හෝම් ඔෆිස් එක දූවිලි වලින් තොරව තියාගන්න නම් මේ උපදෙස් අනුගමනය කරන්න

අපි කලිනුත් කථා කරලා තියෙනවා හෝම් ඔෆිස් එකක් සෙටප් කරගන්නේ කොහොමද කියන එක සහ හෝම් ඔෆිස් එකකට අවශ්‍ය දේවල් මොනවද කියන එක ගැන. හැබැයි අපි තාමත් කතාකරලා නෑ, කොහොමද හෝම් ඔෆිස් එකක් දූවිලි වලින් තොරව තියාගන්නේ කියන එක ගැන. ආන්න ඒක ඉතාම වැදගත්. දූවිලි පිරිලා තියෙන වටපිටාවක වැඩ කරනවා කියන්නේ එකක් ශ්වසන ආබාධ එහෙම ඇතිවෙන්න වඩාත් පහසුයි කියන එක. ඉලෙක්ට්‍රොනික් ගැජට් වල දූවිලි පිරෙනවා කියන්නේ ඒවල ක්‍රියාකාරීත්වයට බාධා එල්ල වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, කම්පියුටර් එකක සිසිලන පංකා වල දූවිලි බැඳුනහම ඒවා හරියට වැඩ කරන්නෙ නෑ. ඒ කියන්නේ කම්පියුටර් එක රත්වෙන එක වැඩි වෙනවා. ඒ කියන්නේ කම්පියුටර් එකේ ක්ෂමතාවය පහළ යනවා. අනික, දූවිලි රැඳිලා තියෙන මේසෙක, දූවිලි පිරුණු කම්පියුටර් එකක වැඩ කරන එක හොඳ හැඟීමක් ඇතිකරන්නෙත් නෑ. ආන්න ඒ නිසා අපි හිතුවා දූවිලි වලින් තොර ගෙදර ඔෆිස් කාමරයක් හදාගන්න අවශ්‍ය කරන ටිප්ස් ටිකක් ලබාදෙන්න.

නියම කාර්‍යක්ෂමතාවයෙන් වැඩ කරන්න නම් හෝම් ඔෆිස් එකකට අවශ්‍යම දේවල්

වර්කින්ග් ෆ්‍රොම් හෝම් ද? එහෙමනම් ප්‍රොෆෙෂනල් විදියට, කාර්යක්ෂමව වැඩ කරන්න ටිප්ස් කීපයක් අපෙන්!

 

 

1. සිවිලිමක්

හැම ගෙදරකම සිවිලිම ගහලා නැහැනේ. හැබැයි හෝම් ඔෆිස් එකක් හොඳින් පවත්වා ගෙන යන්න නම් සිවිලිමක් ගහන එක අවශ්‍ය දෙයක්. හෝම් ඔෆිස් එක වෙනුවෙන් මුළු ගෙදරටම සිවිලිම් ගහන්න ඕන නෑ. හැබැයි අඩු තරමේ හෝම් ඔෆිස් එක තියෙන කාමරේ වහලට සිවිලිමක් ගහන්න පුළුවන්. ඒක අර සිවිලිම් ෂීට් වලින් තාවකාලිකව ගහන එකක් වුනත් කමක් නැහැ. වැදගත් වෙන්නේ, කාමරේට දූවිලි එන එක වඩාත් අවම කරන එක.

 

2. බිමට මොකද කරන්නේ?

සාමාන්‍යයෙන් ගෙදරක කාමරයක බිමක් නම් ෆ්ලෝර් ටයිල්ස් හරි පාකේ හරි ග්‍රැනයිට් හරි කරලා තියෙන්න ඉඩ අඩුයි. ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ තමයි රතු සිමෙන්ති. ඒකත් කමක් නෑ, හැබැයි පොඩි හෝ පළුද්දක්වත් නැතුව තියෙනවා නම්. මොකද, සිමෙන්ති දාපු බිමක් පළුදු වෙනවා කියන්නේ එකක් එතන කැඩි කැඩී යන්න පටන් ගන්නවා. වැලි දුවිලි වලින් සම්පූර්ණ බිමම අපවිත්‍ර වෙන්න පටන් ගන්නවා. කටු සිමෙන්තිය දාලා තියෙනවා නම් තත්වය තවත් බරපතලයි. හැබැයි ඉතින් එහෙමයි කියලා සිමෙන්ති බිමක් තකහනියේම ටයිල් කරන්න හරි පාකේ කරන්න හරි බැහැනේ. වඩාත් සාර්ථක සහ හොඳ විසඳුමක් තමයි බිම කාපට් කරන එක. හැබැයි අඩු මිල ප්ලාස්ටික් කාපට් එකක් තෝරගන්නවට වඩා සාර්ථකයි වඩාත් හොඳ මට්ටමේ, යටි පතුලටත් සුවදායී කාපට් එකක් තෝරගන්න එක.

 

3. ඒසී කරමුද?

ඔෆිස් රූම් එකක් ඒසී කරන එක දූවිලි අඩු කරගන්න හොඳ ක්‍රමයක් තමයි. එතකොට එකක්, කාමරේම වහලා තියෙන නිසා පිටතින් දූවිලි එන්න තියෙන ප්‍රමාණය අඩුයි. හැබැයි ඉතින් එහෙමයි කියලා අහක බලාගෙන ඉන්න බෑ. අපි ඊලඟට කියලා තියෙන පියවර එහෙම කොහොමත් අනුගමනය කරන්න වෙනවා. හැබැයි අපිට රූම් එක ඒසී කරන්න අමාරුයි නම්, ඊලඟට හොඳ වැඩක් තමයි අයනයිසර් හැකියාව තියෙන එයාර් කූලර් එකක් සහ එයාර් පියුරිෆයර් එකක් හරි ගන්න එක. දෙවෙනියට කියපු එක වඩාත් හොඳ වුනාට, ඒක වඩාත් මිලෙන් අධිකයි. හැබැයි හෝම් ඔෆිස් එකට නිකම්ම ෆෑන් එකක් විතරක් නම් තියෙන්නේ, සතියකට හෝ උපරිම දෙකකට සැරයක් වත් ඒක පිරිසිදු කිරීම අනිවාර්‍යයි. මොකද, ෆෑන් වලට බොහොම ලේසියෙන් දූවිලි ආකර්ෂණය වෙන නිසා. 

 

4. ජනෙල් වහලාම තියමු

සාමාන්‍යයෙන් ගෙදරක නම් කාමර වලට එළිය වැටෙන්න ජනෙල් ඇරලා තියන්න කියලා ඔය අම්මලා එහෙම කියනවනේ. හැබැයි හෝම් ඔෆිස් එක දූවිල්ලෙන් තොරව තියාගන්න නම් ඒක හරියන්නෙ නෑ. ජනේල වහලම තියෙන එක තමයි හොඳ. ඒ විතරක් නෙවෙයි, ජනෙල් උඩින් තියෙන ලැටිස් වල ඉඳලම ආවරණය වෙන විදියේ ඝන ජනෙල් තිරයක් හරි අර බ්ලයින්ඩ්ස් කියලා හඳුන්වන ජනෙල් වැස්මක් හරි වුවමනායි. හැබැයි මතක තියාගන්න. තීරු තීරු තියෙන බ්ලයින්ඩ්ස් කියන්නේ දූවිලි පිහිදාන්න ගියහම ජීවිතේ එපා කරවන සීන් එකක්. කාමරේට මොකක් හරි හොඳ වා සැපයුමක් තියෙනවා නම්, අර සම්පූර්ණයෙන් වැහිලා තියෙන විදියේ බ්ලයින්ඩ්ස් වඩාත් පහසුයි.

 

5. වැකියුම් ක්ලීනර් එකක්

මේක ඉතින් අනිවාර්ය කාරණාවක්නේ. දූවිලි වලින් තොරව හෝම් ඔෆිස් එක තියාගන්න නම්, වැකියුම් ක්ලීනර් එකකට ආයෝජනය කරන එක අනිවාර්යයි. විශේෂයෙන්ම අපේ හෝම් ඔෆිස් එක කාපට් කරලා එහෙමනම් තියෙන්නේ අනිවාර්යයෙන්ම වැකියුම් ක්ලීනර් එකක් ගන්න වෙනවා. එහෙම ගන්නකොට අර පරණ තාලේ ලොකු වැකියුම් හෙඩ් එකක් තියෙන එකක් වෙනුවට, අහුමුළු වලටත් ගිහින් දූවිලි ඇදලා ගන්න පුළුවන් විදියේ නම්‍යශීලී හෝස් එකකට හයි වුණු හෙඩ් එකක් තියෙන වැකියුම් ක්ලීනර් එකක් ගන්න එක වඩාත් සාර්ථකයි. 

 

6. පෝටබල් වැකියුම් ක්ලීනර් එකක්

උඩින් කියපු විදියට කාමරේ පිරිසිදු කරන්න වැකියුම් ක්ලීනර් එකක් ගන්න වෙලාවේ, පෝටබල් වැකියුම් ක්ලීනර් එකකුත් තියෙන එක වටිනවා. ඒ කියන්නේ ඔය කම්පියුටර්, කීබෝඩ් අනං මනං වල දූවිලි ඇදලා ගන්න පුළුවන් පුංචි පහේ අතේ තියාගෙන ක්‍රියාකරවන්න පුළුවන් වැකියුම් ක්ලීනර්. ඒවෑයින් පුළුවන් ඔය ඉලෙක්ට්‍රොනික් උපාංග වල බැඳිලා තියෙන දූවිලි වගේම පොත් මේස අනං මනං වල තියෙන දූවිලිත් පිරිසිදු කරගන්න. එහෙම එකක් ගන්න බෑ වගේ නම් හොඳ ඩස්ටර් එකක් ගන්න ඕන. ඒ කියන්නේ දූවිලි පැත්තකට තල්ලු කරන ඩස්ටර් එකක් නෙවෙයි, දූවිලි රැඳවෙන ඩස්ටර් එකක්. දැන් සතියකට සැරයක් වත් ඔය මේස මතුපිට අරෙහේ මෙහේ ඒකෙන් දූවිලි ගසන්න ඕන.

 

7. පාපිස්සක්

මෙන්න මේකත් අත්‍යාවශ්‍ය දෙයක්. කාමරේට ඇතුළු වෙන තැනම දොරකඩ හොඳ පාපිස්සක් තියෙන එක අවශ්‍යයි. ඒකෙන් කාමරේට ඇතුළු වෙනකොට කකුල් වල රැඳිලා දූවිලි ඇතුළු වෙන එක වළකිනවා. ඒ වගේම අපිටත් හොඳ පිරිසිදු හැඟීමක් ඇතිවෙනවා හෝම් ඔෆිස් එකට ඇතුළු වෙනකොට.

 

8. ඕගනයිස් කරපු හෝම් ඔෆිස් එකක්

මේක තමයි අවසාන සහ අනිවාර්ය කාරණාව. දූවිලි වලින් තොර ඔෆිස් කාමරයක් පවත්වා ගන්න නම් කාමරේ මනාව කළමනාකරණය කරන එක අනිවාර්යයි. උදාහරණයක් විදියට ගත්තොත්, හෝම් ඔෆිස් එකේ තියෙන කම්පියුටර් මේසේ උඩ හෝ ලියන මේසේ උඩ තියෙන්න ඕන එදිනෙදා වැඩවලට අත්‍යාවශ්‍යම දේවල් විතරයි. එහෙම නැතුව ඒක යකා නටපු පිට්ටනියක් වගේ හැඩිවෙලා නම්, කිසිසේත්ම අනවශ්‍ය සහ අවශ්‍ය දහසකුත් දේවල් වලින් තදබද වෙලා නම් හෝම් ඔෆිස් එක දූවිලි විමානයක් වෙන එක නවත්තන්න බෑ. පුළුවන් තරම් ඔෆිස් කාමරේ තියාගන්න ඕන සරලව. ලිපිලේඛන සෑහෙන්න තියෙනවා නම් ඒවා දාන්න කබඩ් තියෙන්න ඕන. ඒවා හරි විදියට ෆයිල් කරලා, සැලසුම් සහගතව පවත්වා ගෙන යන්න ඕන. පොත් පත් තියෙනවා නම් ඒවාට පොත් රාක්ක හරි කබඩ් හරි තියෙන්න ඕන. මේ සැලසුම් සහගත බව දූවිලි නැති ඔෆිස් කාමරයක් පවත්වා ගෙන යන්න අනිවාර්යයි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *