දරුවෙක් හදනවා කියන්නෙ කෙනෙකුට දරන්න වෙන ලොකුම වගකීමක්. ඕනෑම දරුවෙකුගෙ මුල්ම ගුරුවරු වෙන්නෙ තමන්ගේ ගෙදර, තමන්ගෙම දෙමව්පියන් නිසා ඒ දරුවන්ගෙ සිතුම් පැතුම්, ආකල්ප වගේ හුඟක් දේවල් ඒ දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න ලැබෙන දේවල් මතම තමයි තීරණය වෙන්නෙත්. දරුවා හොඳ මගක ගියොත් ඒකෙ ගෞරවය හිමිවෙන්නෙ දෙමව්පියන්ට වගේම නරක මගක ගියෝතින් ඒ වරද පැටවෙන්නෙත් දෙමව්පියන්ගෙම කර පිටටයි. ඒ නිසාම කවුරු උනත් බලන්නෙ ඒ වගකීම අකුරටම ඉටු කරන්නයි. දෙමව්පියෝ විදිහට දරු මල්ලෝ හදන විදිහ එකිනෙකාගෙන් වෙනස් උනාට කවුරුත් කැමති තමන්ගෙ දරුවො දවසක තමන්ට ආඩම්බරයක්, සතුටක් ගේන පුරවැසියො වෙන එකටනෙ. ඉතින් ඒ විදිහට බලාපොරොත්තු මහා ගොඩක් ඔලුවේ තියාගෙන මේ වගකීම ඉටු කරන දෙමව්පියො අතින් නොදැනුවත්වම සිද්ධ වෙන්න පුළුවන් වැරදි, එහෙමත් නැත්තම් අතපසුවීම් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. ඔන්න ඔයාලත් දෙමව්පියො විදිහට මේ දේවල් කරනවනම් පොඩ්ඩක් නැවතිලා ආයෙත් හිතල බලන්න වෙලාව තමයි මේ.
1. මඟහැරීම සහ නොසලකා හැරීම
කිසිම දෙමව්පියෙක් හිතාමතා නරක චේතනාවෙන් නම් තමන්ගෙ දරුවන්ව මඟ හරින්නෙ හෝ නොසලකා හරින්නෙ නැහැ. ඒත් රැකියා ජීවිතය, ගෙදර දොරේ වැඩපල, සමාජ වගකීම් එක්ක දරුවන්ව මඟ හැරෙන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනව. හැබැයි අපි ඒ තරම් නොසලකා හිටියට මේ මඟ හැරීම හරිම නරක විදිහට දරුවන්ගෙ ජීවිත වලට බලපාන්න පුළුවන්. ඒ විදිහට කුඩා කාලයේ සැලකිල්ලට ලක් නොවුණ දරුවන් ආත්ම අභිමානයෙන් අඩු හුදකලා වුන දරුවන් විදිහට සමාජයට මුදාහැරිලා මුළු ජීවිත කාලයම යහපත් මානසික මට්ටමක් නැති පුද්ගලයන් විදිහට ජීවත් වෙන්නත් පුළුවන්. පොඩි කාලෙදි තමන්ට නොලැබුන අවධානය නිසා මුළු ජීවිත කාලයෙම යහපත් විදිහට සම්බන්ධතා පවත්වන්නත් ඔවුන්ට හැකියාවක් නැති වෙනව කියල තමා කියන්නෙ.
අන්න ඒ නිසා ඔබ නොදැනුවත්වම ඔබේ දරුවන් ගැන අවධානය ගිලිහිලා ගිහිල්ලනම් ඔවුන්ට නිතරම ආදරය දැනෙන්න, ඔවුන් ගැන සොයා බලන බව දැනෙන්න ඉඩ හරින්න. නිතර ඔවුන් සමඟ කතා කරලා බැඳීම් අළුත් කරගන්න.
2. වැරදි උදාහරණ සැපයීම
අපි කලිනුත් කිව්වනෙ ඕනම දරුවෙක් පුංචි කාලෙදි හැමදෙයක්ම ඉගෙන ගන්නෙ තමන්ගෙ දෙමව්පියන් දිහා බලාගෙනයි කියල. ඉතින් දෙමව්පියන් විදිහට ඔබ නරක පුරුදු වලට ඇබ්බැහි වෙලානම්, දරුවන් ඉදිරියේ ඒ නරක හැසිරීම්, ඒ කිව්වේ හොරකම්, මත් ද්‍රව්‍ය භාවිතය වගේ නොයෙකුත් දේවල් කරනවානම් ඔවුන් ජීවිතය කියලා ඉගෙන ගන්නෙ ඒ දකින දේවල් තමයි. එච්චරම ලොකු නරක පුරුදු නොවෙන්නත් පුළුවන්. හැබැයි එදිනෙදා ජීවිතයෙදි අසභ්‍ය වචන භාවිතය, රණ්ඩු සරුවල් වගේ දේවල් උනත් දෙමව්පියන්ගෙන් දරුවන්ට හිමිවෙන්න පුළුවන් නරක පුරුදු.
හැම වෙලාවෙම තමන් තුළම හොඳ පුරුදු ඇතිකර ගන්න. දරුවන්ට පේන්න ඒ දේවල් ක්‍රියාත්මක කරන්න. බලාගෙන ඉගෙන ගන්න කොටස ඔවුන් කොහොමත් කරාවි.
3. අනිසි පක්ෂපාතීත්වය
මේ කියන්නෙ ගෙදරක ප්‍රියතම දරුවා ගැනයි. දෙමව්පියන්ට කොයි දරුවත් එක වගේ තමයි. ඒත් ඉඳලා හිටලා ගෙදරක දෙමව්පියන්ගෙ වැඩි ආදරය ලබන ප්‍රියතම දරුවෙක් ඉන්න අවස්ථා අපි දැකලා නැතුවම නෙමෙයිනේ. ඉතින් එහෙම ගෙදරක සැලකිල්ල නොලැබෙන අනික් දරුවා හෝ දරුවන් පසුකාලීනව විෂාදය වගේ දරුණු තත්ත්වයන්ට පවා ලක්වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සහෝදරයෝ අතරේ මත ගැටුම් ඇතිවෙලා දරුවො හැමෝටම ඒකෙ බලපෑම ඇතිවෙන්නත් පුළුවන්.
ඒ නිසා පුළුවන් හැම වෙලාවකම දරුවන් අතරේ සමඟිය රැකෙන විදිහට සමානව ඔවුන්ට සලකන්න.
4. අනවශ්‍ය පාලනය
අනවශ්‍ය විදිහට පාලනය කිරීමෙන් කවදාවත් දරුවන්ගෙ ජීවිතයට හොඳක් වෙන්නෙ නැහැ. ජීවිතේ අත්දැකීම් එක්ක දරුවෝ වැරදි තීරණ ගන්න අවස්ථාවන් වලදී ඒවා කලින්ම දකින්න දෙමව්පියන්ට පුළුවන් තමයි. එහෙම අවස්ථාවලදී මැදිහත් වෙලා ඔවුන්ට නිවැරදි තීරණ ගන්න මඟ පෙන්වන එක දෙමව්පියන්ගෙ අතින් වෙන්න ඕන. ඒත් මේ කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි. තමන්ට ඉටු කරගන්න බැරිවුණ හීන, බලාපොරොත්තු දරුවන්ගේ කරපිටින් ඉටු කරගන්න හදන එක, අනවශ්‍ය විදිහට දරුවන්ගෙ තීරණ පාලනය කරන එක ගැනයි. තමන්ගෙම දරුවන් උනත් ඔවුන් හිතන පතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට ඒ අයගෙම මාර්ගයක් හදාගෙන යන්න අවශ්‍ය මඟ පෙන්වීම, පෙළඹවීම ලබාදෙනවා මිසක් පාලනය කරන්න යන එකනම් නුවණට හුරු නැහැ.
5. කායික හෝ වාචික අපයෝජනය
මේ වචනය නම් ටිකක් බරපතලයි. ඕනම කෙනෙකුට හිතෙයි දෙමව්පියන් කවදාවත් දරුවන්ව අපයෝජනය කරනවද කියල. උත්තරය තමයි “ඔව් අපි නොදැනුවත්ව කරනවා” කියන එක. මේ කියන්නෙ අපි දරුවන්ට දෙන දඬුවම් ගැන. වැරදි කළහම තදින් බැන වදින, ගහන අවස්ථා ගැනයි. වැරද්දක් කරපු අවස්ථාවක දඬුවමක් දීල ඒ දේ නිවැරදි නොකළොත් ආයේ ආයෙම දරුවො ඒ වැරැද්ද කරන්න පුළුවන් කියන එක ඇත්ත. හැබැයි ඒකට විසඳුම දරුවන්ට කෑගැසීම, ඔවුන් නරක බව පවසමින් බැනීම, පහර දීම නම් නෙමෙයි. එහෙම දඬුවම් විඳින දරුවනුත් අර කලින් කිව්ව වගේ දීර්ඝ කාලීන අයහපත් මානසික තත්ත්වයන්ට පත්වෙන්න පුළුවන්. දඬුවම් දෙන්න ඕනම අවස්ථාවල වැඩිපුර වැඩක් කරවාගෙන, ටීවී බලන්න, සෙල්ලම් කරන්න දෙන වෙලාව අඩු කරලා, ඉක්මනින් නිදාගන්න කියලා වගේ ස්මාර්ට් ක්‍රම වලට දඬුවම් දෙන්න පුළුවන්.
6. වැඩි සෙනෙහස සහ ඇඟිලි ගැසීම්
නොසලකා හැරීම තරමටම නරක ප්‍රතිඵල ලැබෙන දෙයක් තමයි වුවමනාවට වඩා දක්වන ආදරය. අනවශ්‍ය ප්‍රමාණයට ආදරය කරලා, හුරතල් කරලා හදන දරුවන් ලොකු උනහම තනියම දෙයක් කරගන්න බැරි කෙනෙකුගේ මත හැමවෙලාවෙම යැපෙන්න බලන් ඉන්න කෙනෙක් වෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩියි. පුංචි කාලෙ ඉඳලම එයාලගෙ පොඩි පොඩි ප්‍රශ්න විසඳගන්න දරුවන්ටම ඉඩ දෙන එකෙන් දෙගොල්ලන්ටම වෙන්නෙ වාසියක්.
7. දරුවාව විශ්වාස නොකිරීම
මේක කලින් කියපු කතාවත් එක්කත් බොහොම සම්බන්ධයි. තමන්ගේ දේවල් තමන්ටම කරගන්න පුළුවන් කියන විශ්වාසය දරුවන්ට ලබාදෙන්න ඔක්කොටම කලින් දෙමව්පියන් දරුවන්ට එහෙම පුළුවන් බව විශ්වාස කරන්න ඕන. ඒ වගේම ඕනෑම ගැටලුකාරී අවස්ථාවක අනෙක් පාර්ශවයෙන් කියන දේ වගේම තමන්ගේ දරුවාගේ පැත්තෙන් කියන්න තියෙන්නේ මොකක්ද කියන එකත් දෙමව්පියෝ විදිහට අහන්නම ඕන. එහෙම දෙමව්පියන් සහ දරුවන් අතරේ විශ්වාසය ගොඩ නැගුනොත් විතරයි තමන්ගේ දෙමව්පියන් එක්ක ඕනම දෙයක් කතා කරන්න පුළුවන් කියන විශ්වාසය දරුවන්ගෙ හිතෙත් ඇතිවෙන්නෙ.
Leave a Reply