරට මුල් තැන දීලා රැකියාව දෙවන තැනට දානවා. කාන්තාවන්ට තියෙන ගෙදර දොර වැඩකටයුතු සැමියා හෙවත් පිරිමි පාර්ශවය සමග බෙදා ගැනීම මේකට හොඳ විසඳුමක්. ආදරය කරන කාලයේදී නොයෙක් චාටු කතා කියමින් ඇගේ ආදරය දිනාගන්නට පිරිමින්  වෑයම් කරනවා. ඒ වගේම පසු කාලේදිත් ඇය ගැන ආදරෙයෙන් ඇයට පැවරුණු වගකීම් හුවමාරු කරගනිමින් නිවසේදී වගේම රැකියා ස්ථානයේදිත් ඇයට ඉදිරියට යන්නට සවියක් වීම සැමියාගේ වගකීමක් වෙනවා.

 

කාන්තාවන් දේශපාලනයට ඒම ගැන විවිධ කතා බහ ඇතිවෙනවා. ලංකා දේශපාලනය තුළ පිරිමි ආධිපත්‍යය වැඩියි. පාර්ලිමේන්තුවට ගිය කාන්තාවන්ට පවා පාර්ලිමේන්තුව තුළ යම් යම් සිද්ධි වලට පසුගිය කාලේ මුහුණ දෙන්නට සිදු වුණා. ඒත් කාන්තාවන් දේශපාලනයෙන් ඈත් වීම හෝ එසේ වන්නට ඉඩ හැරීම මෙයට විසඳුමක් නෙමෙයි. ඒ ආකාරයෙන්ම යම් යම් ක්ෂේත්‍ර වලදි, රැකියා වලදි කාන්තාවක් වීම නිසා ඇයට යම් අඩු තැනක් ලැබෙනවා නම් එය සාමාන්‍යකරණය නොවිය යුතු දෙයක් වෙනවා. කාන්තාවන් ගැන මව්වරුන්ගේ දිනයේදී, කාන්තා දිනයේදී කතාකරනවා වගේම ඇයගේ ඉපයීම් වැඩිකරන්නේ කොහොමද කියලා පුළුල්ව හිතා බලන එකත් අපිට සමාජයක් විදිහට ඉස්සරහට යන්න වැදගත් වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *