මාසේ අන්තිමට නිවසේ වියදම් ඉතුරුකරගන්න මේ දේවල් කරලා බලන්න

පුරුද්දක් විදියට අපේ අතින් වෙන වියදම් ගැන අපි තක්සේරුවකට එන්නේ මාසේ අන්තිමේ. ඒකට හේතුව පඩිය මාසිකව ලැබීම සහ බිල් වගේ දේවල් මාස්පතා සිද්ධ වෙන එක. ඉතින් එතකොට ඔය මාසිකව වෙන වියදම ඉතුරුකරගන්න විදියකුත් හිතන්න පුළුවන් නේද? ඒ සඳහා මේ දේවලුත් උදව්වක් කරගන්න.



1. ෂැම්පු බෝතලේට වතුර


ආරම්භයම සෝ ශ්‍රී ලංකන් වැඩකින් පටන් ගන්න. පුංචි ම ෂැම්පු බෝතලයක් වුණත් දැන් සාමාන්‍යයෙන් ගණන්. ඉතින් එහෙම එකක් පාවිච්චි කරලා ඉවරයි වගේ හිතුණම විසි කරලා දාලා අලුත් එකක් ගන්න ඉක්මන් වෙන්න නම් එපා. මොකද ඉවරයි කිව්වට ඉවරම නැහැ. ෂැම්පු බෝතලේ වගේම කන්ඩිෂනර් එකත්. දෙකටම වතුර පොඩ්ඩක් දාලා හොඳට හොලවන්න. ඊට පස්සේ ඒ තියන දියරයෙන් අවම සතියක්වත් පාවිච්චි කරන්න පුළුවන් අලුත් ඒවට සල්ලි වියදම් නොකර.



2. අලුත් සබන් කැටයක්


ෂැම්පු බෝතලෙන් සබන් කැටේට. වැඩේ වෙන්නේ මෙහෙමයි. සබන් කෑල්ලක් ගත්තම ඕක පොත්ත වෙනකන් ගාලා ගාන්න බැහැයි කියලා හිතුණම විසි කරන මට්ටමක් එනවා නේද? අන්න ඒ කාලෙ ආවාම සබන් කෑල්ල විසි නොකර එකතු කරගන්න. එහෙම පොතු කෑලි හතරක් පහක් සෙට් වුණාම ඒ ඔක්කොම එකතු කරලා එක කැටයක් තමන් කැමති හැඩේකට අතින් හදාගන්න. ඒක කුස්සියෙදි වගේ පාවිච්චියට හොඳයි. 



3. ලෙෆ්ට්ඕවර් කෑම

Image Source – kudoskitchenbyrenee.com

ගෙදර කෑමට ගන්න බත්, පාන්, ඉඳි ආප්ප, නූඩ්ල්ස් වගේ දේවල් ඉතිරිවෙන දවස්වලට ඊළඟට කරන්නේ ගෙදර ඉන්න සත්තුන්ට දෙන එක, එහෙම නැත්නම් කෙලින්ම කුණු කූඩෙට. හැබැයි එහෙම නොකර ගෙදර ඉතිරිවෙන බත්, පාන්, ඉඳිආප්ප ඇතුළු කෑම වලින් අතුරු කෑම හදාගන්නත් ඕන තරම් පුළුවන්. මේවායින් තව වේලක් පිරිමහගන්නත් බැරි නැහැ. රසත් උපරිමයි. බලන්නකෝ අපේ ලෙෆ්ට්ඕවර් රෙසිපි අයිඩියාස් දිහා…

අරපිරිමැස්මට හිතැති අපේ ගෘහණියන්ට ගෙදර ඉතිරි බත් වලින් රස කෑම වර්ග 5ක්ම

නූඩ්ල්ස් සහ පාස්තා වලින් හදාගන්න පුළුවන් වෙනස්ම කෑම වර්ග කීපයක්

4. තෑගි සාත්තරේ


උපන්දිනේකට නැති නම් මොකක් හරි තෑග්ගක් ලබන උත්සව අවස්ථාවක දී දෙයියනේ කියලා වෛවාරණ කොළවලින් වහලා තෑගි ලැබෙනවනේ. ඔය කොළ සහ රිබන් පටි වගේ ඒවා තියාගන්න. තෑග්ග ලිහලා බලනකොට වුණත් ඔතලා තියන කොළය ඉරාගන්න යන්න එපා. මොකද සාමාන්‍යයෙන් අලුතින් ම ඒ කොළ රෝලක් ගන්නවා නම් සම්පූර්ණ එකක් ම ගන්න ඕනි. එතන ම අනවශ්‍ය නාස්තියක්. ඔයාට තෑග්ගක් ඔතන්න ඕනි වෙලාවට භාවිත කරන්න පුළුවන්.



5. ඇසුරුම අනුව ආහාර ගමු


ඔයාලා දැකලා ඇති කඩවල තියනවා එක එක භාණ්ඩ එක ම ප්‍රමාණයේ නමුත් ඇසුරුම අනුව මිල වෙනස් වෙන ඒවා. කිරි පැකට් තියනවා ඒ වගේ ම කාට්න්වලට දාලා තියනවා. එක ම ප්‍රමාණය ඒත් මිල වෙනස්. තව බිස්කට් පැකට් තියනවා, ටින් තියනවා. සෑහෙන මිල පරතරය. ඉතින් ඇසුරුමට විතරක් අමුතුවෙන් මොට ද ගෙවන්නේ නේද? 



6. ආහාර ඇසුරුම් බඳුන් අලුතින් ම ගන්නවද?


කුස්සියේදී ඕනෑ කරන තුනපහ, ගම්මිරිස්, ලුණු වගේ කුළුබඩු ටික එතකොට බිස්කට් වගේ දේවල් දාලා තියාගන්න භාජන ඕනෑ කරනවනේ. ඒකට ම කියලා අලුතින් ගන්නේ මොකට ද? අපි මිලට ගන්න ජෑම් බෝතල්, බිස්කට් ටින්, අයිස්ක්‍රීම් භාජන ඔය දේවලට හොඳට ම ප්‍රමාණවත්. අපේ අම්මලා නම් ඔය වැඩේ හොඳට කරා. බිස්කට් ටින් අස්සේ මහන මැෂිමේ බඩු දැක්කේ ඔය සකසුරුවමේ ප්‍රතිඵලයක් විදියට.



7. පරණ ඇඳුම්වලින් අලුත් වැඩ


අත් පිස්නා, පාපිසි, කුස්සියේ තියන රත් වෙච්ච භාජන අල්ලන්න ගැජමැටික් එකක්.. මේවට වෙන ම වියදම් කිරීම මොන තරම් අපරාධයක් ද? කාලයක් ඇඳලා අඳින්න බැරි ඇඳුම් නිකන් අපරාදේ අල්මාරියට නාකි වෙන්න ඉඩ නොදී ඒ රෙදි ඒවට පාවිච්චි කරන්න.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *