බොලිවුඩයේ අතුපතර විහිදාගත් මහා වෘක්ෂය වන කපූර් පවුල ගැන විස්ත​ර

දැනට සති කීපයකට කලින් සුප්‍රකට බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් පිළිකා රෝගයකින් මිය ගියා. මේ මරණය බොහෝ හින්දි සිනමා රසිකයන්ට කම්පනයක් ඇති කළා. නමුත් ඉර්ෆාන් ඛාන් නියෝජනය කළේ හින්දි සිනමාවේ එක ධාරාවක් කියලා කිව්වොත් ඒ අදහසට බොහෝ දෙනෙක් එකඟ වේවි. නමුත් ඊට දින කීපයකට පස්සෙ සුප්‍රකට නළු රිෂී කපූර් මියගියා. ඒ මරණය වඩාත්ම බිම්මට්ටමේ හින්දි සිනමා රසිකයන්ට පවා දැනුනේ රිෂී කපූර් කාලයක් හින්දි සිනමාවේ ජනකාන්ත නළුවෙක් විදිහට යුගයක් නියෝජනය කළ නිසා. ඒ වගේම හින්දි සිනමාව තුළ අතුපතර විහිදා ගත්ත වෘක්ෂයක් බඳු කපූර් පවුලේ ප්‍රබල සාමාජිකයෙක් වීමත් රිෂී කපූර්ගේ මරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙන්න එක හේතුවක් වුණා. මේ නිසා අපි හිතුවා කපූර් පවුල ගැන කෙටිම කෙටි සටහනක් ඔබත් එක්ක බෙදා ගන්න.

 

1. පරපුරේ ආරම්භකයා ප්‍රීතිවිරාජ් කපූර්

වර්තමාන කපූර් පවුලේ ආරම්භකයා විදිහට ප්‍රීතිවිරාජ් කපූර්ව හඳුන්වන්න පුළුවන්. කපූර් පවුලෙන් පළමු වතාවට සිනමා ක්ෂේත්‍රයට පිවිසුණේ ඔහුයි. ඔහු විසින් මුල් කාලයේ දී තැන් තැන්වලට ගෙනයාහැකි චිත්‍රපටි ශාලාව භාවිතා කරමින් චිත්‍රපටි ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කළා. පසු කලෙක ඔහුගේ පුත්‍රයෙකු වූ ශෂී කපූර් විසින් මුම්බායේ ද ඔහු නමින් චිත්‍රාගාරයක් සහ චිත්‍රපටි ශාලාවක් පිහිටවනු ලැබුවා. රාම්සරන් මෙහෙරා සමඟ විවාහයෙන් දරුවන් හයදෙනෙකු ඔහුට ලැබුණු අතර ඉන් දෙදෙනෙක් කුඩා කාලයේ දීම මිය ගියා. රාජ් කපූර්, ශම්මි කපූර් සහ ශෂී කපූර් නම් වූ ඔහුගේ පුත්‍රයන් තිදෙනාම හින්දි සිනමාව තුළ පතාක යෝධයන් බවට පත්වුණා.

 

2. රාජ් කපූර් 

හින්දි සිනමාව තුළ බිහිවූ සුපිරි ගණයේ නළුවෙක් විදිහට රාජ කපූර්ව හඳුන්වා දෙන්න පුළුවන්. නළුවෙක් වගේම විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහු ජනප්‍රිය සිනමාව තුළ නැවුම් වෙනසක් ඇති කිරීමට කටයුතු කළා. වෛජයන්තිමාලා, නාර්ගීස්, පද්මිණී වැනි නිළියන් සමග ඔහු ප්‍රේක්ෂකයන් ඉදිරියේ අලුත් ලෝකයක් නිර්මාණය කළා. ඒ වගේම හින්දි සිනමාව ජාත්‍යන්තර තලයට ගෙන යාමේ පුරෝගාමියෙක් විදිහටත් රාජ් කපූර්ව හඳුන්වන්න පුළුවන්.

 

3. ශෂී කපූර් 

ශෂී කපූර් පළමුවරට හින්දි සිනමාවට පිවිසෙන්නේ ළමා නළුවෙක් විදිහට. බල්බි ප්‍රීතිවිරාජ් කපූර් විදිහට උපතේ දී ඔහුට ලැබුණු නම හින්දි සිනමාවට ගැළපෙන විදිහට ශෂී කපූර් විදිහට සකස් කරල කරලා ඔහුව සිනමාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වෙන්නේ ඔහුගේ සහෝදරයා වුණු රාජ් කපූර් හටයි. ධර්මපුත්‍ර චිත්‍රපටිය හරහා චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑමට පිවිසුණු ශෂී, අවස්ථා ගණනාවකදීම තම සහෝදරයන්ගේ සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කළා 

 

4. ශම්මි කපූර් 

ශම්මි කපූර් වැඩිවශයෙන් දක්ෂතා දැක්වුවේ රඟපෑම් කුසලතා වලට වඩා නර්තන කුසලතා වලට. ඒ සඳහා ඔහුට තමාගේ පියාගේ චිත්‍රපටි සමාගමේ ප්‍රවීණ ශිල්පීන් යටතේ සිදුකරන ලද හැදෑරීම් බෙහෙවින් උපකාරී වුණා. නමුත් ඔහු තමන්ගේ සහෝදරයන් දෙදෙනාට සාපේක්ෂව වැඩි සාර්ථකත්වයක් ලබා ගත්තේ නැහැ. නමුත් ඉන්දියාව තුළ අන්තර්ජාලය ජනප්‍රිය කරන්න දායක වුණු පුරෝගාමියෙක් විදිහට ෂම්මි කපූර්ගේ නම  ඉතිහාසගත වෙනවා.

 

5. රාජ් කපූර්ගේ දෙවැනි පරම්පරාව 

රාජ් කපූර්ගේ  පුතුන් තිදෙනා වූ රිෂී කපූර්, රන්ධීර් කපූර්, සහ රජීව් කපූර් යන තිදෙනාම බොලිවුඩය තුළ ජනප්‍රිය චරිත බවට පත් වුණා. සුප්‍රකට නිළි බබීතා සමග විවාහ වූ රන්ධීර් කපූර්ගේ දියණියන් දෙදෙනා කපූර් පවුල තුළ එතෙක් කාන්තාවන්ට රඟපෑම සඳහා පනවා තිබූ තහනම බිඳ දමමින් බොලිවුඩ් සිනමාව තුළ තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කළා. ඒ දියණියන් දෙදෙනා වන්නේ කරිෂ්මා සහ කරීනායි. රිෂී කපූර්ගේ පුත්‍රයා වන රන්බීර් කපූර් අද වනවිට බොලිවුඩ් සිනමාවේ සිහින කුමරු බවට පත්ව තිබෙනවා. මේ නිසා රිෂී කපූර් වරක් ප්‍රකාශ කළේ තමාව සුප්‍රකට පියෙකුගේ පුතෙක් සහ තවත් සුප්‍රකට පුතෙකුගේ පියෙක් විදිහට හඳුන්වා දෙනවා නම් තමන් වඩාත් කැමතියි කියලා.

 

6. කපූර් පවුලේ නොවන කපූර් වරු  

ප්‍රීතිවිරාජ් කපූර් තමාගේ දුර ඥාතියෙකු වන සූරීන්දර් කපූර් හට බොම්බයාට පැමිණෙන ලෙසට සහ හින්දි සිනමාව සඳහා දායක වන ලෙස ධෛර්යමත් කළා. එතැන් පටන් ඔහු කුඩා ම තැනින් පටන් ගෙන හින්දි සිනමාව තුළ අති දැවැන්ත චිත්‍රපට නිෂ්පාදකයෙක් බවට පත් වනවා. ඔහුගේ මගම යමින් ඔහුගේ පුතුන් තිදෙනා වූ බොනී කපූර්, අනිල් කපූර් සහ සංජය කපූර්ද හින්දි සිනමාවට පිවිසුණා. බොනී කපූර් චිත්‍රපට නිෂ්පාදකයෙක් විදිහට සාර්ථක වෙද්දි අනිල් කපූර් චිත්‍රපටි නළුවෙක් විදිහට සාර්ථක වුණා. ඔවුන් දෙදෙනාම තරම්ම  හින්දි සිනමාව තුළ තමන්ගේ නම රඳවන්න සමත් නොවුණු සංජය කපූර්ද චිත්‍රපටි කිහිපයකට රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වුණා. මේ වනවිට ඔවුන්ගේ දරුවනුත් හින්දි සිනමාව සඳහා පිවිස තිබෙනවා  සෝනම් කපූර්, අර්ජුන් කපූර්, ජාන්වී කපූර් ඒ අතරින් ප්‍රකටතම චරිත විදිහට හඳුන්වන්න පුළුවන්.

 

7. කපූර් පවුලට විවාහයෙන් බැඳුණු සුප්‍රකට චරිත 

කපූර් පවුලට විවාහයෙන් එක්වුණු පළමු නිළිය විදිහට ගීතා බාලි හඳුන්වන්න පුළුවන්. නමුත් ඉන් වසර කීපයක් ගත වන්නට පෙර බෝවන රෝගයකින් ඇය මිය ගියා. ශෂී කපූර් තම විවාහය සඳහා ඉංග්‍රීසි ජාතික සම්භවයක් සහිත ජෙනිෆර් කෙන්ඩල් තෝරා ගත්තා. කපූර් පවුල තුළ වගේම එම ප්‍රවෘත්තිය ඉන්දියාව තුළ යම් තරමක ආන්දෝලනයකට තුඩු දුන්නා. රන්බීර් කපූර් සහ සුප්‍රකට නිළි බබීතා අතර පැවති විවාහය සාර්ථක නොවුණත් ඔවුන් දෙදෙනාගේ දරුවන් දෙදෙනා හින්දි සිනමාව තුළ සාර්ථක ගමනක් ආරම්භ ආරම්භ කළා. රිශී කපූර් තම විවාහය සඳහා නීතු සිංහාව තෝරා ගත්තා. මේ ලයිස්තුවට තව එකතු විය යුතු අය සිටියත් මේ සඳහා ඇතුළත් කරන ලද්දේ සුප්‍රකට චරිත පමණයි. නමුත් කරීනා කපූර් සමඟ විවාහ වූ සයිෆ් අලී ඛාන් ගේ නම ඇතුළත් නොකළොත් මේ ලිපියට අඩුවක් වන නිසා ඒ දෙදෙනා ගැනත් සඳහන් කරන්න අපි වග බලා ගත්තා 

 

ලිපිය ආරම්භයේදීම කිව්ව වගේම මේ ලිපිය කපූර් පවුල පිළිබඳව කෙටි සටහනක් විතරයි. ඔබේ අදහස් දක්වන ගමන් මේ මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *