ඔබට මතක ඇති මීට සති කීපයකට කලින් අපි ලංකාවේ දේශපාලනයේ පිය පුතු උරුමය පිළිබඳව කතා කළා. ලංකාවෙත් බහුලව භාවිතා වෙන ප්‍රසිද්ධ චීන කියමනක් තියනවා මහා පුරුෂයෙක් වෙන්න නම් පැළයක් හිටවන්න ඕන, පොතක් ලියන්න ඕන සහ පුතෙක් හදන්න ඕන කියලා
මොකද බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ තමන්ගේ උරුමය ගෙන යන්න නම් අනිවාර්යයෙන්ම පුතෙක් ඉන්න ඕන කියලා. හැබැයි බොහෝ ක්ෂේත්‍ර දිහා වගේම ලංකාවේ දේශපාලනය ගැන බලද්දිත් මේ කතාව බොරු වෙච්ච අවස්ථා වලට ඕන තරම් උදාහරණ තියෙනවා. අපි අද කතා කථා කරන්න යන්නේ තමන්ගේ තාත්තාගේ දේශපාලන උරුමය ඉදිරියට ගෙන යන්න කටයුතු කරපු දුවලා ගැන.
1. ධර්මදාස වන්නිආරච්චි සහ පවිත්‍රා වන්නිආරච්චි
මොන මොන අඩුපාඩුකම් තිබ්බත් කොරෝනා මර්දන සටනට සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවයි කියන එක අපි පිළිගන්න ඕන ඇත්තක්. එතුමිය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය නායිකාවක්. එතුමිය දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පියාගේ අඩිපාරේ යමින්. ඔහු තමයි ධර්මදාස වන්නිආරච්චි. ඔහු ගැන අදටත් සබරගමුවේ ජනතාව සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙන් යුක්තව. දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනයට එරෙහිව ඔහු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආරක්ෂා කර ගනිමින් තමන්ගේ දේශපාලන කටයුතු මෙහෙයෙව්වා.
2. ජීවන් කුමාරතුංග සහ මල්ෂා කුමාරතුංග
ජීවන් කුමාරතුංග දේශපාලනයට පිවිසෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආරාධනයෙන්. විජය කුමාරතුංග සමඟ පැවති සමීප ඥාති සම්බන්ධතාවයත් ඊට එක හේතුවක් වෙන්න ඇති. නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ ඔහු ජනප්‍රිය නායකයෙක් බවට පත්වුණා. ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියදීම ඔහුගේ දියණිය මල්ෂා කුමාරතුංග බස්නාහිර පළාත් සභාව නියෝජනය කළා. පසුව ඊළඟ මහ මැතිවරණයේදී සෞඛ්‍ය හේතු මත ජීවන් කුමාරතුංග ඉදිරිපත් නොවී ඒ වෙනුවට මල්ෂා කුමාරතුංග ඉදිරිපත් කරත් ඇයට එම මහ මැතිවරණයෙන් නම් ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
3. සද්ධාතිස්ස සකලසූරිය සහ සමන්මලී සකලසූරිය
ගම්පහ දිස්ත්‍රික්කය හරහා පළාත් සභා වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරපු ජනප්‍රිය නායකයෙක් තමයි සද්ධාතිස්ස සකලසූරිය කියන්නේ. ඒ වගේම ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාගේ මස්සිනා. සද්ධාතිස්ස සකලසූරිය මහතා මැදි වයසේ දී මිය යද්දි ඔහුගේ දියණිය ඉගෙනීමේ කටයුතුවල යෙදෙමින් සිටියා. පසුව බස්නාහිර පළාත් සභාව සඳහා තරඟ කොට විශිෂ්ට අයුරින් එම මැතිවරණය ජයග්‍රහණය කළා. 2015 මහ මැතිවරණය සඳහා ඇය නාම යෝජනා බලාපොරොත්තු වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එම අවස්ථාව ඇයට හිමි වුණේ නැහැ.
4. මුදියන්සේ තෙන්නකෝන් සහ සෝමා කුමාරි තෙන්නකෝන්
මුදියන්සේ තෙන්නකෝන් කියන්නේ වෙනස්ම විදියේ දේශපාලනඥයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙක්. බටහිර අධ්‍යාපනය ලැබුවත් කිසි දාක සිංහලකම ගැමිකම ඔහු අමතක කළේ නැහැ. වයඹ පළාත තුළ ඔහු සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කළා. නමුත් අවාසනාවකට වගේ අභිරහස් විදිහට ඔහු අතුරුදහන් වුනා. ඊට පස්සේ එතුමා ගෙන ගිය දේශපාලන සටනට නායකත්වය දුන්නේ ඔහුගේ දියණිය වුණු සෝමා කුමාරී තෙන්නකෝන් මහත්මිය. ඇය පළාත් සභා මන්ත්‍රීවරියක් විදිහටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදියටත් කටයුතු කළා. නමුත් ඇය හදිසියේ අභාවප්‍රාප්ත වුණේ වයඹ පළාතේ දේශපාලනය තුළ හිඩැසක් ඇති කරමින්.
5. ජෝර්ජ් රාජපක්ෂ සහ නිරූපමා රාජපක්ෂ
අද වෙනකොට රාජපක්ෂ පවුලේ තුන්වැනි පරම්පරාවත් දේශපාලනයට පිවිසිලා තියෙනවා. ඒ තාත්තලා පුතාලා විදිහට. හැබැයි ලංකාවේ දේශපාලනය තුළ රාජපක්ෂ පවුලේ එක කාන්තාවක් තමන්ගේ නම තියන්න සමත් වෙලා තියෙනවා. ඒ මුල්කිරිගල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණු නිරූපමා රාජපක්ෂ. ඇයට එම දේශපාලන උරුමය ලැබෙන්නේ ඇගේ පියා වන ජෝර්ජ් රාජපක්ෂගෙන්. මේ දේශපාලන ගමන තුළ ඇයට ජයග්‍රහණය වගේම පරාජයත් උරුම වුණත් ඒ කිසිම අවස්ථාවක දේශපාලනය හැර දාලා යන්න නම් ඇය සිතුවේ නැහැ.
6. චන්ද්‍ර බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළේ කාන්තා ඇමතිවරියක් සහ මන්ත්‍රීවරියක් වුණු චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පියාගේ උරුමය එක්ක. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ චන්ද්‍ර බණ්ඩාර මහතා ඇගේ පියායි. කෙසේ වෙතත් දේශපාලනය තුළ ඇය තම පියාටත් වඩා සාර්ථකත්වය කරා ගිය බව නම් කිව යුතුයි. කෙටි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධානවල ඉහළ නිලතල වලට පත් වීමට මෙන්ම ඉදිරිපත් වුණු සෑම මැතිවරණයකින් ම පාහේ ජයග්‍රහණය කරමින් කැබිනට් අමාත්‍ය ධුර දැරීමට පවා ඇයට හැකියාවක් ලැබුණා.
7. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
වර්තමාන දේශපාලන ලෝකය උඩු උඩු යටිකුරු කරන්න සමත් වෙච්ච තැනැත්තියක් විදියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව හඳුන්වන්න පුළුවන්. ඇය දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පියාගේ ඝාතනයට සාධාරණය ඉෂ්ට කරන්න. ඒ සඳහා ඇය බෙහෙවින් උපායශීලී වෙනවා. පළමු වතාවේදී ඇය මහින්ද රාජපක්ෂ මහතා හරහා තම පියාගේ ඝාතනයට සාධාරණය ඉෂ්ට කිරීමට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවුනු තැන විපක්ෂයට එක් වී අවසානයේ දී තමාගේ පියාගේ ඝාතනය සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් ලබා ගැනීමට සමත් වුණා. මේ නිසාම දේශපාලන ලෝකය තුළත් ඇය ආන්දෝලනාත්මක චරිතයක්.
මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තවත් පිය දියණි දේශපාලන උරුමයන් තියෙන්නෙ පුළුවන්. ඒ අය ගැන ඔබට කමෙන්ට් එකකින් කියන්න පුළුවන්. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply